සතාසිවම් බිරියගේ සිරුර ගරාජයේ | සිළුමිණ

සතාසිවම් බිරියගේ සිරුර ගරාජයේ

සතාසිවම් නඩුව ඒ දිනවල මාධ්‍ය වාර්තා කළ ආකාරය

‘සතාසිවම් මහාදේවන්‘ යනු ලොව පුරා ජනාදරයට පත්ව සිටි අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඒ මෙරටට ටෙස්ට් වරම් ලැබෙන්නටත් පෙර සිටය. මෙරටට ටෙස්ට් වරම් ලැබෙන්නේ 1981 වසරේදීය. ඊටත් පෙර සිටම ක්‍රිකට් ක්‍රීඩාව මෙරට ප්‍රචලිත වී තිබිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ කිහිප දෙනෙකුම මෙරට සිටි අතර සතාසිවම් ද ඉන් එක් අයෙකි. සතාසිවම් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙමින් මෙරටට මහත් කීර්තියක් ගෙන දුන් ක්‍රිඩකයකු වුවද ඔහුගේ නම ඉදිරියේ කළු පැල්ලමක් සටහන් වීම ද දෛවයේ සරදමක් ලෙසින් හැඳින්විය හැකිය. 

සතාසිවම්ට එල්ල වී තිබූ චෝදනාව වූයේ තම බිරිය ගෙල සිර කර මරා දැමීමයි. ඔහු විවාහ වී සිටියේ නිදහස් සටනේ පුරෝගාමියකු වූ පොන්නම්බලම් රාමනාදන්ගේ මිනිබිරියක වූ රෙජිනා සමඟිනි. සමඟියෙන්, සතුටින් පිරුණු මේ කැඳැල්ලට ක්‍රමයෙන් දියණියන් සිවු දෙනෙක් එක් වූහ. ඔවුන්ගේ සුරතල් මැද කාලය කෙමෙන් ගෙවෙද්දී සතාසිවම්ගේ හදිසි වෙනස කෙරෙහි බිරිය රෙජිනාගේ අවධානය යොමු විය. තම සැමියාගේ හදිසි වෙනසට හේතු සෙවූ රෙජිනාට දැනගන්නට ලැබුණේ තම සැමියා සුදු ජාතික කාන්තාවක් සමඟ අයථා සම්බන්ධයක් පවත්වන බවයි. මෙතෙක් සුර ලොවක්ව පැවැති නිවෙස ඇයට අපායක් වන්නට පටන් ගත්තේ එතැන් සිටය. ගැහැනු දරුවන්ම සිවු දෙනකුගෙන් යුත් පවුලේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට කිසිම උනන්දුවක් නොදක්වා අනියම් ඇසුරක පැටලීම දෙදෙනා අතර ආරවුල් ඇති වීමට හේතුවක් විය. එම තත්ත්වය පවුල දෙදරා යෑමට තරම් උත්සන්න වුවද දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ මැදිහත් වීම නිසා එය වැළකී ගියේය.

1951 වසරේ ඔක්තෝබර් 9 වැනිදා එළැඹියේ මේ ආන්දෝලන මැද්දේය. එදින දිවා කාලයේ සතාසිවම් බරිය නිවෙසේ සිටියේ අවුරුදු 2ත් 4ත් අතර වයසේ පසු වූ දියණියන් දෙදෙනා සමඟිනි. එකවරම අසල්වැසි නිවෙසකට දිව ගිය කුඩා දියණියන් දෙදෙනා එහි නිවැසියන්ට පැවසුවේ තම මව ගරාජයේ නිදා සිටින බවයි. වහා සතාසිවම් නිවෙසේ ගරාජය වෙත දුව ආ එම අසල්වැසියන්ට දැකගත හැකි වූයේ සිහිසුන්ව උඩුබැලි අතට වැටී සිටින සතාසිවම් මහත්මියයි. ඇගේ ගෙල මතට නිවෙසේ තිබූ වංගෙඩිය ද වැටී තිබිණි. නිවෙසේ සේවකයකු ලවා පාසල් ගොස් සිටි වැඩිමහල් දියණියන් දෙදෙනා ගෙන්වා ගත් අසල්වැසි නිවැසියන්ට සතාසිවම් මහත්මිය පරීක්ෂා කිරීමෙන් පසු දැනගන්නට හැකි වූයේ ඒ වන විටත් ඇගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බවයි.

සතාසිවම් මහත්මිය ‘ඝාතනය‘ වී ඇතැයි සැලවීමත් සමඟින් දෙන්නා - දෙමාල්ලන් අතර පැවති ආරවුල දැන සිටි ඇගේ ඥාතීන් මේ ‘ඝාතනයට‘ සතාසිවම් සැක බව පොලිසියට පැවසීමත් සමඟින් මූලික පොලිස් පරීක්ෂණ ආරම්භ කෙරිණි.

දේහය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශය භාර මහාචාර්ය ද සේරම් වෙත යොමු කරමින් සතාසිවම්ට එරෙහිව චෝදනා ගොනු කෙරිණි. කෙසේ චෝදනා ගොනු කළ ද නිවැරැදිව සාක්ෂි තහවුරු කරගන්නා තෙක් ජනප්‍රිය පුද්ගලයකු වූ සතාසිවම් අත්අඩංගුවට ගැනීම පොලිසියට අවදානමක් විය.

ප්‍රශ්න කිරීම් හමුවේ සතාසිවම් කියා සිටියේ සිද්ධිය වූ දින පෙ.ව. 10.30ට පෙර තමා නිවෙසෙන් නික්ම ගිය බවත් ඒ වන විට තම බිරිය හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් සිටි බවත්ය. මේ සියලු කරුණු කාරණා නිසා පොලිසිය පත්වූයේ දැඩි අපහසුතාවකටය. කෙසේ නමුදු එදින පොලිසියට සිදු වූයේ නිවසේ සිටි කුඩා දියණියන්ගෙන් පමණක් ප්‍රකාශ ලබාගැනීමටය.

පොලිස් විමර්ශන මෙසේ සිදු වෙද්දී සතාසිවම් නිවෙසේ සේවය කළ විලියම් නමැත්තා හදිසියේ අතුරුදන් වීම පොලිසියට මහත් ගැටලුවක් විය. සිවු වියැති දියණියගේ කට උත්තරය පරිදි නිවෙසේ සේවකයෙක් තම මව ඔසවාගෙන ගොස් ගරාජයට දමනු ඇය දැක ඇත. එම සේවකයාත් එදින තම වැඩිමහල් සොයුරියන් පාසලෙන් රැගෙන ඒමට ගිය සේවකයාත් එකම අයකු බව තහවුරු වීමෙන් අනතුරුව ඒ ‘විලියම්ව‘ බව පොලිසියට සැක හැර දැනගන්නට හැකි විය. සතාසිවම් මහත්මියගේ ඥාතීන්ගේ දැඩි මැදිහත් වීම හේතුවෙන් එදිනම සතාසිවම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවිය.

අතුරුදන් වූ විලියම් සොයා ගම්නියම් ගම් පීරමින් ගිය පොලිසියට ඔහුව හමු වූයේ ඈත ගමකදීය. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ විලියම් කියා සිටියේ වෙනස්ම කතාවකි. ඒ තමාගේද සහාය ඇතිව ‘සතාසිවම්‘ මෙම ඝාතනය සිදු කළ බවයි. වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ලබා දුන් තොරතුරු සතාසිවම්ගේ ප්‍රකාශයට පරස්පර විරෝධී වුවත් ඒ වන විටත් ඔහු රජයේ සාක්ෂිකරුවකු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට පොලිසිය අපොහොසත් විය. එසේ වුවද සතාසිවම් මහත්මියගේ ඥාතීන්ගේ ප්‍රබල මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස පරීක්ෂණ කටයුතු ඉක්මන් වීම හේතුවෙන් එදිනම සතාසිවම් අත්අඩංගුවට ගන්නා ලදී. දිගින් දිගටම ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු නැවත නැවතත් කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේදී තමා නිවසේ නොසිටි බවයි.

සතාසිවම් මහත්මියගේ මෘත දේහය පරීක්ෂාවට ලක්කළ මහාචාර්ය ද සේරම්ගේ වෛද්‍ය වාර්තාව නිකුත් වන්නේ මේ අතරතුරය. එහි සඳහන් වන ආකාරයට ඝාතනය සිදුකර ඇත්තේ ගෙල සිර කිරීමෙනි. එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ඇය ඒ මොහොතෙහි සිටගෙන සිට ඇති අතර ඝාතකයා ඇගේ පසුපසින් සිට ඝාතනය සිදු කර ඇති බවයි. මේ කරුණු සලකා බැලීමේ දී නැවතත් විලියම් දෙසට චෝදනාව එල්ල වන්නට විය.

සතාසිවම් අත්අඩංගුවට ගැනීමත් සමඟින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සතාසිවම් පාර්ශ්වයෙන් තෝරා ගනු ලැබූවේ සාක්ෂි මවා හෝ ජය ලබන පන්නයේ නීති විශාරදයෙකි. ඒ නීති වෘත්තියේ අති ප්‍රබල චරිතයක් වන කොල්වින් ආර්. ද සිල්වාය. මේ සිද්ධියත් සමඟින් වහා ක්‍රියාත්මක වූ ඔහු සතාසිවම්ගේ නිදොස් බව තහවුරු කිරීමෙහි ‘සටන‘ දියත් කළේය. ඝාතනය සිදු වූ දින පෙ.ව. 10.30ට පමණ සතාසිවම් සිය නිවෙසින් පිටවූ බවත් ඒ වනවිට විලියම් පොල් ගාමින් කුස්සියේ සිටි බවත් සතාසිවම් මහත්මිය ඒ අසල සිටගෙන සිටි බවත් සතාසිවම්ගේ ප්‍රකාශයේ සඳහන් වී තිබිණි.

තම සේවාදායකයාට තවදුරටත් වාසි ගෙන දෙමින් ඔහු එම මොහොත වනවිට නිවසේ නොසිටි බවට සාක්ෂි ගොනු කිරීමට ද නීතීඥ කොල්වින් ආර්. ද සිල්වා පසුබට වූයේ නැත. ඒ සඳහා ඔහු යොදා ගනු ලැබූවේ සතාසිවම් තම නිවසින් පිට වී යෑමට ඇණවුම් කළ කුලී රථයේ රියදුරාගෙන් ලබාගත් ප්‍රකාශයකි. එම ප්‍රකාශයට අනුව ඔහු කියා තිබුණේ සතාසිවම් මහතා රැගෙන යෑමට ඔහු සතාසිවම් නිවෙසට ළඟා වූයේ පෙ.ව.10.30ට බවත් සතාසිවම් මහතා නිවසින් පිටත් වන විට ඔහුගේ බිරිය නිවසින් එළියට පැමිණ ඔහුට සමු දුන් බවත්ය.

සතාසිවම් මහත්මියගේ ඝාතනය සිදු කළේ කවුද? ලබන සතියට...

සකස් කළේ - නාමලී ගමගේ

Comments