ප‍ුංචි නෑනා අපයෝජනය කළ මස්සිනා වසර 39ක් හිරේ | සිළුමිණ

ප‍ුංචි නෑනා අපයෝජනය කළ මස්සිනා වසර 39ක් හිරේ

 

හොඳම දේ දරුවන්ටය, රටක ජීවනාලිය දරු පරපුරය යනුවෙන් කොතරම් කයිවාරු ගැහුවත් තවමත් මේ සමාජය තුළ දරුවා ඉතා අනාරක්ෂිතය. වර්තමානය වන විට දරුවාගේ අභිවෘද්ධිය සඳහා වැඩිහිටියා‍ තුළ ඇති කැපවීම කිසිසේත් සතුටුදායක නොවේ. ඒ හේතුව නිසාම දරු පරපුර පත්ව ඇත්තේ ඉතා අනාරක්ෂිත තත්ත්වයකටය. මෙහි ඇති තවත් භයානකම කාරණය නම් දරුවා රැකිය යුතු විශ්වාසවන්ත සමීපතමයන් අතරින්ම දරුවන් කෙලෙසීමට ලක් වීමය. මේ කරුණ කිසිසේත් සුළුකොට තැකිය හැකි නොවේ. රැකිය යුත්තන් අතින්ම දරුවන් අපචාරයට ලක් වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවට විවාදයක් නැත.

12 හැවිරිදි මල් කැකුළක් වනසා ගැබිනියක් කළ පාපතරයකුට හම්බන්තොට මහාධිකරණය මඟින් ලබා දුන් 'දැඩි දණ්ඩනයක්' පිළිබඳව පසුගියදා වාර්තා විය. මේ අනුවේදනීය කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

සහෝදර සහෝදරියන් හත්දෙනකුගෙන් යුත් එම පවුලේ බඩ පිස්සිය වූයේ 'සෙව්වන්දිය'. සෙව්වන්දිට හිටියේ අයියලා පස් දෙනෙක් සහ අක්කා කෙනෙකි. සෙව්වන්දි පවුලේ බාලයාය. ඇයට වයස අවුරුදු 10 දී ඇගේ මව මෙලොව හැර යන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදිය. ඒ වන විට පාසල් යන වයසේ වූ සෙව්වන්දිට සරණක් වූයේ 'සමන්තිය'ය. සමන්ති යනු සෙව්වන්දිගේ පවුලේ වැඩිමල් අක්කාය. සමන්ති විවාහ වී සිටියේ ‘පියසිරි‘ සමඟය. විවාහයෙන් පසු සමන්තිත් පියසිරිත් ජීවත් වූයේ තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි නිවෙසකය. මවගේ වියෝවෙන් පසු 10 හැවිරිදි නංගීගේ 'සියලු බර' සමන්තිගේ කර මත පැටවිණි. සමන්තිටත් පියසිරිටත් මේ වන විට පුංචි දියණියක්ද විය. සෙව්වන්දිද අක්කාගේ දරුවාද බලා ගනිමින් ඇගේ නි‍ෙවසේ සිට අධ්‍යාපන කටයුතු ද සිදු කළාය. අක්කා මෙන්ම පියසිරිද සෙව්වන්දිට මහත් සේ සමීප විය. මේ නිසාම නංගි පිළිබඳව අක්කාට කිසිම බියක් සැකයක් නොවිය. නිවෙසට යන එන අනෙකුත් සහෝදරයන් සමඟද සමන්ති නිතර කීවේ තමන්ටත් වඩා 'පියසිරි' නංගි ගැන හොයා බලා ආරක්ෂා කරනවා කියාය. මේ නිසාම අනෙකුත් සහෝදරයන් ද බාල සොයුරිය පිළිබඳව එතරම් බියක් නොවීය. මවගේ වියෝවෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්කාගේ නි‍ෙවසේ රැඳී සිටිමින් අක්කාට සහ මස්සිනාට උදවු වෙමින් සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සෙව්වන්දි කටයුතු කළාය.

දිනය 2009 වසරේ අගෝස්තු පළමුවැනිදාය.

සෙව්වන්දිගේ අක්කා වූ සමන්ති උදරාබාධයක් යැයි කෑ මොර දුන්නාය. ඒ වන විටත් පියසිරි කිසියම් කටයුත්තකට නිවෙසින් බැහැරට ගොස් තිබුණි. සමන්ති තමාගේ ඉවසාගත නොහැකි උදරාබාධය පිළිබඳව සිය සැමියා වන පියසිරිට ද දුරකතනයෙන් දැනුම් දුන්නාය. ඒ අනුව වහා නිවෙසට පැමිණි පියසිරි සිය වයස අවුරුදු දෙකහමාරක් වූ කුඩා දරුවා බිරියගේ 12 හැවිරිදි නැඟිණිය වූ සෙව්වන්දිට බලා ගැනීමට දී බිරිය හම්බන්තොට මහ රෝහලට රැගෙන ගියේය. එහිදි සමන්ති පරීක්ෂා කළ වෛද්‍යවරු පැවසුවේ ඇයව රෝහලේ නතර කරන ලෙසය. කඩිනමින් නිවෙසට පැමිණි පියසිරි රෝහලේ නතර කළ බිරියට අවශ්‍ය කළමනා රැගෙන යළි රෝහලට ගොස් ඇයට ලබා දී නි‍ෙවසට පැමිණියේය. සිය අක්කා ප්‍රතිකාර සඳහා රෝහලේ නතර කළ බැවින් අක්කාගේ කුඩා දියණියගේ වැඩ කටයුතු පැවරුණේ සෙව්වන්දිටය. දවල් කෑමට උයා තිබූ ව්‍යංජනද සෙව්වන්දිට හැකි පරිදි ළිප තබා රත් කළේ මස්සිනාටද කෑම සඳහාය.

එදින රාත්‍රියේ නිවෙසේ සිටියේ සෙව්වන්දි, පියසිරි සහ කුඩා දියණිය පමණි. සෙව්වන්දි කුඩා දරුවා සමඟ වේලාසනින්ම නිදා ගන්නට ඇඳට ගියාය. සෙව්වන්දිට පවුල් බරක් හෝ දරුවකු නිදි කරවා පරිස්සම් කිරීමට තරම් දැනුමක් නොවීය. ඇයද කුඩා දරුවෙකි. දරුවා සමඟ ඇඳට වැටුණු සෙව්වන්දිටද හොඳට නින්ද ගියේය. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙමින් තිබියදී සෙව්වන්දිට අමුත්තක් දැනිණි. කවුරුන් හෝ තමන් අසල ඇති බව දැනී ඇය අවදි වීය. ඒ වන විට පියසිරි, සෙව්වන්දි අසල සිටියේ තිරිසන් අරමුණකිනි.

බිරිය රෝහල්ගත කළ මොහොතේ 12 හැවිරිදි නැඟණියගෙන් සිය කාමාශාවන් ඉටුකර ගැනීමට තරම් පියසිරි පාපතරයකු විය. සිදු වූ දේ පිළිබඳව කිසිම දෙයක් සිතාගත නොහැකි වූ සෙව්වන්දි එළිවන තුරු හැඬුවා මිස කළ යුතු දෙයක් නොවීය. සෙව්වන්දි එම නි‍ෙවසේ අසරණ විය.

සිය සහෝදරිය රෝහලෙන් නිවෙසට පැමිණියද ඇය තමන් මුහුණපෑ සිද්ධිය අක්කාට නොකීවාය. එහෙත් පියසිරි එම පාපතර ක්‍රියාව එතැනින් නොනැවැත්වීය. බිරිය නිවෙසේ නැති සෑම අවස්ථාවකම සෙව්වන්දිව 'අඹුකමට' ගැනීමට තරම් පියසිරි නරුමයකු විය. පියසිරිගේ කරදරය ඉවසාගත නොහැකි වූ තැන සෙව්වන්දි සියල්ල අක්කාට හෙළි කළාය.

ඒ අනුව සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක්ද කෙරිණි. පොලිසියට ලද පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් පියසිරි අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඉන් පසු අධිකරණ නියෝග මත පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නිතීපතිවරයා විසින් 2013 වසරේ දෙසැම්බර් මස15 වැනිදා චූදිතට එරෙහිව අධිචෝදනා තුනක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගය අතරේ චූදිත අදාළ අධි චෝදනා තුන සඳහා වරද පිළිගත්තේය.

“ස්වාමීනි... චූදිත සිදුකර තිබෙන්නේ දැඩි දඬුවම් දිය යුතු ගණයේ වරදක්. සමාජය කිසි ලෙසකින්වත් අනුමත නොකරන වරදක්. ඒ නිසා සමාජයේ අනෙකුත් පුද්ගලයන්ටද මෙය ආදර්ශයක් පමුණුවන ආකාරයේ දඬුවමක් දිය යුතුය“ යනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධීනීතිඥ නිමංක ජයවික්‍රම පැවසීය. එහිදී වැඩිදුරටත් අධීකරණය අමතමින් රජයේ අධීනීතිඥවරයා මෙසේද පැවසීය.

"ස්වාමීනි අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ චූදිතයාගේ බිරියගේ 12 හැවිරිදි නැඟණියයි. මස්සිනා රැක බලාගත යුතු වයසේ පසුවන දැරියක් මෙලෙස අපයෝජනය කර තිබෙන්නේ. ස්වාමීනි මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ චූදිත මෙම අපයෝජනය සිදුකර තිබෙන්නේ චූදිතගේ බිරිය රෝහල්ගත කර සිටි අවස්ථාවක චූදිතගේ දරුවා බලාගෙන නිවෙසේ සිටි මොහොතකයි. එමෙන්ම අපයෝජනය වූ දැරියගේ මවත් මියගිහින්. එවන් අසරණව සිටි දරුවකුට රැකවරණය ලබාදිය යුතු වයසේ පසු වූ පුද්ගලයකු මෙම අපරාධය සිදු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කාරණයක්. චූදිත වරද පිළිගත්තත් එය මුල් කරගෙන චූදිතට ලිහිල් ආකාරයේ දඬුවමක් දිය හැකි වරදක් නොවේ ඔහු කර තිබෙන්නේ“ යැයි අධිකරණය අමතමින් පැවසීය.

චූදිත වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයාද අධිකරණය හමුවේ කරුණු දක්වමින් චූදිත මුල් අවස්ථාවේදීම වරද පිළිගත් නිසා චූදිතට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ අධිකරණය අමතමින් පැවසුවේ චූදිත සිදුකර ඇති වරද කිසිම ආකාරයකින් ලිහිල් දණ්ඩනයක් නියම කළ හැකි වරදක් නොවන බවයි. ඒ අනුව අදාළ චෝදනා තුන සඳහා මහාධිකරණ විනිසුරුවරයා දඬුවම් නියම කළේය.

එම අධිචෝදනා තුන සඳහාම චූදිත වැරැදිකරු කළ අතර එක් චෝදනාවකට වසර 13 බැගින් චෝදනා තුන සඳහා වසර 39ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. එමෙන්ම එක් චෝදනාවක් සඳහා රුපියල් දසදහස බැගින් චෝදනා තුන සඳහා රුපියල් 30,000ක දඩයක්ද නියම කළ අතර චූදිත දඩ මුදල් නොගෙවන්නේනම් වසර 01 බැගින් අමතර වසර 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. ඉහත දඬුවම්වලට අමතරව අගතියට පත් 12 හැවිරිදි දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා චුදිතට නියම කළේය. චුදිත අදාළ වන්දි මුදල නොගෙවන්නේනම් ඉහත දඬුවම්වලට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්ද නියම කෙරුණි.

Comments