ඔබේ සැමියා හෝ පෙම්වතා ඔබට ඇත්තටම ආදරේ කරනවද? | සිළුමිණ

ඔබේ සැමියා හෝ පෙම්වතා ඔබට ඇත්තටම ආදරේ කරනවද?

ආදරේ කියන්නෙ අපේ ජීවිතවලට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් අපි ආදරේ කරන කොට එකිනෙකා තුළ ගෞරවය ඇති වෙන විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ආදරයක් ඇත්තටම තියෙනවාද කියලා හොයාගන්න විවිධ දේවල් පරීක්ෂා කරනවා. ඉතින් අපි ඒ වගේ දේවල් කරන්නේ ඕනි ඇත්තටම ආදරේද නැත්නම් ඔවුන් කරන බොරුවක්ද කියලා අපිට හොයාගන්න අවශ්‍ය වන හින්ද. ඉතින් සමහර වෙලාවට මේ දේවල් කරන්නේ ඔහු හෝ ඇය එක්ක තියෙන තරහක් නිසා නොවෙයි. අප තුළ ආදරේට ඇති කෑදරකම නිසයි. ඉතින් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබේ පෙම්වතා හෝ සැමියා ඔබට ඇත්තටම ආදරේ කරනවද කියලා හොයාගන්න පුළුවන් විදිහේ පොඩි ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

1. ඔබට රැකවරණය ලබා දීම

ගැහැනු කෙනෙක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වන දෙයක් තමයි රැකවරණය කියලා කියන්නේ. ඉතින් මේ රැකවරණය කියන දේ කාන්තාව නිරතුරුවම බලාපොරොත්තු වෙන්නේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන්. විවාහ වන තුරු තම මව පියා යටතේ රැකවරණ ලබන තීරණයක්ම විවාහයෙන් පසු හෝ තමන් ආදරේ කිරීමට පෙලඹුණු විට රැකවරණය බලාපොරොත්තු වන්නේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන්. ඉතින් ඇය විශ්වාස කරනවා ඇයට නිසි රැකවරණයක් සැමියාගෙන් හෝ පෙම්වතාගෙන් ලැබෙයි කියා. ඒ නිසා ඔවුන්ගෙන් නිසි රැකවරණයක් ඔබට ලැබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ගොඩක් වාසනාවන්තයි.

2. ඔබ පිළිබඳව සමාජයේ සහ මිතුරන් අතර වර්ණනා කරයි

සැමියා හෝ පෙම්වතා ඔබට ඇත්තටම ආදරේද නැද්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්න මෙන්න මේක හොඳ ක්‍රමයක්. මොකද ඔවුන් අපට ඇත්තටම ආදරෙයි නම් ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගේ යහළු මිත්‍රාදීන් අතර ඔබව කැපී පෙනෙන චරිතයක් බවට පත් කරන්න. ඔබ ගැන වර්ණනා කරමින් ඔබේ හොඳ කියමින් ඔවුන්ට සිටින්නේ ඉතාමත් හොඳ පෙම්වතියක් හෝ බිරිඳක් බව අඟවන්න ඔවුන් නිසැකවම උත්සාහ කරනවා. ඉතින් සැමියා හෝ පෙම්වතා ඔබට ඇත්තටම ආදරේ නම් ඔවුන් ඔබේ යහළු මිත්‍රාදීන් ඉදිරියේ අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ කරනවා. ඉතින් ඔබට පුළුවන් ඔවුන් ඔබට ඇත්තටම ආදරේද නැද්ද කියන එක හොයාගන්න.

3. ඔබට ප්‍රශංසා කිරීම

ඔබ පෙම්වතියක් වී සිටින විට මෙන්න මේ ප්‍රශංසාව, විවාහයෙන් පසු ද ඒ විදිහටම ඔබට ලැබෙනවා නම් අන්න ඔහු ඔබට අනිවාර්යයෙන්ම ඉතාමත් ආදරය කරන කෙනෙක්. මොකද මේ ප්‍රශංසාව කියලා කියන්නේ අපිට ඕනවට එපාවට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ගොඩක් වෙලාවට අපේ හද පතුලෙන්ම එන දෙයක්. අපිව ඇත්තටම ද ප්‍රශංසා කරන්නේ ඇත්තටම ද වර්ණනා කරන්නේ කියලා ඔවුන්ගේ මූණ බැලුවහම කාන්තාවක්ට හොයාගන්න පුළුවන්. ඔබ කරන දේවල් අගය කරනවා නම් ඔබව වර්ණනා කරනවා. ඔබේ රැකියාව සම්බන්ධව ඔහු තෘප්තිමත් වෙනවා නම් ඔබේ වැඩවලට ඔහු උදවු කරනවා නම් ඔහු ඔබට ඇත්තටම ආදරේ කරනවා කියලා අපිට කියන්න පුළුවන්.

*ඔබ වෙනුවෙන් කරන කැපකිරීම්

ඔහු ඔබ වෙනුවෙන් යම්කිසි කැපකිරීම් කරනවා නම් ඔහු ඇත්තටම ඔබට ආදරෙයි. ඔබ ගැන ඔබගේ පවුලේ අය ගැන හොයලා බලනවා නම් ඔවුන් වෙනුවෙන් ඕන වෙලාවක පෙනී ඉන්නවා නම් ඔහු ඔබ‍ට ආදරය කරනවා. ඔබට ජීවිතේ කෙතරම් වැඩ රාජකාරි තිබ්බත් දවසේ එක විනාඩි පහක් හෝ ඇය වෙනුවෙන් වෙන් කරන්න ඔබට හැකියාවක් තියෙනවා නම් එය ඉතාමත්ම වටිනවා. ඔබට මුළු ජීවිතයම ආදරයයි කියාගෙන සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩ රාජකාරි සියල්ලම කරමින් සුළු වේලාවක් හෝ ඇය වෙනුවෙන් වෙන් කිරීම තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ. මෙයින් ඔබේ ආදරය ශක්තිමත් වෙනවා වගේම ඔබ එකිනෙකා අතර විශ්වාසය ද රැඳිලා තියෙනවා. ඉතින් කාන්තාවන් විදිහට ඔබත් පුරුදු වෙන්න ඕනේ ලැබෙන විනාඩි පහේදී වුවත් දෙදෙනා හොඳින් ආදරයෙන් කටයුතු කරන්න. මොකද ආදරේ කියලා කියන්නේ ජීවිතේ එක් කොටසක් මිසක් ජීවිතය කියලා කියන්නේ ආදරේ කොටසක් නෙවෙයි.

4. ඉවසිලිවන්ත බව

විවාහ ජීවිතයකට හෝ ප්‍රේම සම්බන්ධතාවකට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඉවසීම. ඉවසීම කියලා කියන්නේ එකිනෙකා අතර සිදුවන ප්‍රශ්නවල දී දෙදෙනාම ඉවසන්න පුරුදු වෙන එකයි. සම්බන්ධයක් ඉදිරියට පවත්වා ගෙන යන්න ඉවසීම කියන්නේ අපිට තියෙන්නම ඕන දෙයක්. දෙදෙනාගෙන් එක් කෙනෙක්ගෙන් වැරැද්දක් දුටුවොත් ඒ වරද නිවැරැදි කර ගන්නත් වැරැද්දට සමාව දීලා ඉවසන පුරුද්දත් ඉතාමත් වටිනවා. ඔබේ වරදක් දුටුවොත් ඔබේ සැමියා හෝ පෙම්වතා ඒ පිළිබඳ ඉවසනවා නම් ඔබට ඒ වැරැද්ද පෙන්නලා දෙනවා නම් ගොඩක් වාසනාවන්ත ඒ වගෙම ඔබ ගොඩක් ආදරේ කරන පිරිමි කෙනෙක් ලබපු කෙනෙක්.

5. ඔහු ඔබට ඇහුම්කන් දෙනවා නම්

මෙන්න මේ දේ ඉතාමත් වටිනවා. මොකද ජීවිතයේ ඇහුම්කන් දීම කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒ කියන්නේ අපි පුරුදු වෙන්න ඕන ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීම තුළින් වෙන්නේ අපි අපේ වැරදි අඩුපාඩු හදාගන්න උත්සාහ කරන එකයි. විවාහයේදී හෝ සම්බන්ධතාවයේදී එකිනෙකා කෙරෙහි විශ්වාසයකින් යුතුව ඇහුම්කන් දීම කළ යුතුම දෙයක්. පෙම්වතිය ඔබට පවසනවා නම්, ඒක කරන්න එපා. අපි මෙහෙම කරමු කියලා, ඔබ එයට ඇහුම්කන් දිය යුතුයි. ඉතින් මේ තීරණය වැරැදි නම් වෙනස් කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. නමුත් මුලින්ම කරන්න ඕන ඔබ ඇයට ඇහුම්කන් දෙන එක. ඇහුම්කන් දීම තුළින් දෙදෙනා අතර ආදරය වැඩි වෙනවා. ඒ වගේම තමයි එකිනෙකාව තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔබේ සැමියා හෝ පෙම්වතාත් මේ ආකාරයට ඔබට ඇහුම්කන් දෙන කෙනෙක් නම් ඔහු ඔබට ආදරේ කරනවා යැයි කියන්න පුළුවන්.

 

 

 

Comments