වැල්ලම්පිටියේ කත එලොව යැවූ  අඹු සැමියන් අල්ලන්න පොලිසිය ගහපු ගේම | සිළුමිණ

වැල්ලම්පිටියේ කත එලොව යැවූ  අඹු සැමියන් අල්ලන්න පොලිසිය ගහපු ගේම

වැල්ලම්පිටිය, ලන්සිය වත්ත ප්‍රදේශයේ නිවෙස් හිමි කාන්තාවගේ මුහුණ සහ නහය වැසෙන සේ කොට්ටයකින් හුස්ම සිර කර ඝාතනය කර රුපියල් ලක්ෂ 50කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් රැගෙන පලා ගිය එම නිවෙසේ මෙහෙකාරිය සහ ඇගේ අනියම් සැමියා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ එම නිලධාරීන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි පස් මස් ගැබිනියක් බව හෙළි වූයේ ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

ඉකුත් 15 වැනි දින ඝාතනයට ලක්වූ 60 හැවිරිදි මොහොමඩ් ජෙකිර් ෆාතිමා නසීර් මීට මාස 6කට පමණ ඉහතදී වැල්ලම්පිටිය ලන්සිය වත්ත ප්‍රදේශයේ තෙමහල් නි‍ෙවසක පහත මහල කුලී පදනම මත ලබාගෙන කුඩා මුනුපුරන් දෙදෙනකු සමඟ එහි පදිංචියට පැමිණියාය. කලකට ඉහත දී එම කතගේම නිවෙසක මෙහෙකාර සේවයේ නිරත වූ සැකකාරිය මේ සිද්ධියට සති දෙකකට පමණ ඉහත දී නැවතත් එම නිවෙසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබිණි.

පොලිසිය සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් සැකකරු, සැකකාරියගේ මස්සිනා වන අතර ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් ගොඩනැඟී සැකකාරිය පස් මස් ගැබිනියක්ව සිටියාය.

මේ යුවළ මට්ටක්කුලිය 'සමිට්පුර' ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔවුන් වෙනම නිවෙසක් කුලියට ගෙන ජීවත් වෙමු යැයි සැකකරු කළ යෝජනාවට සැකකාරිය මුලින් අකමැති වී පසුව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබූ බව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය.

ඊට මුදල් අවශ්‍ය බැවින් අනියම් සැමියා වන මස්සිනා ඇයට කළ යෝජනාවක් අනුව අදාළ නිවෙසින් ෆාතිමාව බිය ගන්වා මුදල් කොල්ලකෑමට මේ දෙදෙනා සැලසුම් කර තිබිණි. ඒ අනුව ඉකුත් 15 වැනි දින සිය අනියම් සැමියා වන මස්සිනා රාත්‍රී 11කට පමණ නිවෙස තුළට කැඳවා ගත් සැකකාරිය ඔහු සමඟ එක්ව නි‍ෙවසේ නිදා සිටි ෆාතිමා හැඳ සිටි 'මුන්දානියෙන්' (සෝල්) එකෙන් ඇගේ කට ගැට ගසා ඇති අතර, එම අවස්ථාවේදී කාන්තාව සැකකරුගේ අත සපා කා තිබුණි.

මේ බව හෙළිවන්නේ පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදීය.

ඒ සමඟම ෆාතිමා කෑගසා ඇති අතර සැකකාරිය ඇගේ අත් දෙක අල්ලා සිටියදී ඇගේ නහය සහ කට වැසෙන සේ සැකකරු ඒ අසල තිබූ කොට්ටයක් ගෙන තද කර ඇතැයිද එයින් බේරීම සඳහා ෆාතිමා දැඩි උත්සාහයක් ගෙන සැකකරුගේ පිටද සූරා ඇතැයිද ටික වේලාවකදී ෆාතිමා කිසිම ශබ්දයක් නොකර නිසොල්මන් වූ බව සැකකරු සහ සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

අනතුරුව සැකකරු සහ සැකකාරිය අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, වළලු හයක්, මුදු හතක්, විදේශ රටවලට අයත් කාසි, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මෙරට මුදල්, ෆාතිමාගේ ඇඳුම් සහ ඇගේ දියණියගේ ඇඳුම්ද රැගෙන අලුයම එකට පමණ එම නිවෙසින් පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි.

මට්ටක්කුලිය සමිට්පුර නිවෙසට ගිය දෙදෙනා මඳ වේලාවකින් එයින් පිටවී මොනරාගලට ගොස් එහි නිවාඩු නිකේතනයක එදින ගත කර තිබූ බව පොලිසිය කියයි.

එහිදී සැකකාරිය රූපලාවණ්‍යාගාරයකට ගොස් සිය හිසකෙස් 'ස්ට්‍රේට්' කර ඇතැයි ද පොලිසිය කියයි. ෆාතිමාගේ ඝාතනය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලබා දුන් උපදෙස් අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විමර්ශන සිදුකරමින් සිටියදී සැරයන් (69598) අනිල්ට ලැබුණු සාර්ථක තොරතුරකට අනුව සැකකරු සහ සැකකාරිය මරදාන ටෙක්නිකල් හන්දියේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව තිබූ අත් බෑගයේ එක මුදුවක් හැරෙන්නට වැල්ලම්පිටිය නිවෙස් හිමිකාරිය ඝාතනය කර කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල් සියල්ලම පොලිස් භාරයට ගෙන ඇත.

එම රන් මුදුව අකුරණ ප්‍රදේශයේ වෙළෙඳසැලකට උකස්කර මුදල් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි.‍ දින හතරක් තුළ සැකකරු සහ සැකකාරිය මාතර, මහනුවර, අම්බලන්තොට ආදී ප්‍රදේශවල සැරිසරමින් නිවාඩු නිකේතනවල ගත කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 24කි වන අතර සැකකාරියට වයස අවුරුදු 28 කි. සැකකරු සහ සැකකාරිය අලුත්කඩේ අංක දෙක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් අපරාධ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන රුක්ෂාන් බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන (40248) ප්‍රසන්න, (21284 ) බණ්ඩාර, (69598) අනිල්, කොස්තාපල්වරුන් වන (72338) ලලන්ත, (81600) සමීර, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන (10648) කෞශල්‍යා, (11297) ලක්ෂාණි යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

Comments