අපේ මල්ලිගේ වේටර් රස්සාව බේරලා දෙන්න සර්! | සිළුමිණ

අපේ මල්ලිගේ වේටර් රස්සාව බේරලා දෙන්න සර්!

ජීවිතයේ ප්‍රථම වතාවට කම්කරු උසාවි බිමකට පැමිණ සිටි මා හාත්පස සිසාරා වටපිට බැලුවෙමි. දන්නා කියන එකුදු මුහුණක් ‘ඇස් මායිමක‘ නැත. මීට තුන් වසරකට පමණ ඉහතදී තානායමේ ලැගුම් ගත් විදේශිකයකු හට අයත් ඩොලර් තුන්දහසක නෝට්ටු බණ්ඩලයක් ඔහුගේ කාමරයේ තිබී අස්ථානගතව තිබුණා. සොරකම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයෙන් එම කාමරයට සේවා සැපයූ වේටර් ජයතුංග වෙතට ඍජුවම චෝදනාව එල්ල වුණා.

එම අස්ථානගත වීම සම්බන්ධයෙන් තානායම් සමාගමේ විනය අංශය සිදු කළ පරීක්‍ෂණය අවසානයේ ආයතනයේ පිරිස් පාලන අංශය ඒකමතික තීන්දුවක් නිකුත් කර තිබුණා.

එහි සඳහන් වූයේ වහාම ක්‍රියාත්මක වන පරිදි වේටර් ජයතුංග සේවයෙන් නෙරපා හැරීමටයි. තානායම් සමාගමේ ප්‍රධාන කාර්යාලය ඒ වන විට සිය රටට ගොස් සිටි විදේශිකයාගේ ඊමේල් ලිපිනය හරහා එම පරීක්‍ෂණයේ ප්‍රගතිය ඔහුටද දන්වා යවා තිබුණා.

වේටර් ජයතුංග තමාගේ සේවය අහිමි කිරීම අසාධාරණ බවට කම්කරු උසාවියට නඩුවක් ගොනු කර තිබුණේ ඒ අතරතුරයි.

ඊට මට කම්කරු උසාවියට පැමිණීමට සිදු වූයේ එම නඩුව වෙනුවෙන් තානායමේ පිරිස් පාලන අංශය පාර්ශ්වයෙන් පෙනී සිටිනා නීති නිලධාරියාට නොවැළැක්විය හැකි හේතුවක් නිසා නඩුවට සහභාගී වීමට නොහැකි බව කම්කරු උසාවියට දැනුම් දීමටයි.

උදෑසන අටයි තිහ ළං වෙද්දී කම්කරු විනිශ්චය සභා සංකීර්ණය වෙත අධික ජනකායක් රැස්ව සිටියා.

වරද කුමන පාර්ශ්වයේ වේවා, මේ සා විශාල කම්කරු ගැටලු සමුදායක් අප සමාජය තුළ මෙසේ ඒකරාශී වන්නේ ඇයි?

“ඔබතුමා ෆස්ට් ටයිම් නේද මෙහේ ආවේ..?” මා අසලට පැමිණි තරුණයකු විමසුවා.

“එහෙනම්... අන්න අර වීදුරුව බිඳිච්ච නෝටිස් බෝඩ් එකේ ටයිප් කරලා අලවලා තියෙන්නෙ අද ඇහෙන නඩු ලිස්ට් එක... ඉස්සර වෙලාම බලන්න ඒකෙ නඩුවෙ අංකය තියෙනවද කියලා.. අංකේ නැත්නම් අද ඇහෙන්නේනෑ..” මම තරුණයාට ස්තුති කළා.

“කොරෝනා වසංගතේ නැඟලා යන කාලෙ ඇඳිරි නීති බලපත්‍රත් දීලයි ඒ ගාමන්ට් එකෙන් අපිට කියලා කොරෝනා මුව ආවරණ මස්සවා ගත්තේ... අන්තිමේ මාස තුනක පඩිත් නොගෙවා ඒ කොම්පැනිකාරයත් කොරෝනා වසංගතෙත් එක්කම ලංකාවෙන් චුත වෙලා ගිහිල්ලා.. අපි ඉතිං කම්කරු උසාවි ආවා...” තරුණයාගේ වදන් ඇසූ මගේ සර්වාංගය සලිත වුණා.

“මේ අපේ තානායමේ සර් නේද?..“ සාය හැට්ටයෙන් සැරසුණු තරුණ විය පසු කළ කාන්තාවක් මාගෙන් විමසුවා.

“සර් මම වේටර් ජයතුංගගේ අක්කා... මට මතකයි සර් අපේ තාත්තාගෙ මළ ගෙදර ඇවිත් කතාවකුත් කළා...” මම ඇයට හිස සලා පිළිතුරු පෑවා.

“ජයතුංග මල්ලිට අද සනීප නෑ සර්... එයාගෙ මෙඩිකල් එක දෙන්නයි අද මං ආවේ. අනේ සර් මේ නඩුව මෙතනින් ඉවර කරන්න සර්... පින් සිද්ධ වෙයි ජයතුංග මල්ලිට ආයෙමත් රස්සාව දෙන්න...”

“ඉතින් ජයතුංගගේ රැකියාව නැති කළෙත්... මේ නඩුව දැම්මෙත් මම නෙමෙයිනේ..?” මගේ පිළිතුරට ඇය මුනිවත රැක්කා.

“අපිත් අත ඇරියෙ නෑ සර්... අපි ඒ සුද්දාගෙ ඊමේල් එඩ්‍රස් එක සොයාගෙන අපිට වෙච්ච අසාධාරණය සුද්දාට ඊමේල් කළා...” වේටර් ජයතුංගත් මමත් එදා තානායමේ එකම කරාමයෙන් වතුර බිව්වද අද සිටින්නේ දෙපිලකය. එනිසා අධිකරණ පරිශ්‍රයේදී දෙපාර්ශ්වයම නඩුවට අදාළ කරුණු සාකච්ඡා කිරීම නීත්‍යානුකූල නැත.

“ජයතුංග මල්ලිට රස්සාව නැති නිසා අපි අසරණ වෙලා දුක් විඳින හැටි කන බොන හැටිත් ෆොටෝ හදලා අපි සුද්දාට ඊමේල් කළා. ඉතින් සුද්දා දැන් අපේ මල්ලි ගැන ලොකුවටම පැහැදිලා ඉන්නෙ... ඉතින් සුද්දා එහෙම එකේ... සර්ලාත් අපේ මල්ලිට ආපහු රස්සාව දෙන්නකො සර්...” ජයතුංගගේ සහෝදරියගේ උස් හඬ මගේ දෙසවන දෝංකාර දුන්නා. යමක් විකෘති වීමට ගත වන්නේ කෙතරම් නිමේෂයක්ද?

“මේ... ඔහේලා මෙහාට ආවේ ඔහේලම කතා කරලා නඩු විසඳගන්න නම් කරුණාකරලා ඒක ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා කරගන්න...” එසැණින් සංවාදය මැද්දට පිවිසි අධිකරණ පරිශ්‍රයේ ආරක්‍ෂාව භාර පොලිස් නිලධාරියා මදෙස බලා උස් හඬින් පැවසුවා.

“ඔහේටවත් තේරෙන්නෙ නැද්ද මහත්තයා... මෙතන සද්දෙ දාගෙන කරන මේ සංවාදය අධිකරණ බිමකට ගැළපෙන්නෙ නෑ කියලා. ඔහේලා මෙතන නඩු විසඳ ගන්නවා නම් උසාවියක් ඕන නෑනේ ...” මුළු කම්කරු උසාවියේම සිටි සෙනඟ ජයතුංගගේ අක්කා දෙස නොව මා දෙස බලා සිටින අයුරු දුටු මට පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් ඇති වුණා. තානායම් සමාගමේ නීති නිලධාරියා අද දින නඩුවට සහභාගී නොවන බව අදාළ අංශය වෙත දැනුම් දුන් සැණින් මම කඩිමුඩියේම අධිකරණ ගොඩනැඟිල්ලෙන් පිටවී වේගයෙන් ගේට්ටුවෙන් පිටතට පිය මැන්නා. අවුල් වූ මනසින් තානායමට පිවිසි මම සවස තුනයි තිහට පමණ දිවා ආහාරය ගෙන තානායම් පරිශ්‍රයේම කෙළවරක පිහිටි මාගේ නවාතැන් කුටියට ගොස් කෙටි නින්දකට වැටුණා. මා නැවත තානායම් කාර්යාලයට එන විට රාත්‍රී හත පසුවී තිබුණා.

“සර් හමුවෙන්නය කියලා නාඳුනන ඩයල් දෙකක් මේ දැන් තානායමට ආවා...”

“..යමු බලන්න..” මා ඔවුන් අසලට පැමිණෙන විටම ආරෝහ පරිණාහ දේහධාරී අමුත්තන් දෙදෙනා අසුන්වලින් නැඟී සිටියා.

“මේ ඉන්නෙ ඔබතුමා ගෙදර ඇරපු වේටර් ජයතුංගගේ මස්සිනා...” හැඩිදැඩි පුද්ගලයා හපමින් සිටිනා චුවිංගම් පෙත්ත ඒ හක්කෙන් මේ හක්කට පන්නමින් උපහාසාත්මක හඬින් කීවා.

“වැරදීමක්... ජයතුංග වපුරපු දේ එයාම නෙළා ගත්තා... කමක් නෑ වාඩිවෙන්න...”

“අපි නෑදෑ ගමන් ඇවිත් නෑනේ ලොක්කා වාඩි වෙන්න.. ඔයා අද උදේ කම්කරු උසාවියෙදී ජයතුංගගේ අක්කට මොකද්ද ඒ කළ කැත වැඩේ...?”

“ඔව්..තමුන්ම කියන්න මොකක්ද මම කළ කැත වැඩේ...?“

“ඇයි ඔබතුමා ජයතුංගගේ රස්සාව නැති කළා මදිවට.. අද උදේ ජයතුංගගේ අක්කට ඔබතුමා අඳුනන පොලිසියෙ මහත්තයෙකුට කියලා කම්කරු උසාවියෙදී සවුත්තු විදිහට දොස් කියපු එක...”

“මොනවා..? ඔහොමම පොඩ්ඩක් ඉන්න... මම කතා කරන්නම් පොලිසියට...” වහ වහා මගේ ජංගම දුරකතනයේ ස්පීකරය ක්‍රියාත්මක කළ මා ආසන්න පොලිසියේ පොදු දුරකතන අංකය තෙරපුවා. තරුණයන් දෙදෙනොගේ පිම්බුණු මස්පිඬු ලිහිල් වනු පෙනුණා.

“මම අසවලා... මිස් මට කරුණාකරලා කියන්න දිස්ත්‍රික් කම්කරු උසාවියට ආරක්‍ෂාව සපයන පොලිසිය මොකක්ද කියලා...” මගේ දුරකතනයේ ස්පීකර හඬට සවන් දෙමින් සිටිනා තරුණයන් දෙදෙනා මුහුණට මුහුණ බලාගනු පෙනුණා.

“නිශ්චිත පොලිසියක් නෑ සර්... පොලිස් කොට්ඨාස කාර්යාලෙන් ඇහුවා නම් දැනගන්න පුළුවන් වෙයි අද මොන පොලිසියෙන්ද ඩියුටි එව්වෙ කියලා. ඇයි මහත්තයා මොකද්ද කේස් එක?.” විමසීම කරනා නාඳුනන පොලිස් නිලධාරිනියට මම සියල්ල පැවසුවා.

“ඔබතුමා ඇවිත් පොලිසියට පැමිණිල්ලක් කරන්න. මේ විදිහෙ තර්ජනයක් තියෙනවය කියලා අදාළ කම්කරු උසාවියේ නඩු අංකෙත් එක්කම...” මම ස්පීකරය ක්‍රියාත්මක දුරකතනය විසන්ධි නොකරම තරුණයන් දෙදෙනා දිහාව බැලුවා.

“නඩු අංකෙත් එක්ක.?. යමං බං යන්න..” තරුණයන් දෙදෙනා කඩිමුඩියේ පිටව යෑමට නැඟී සිටියා.

“ඔයාලා කැමති විදිහකට තේරුම් ගන්න.. ඒ පොලිස් නිලධාරියා මටයි දොස් කීවෙ ජයතුංගගේ අක්කා උසාවිය ළඟ කෑ ගහනකොට...” තරුණයන් දෙදෙනා අඳුරේම තානායමෙන් පිටව ගියා. පසුදා උදෑසනම මම පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. ඊට පසුදින මට පොලිසියෙන් ඇමතුමක් ලැබුණා. එහි සඳහන් පරිදි මම ඊට පසුදා පොලිසියට ගියා.

“අපිට සමාවෙන්න සර්..” විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ මේසය අසල අසුන්ගෙන සිටි අපේ වේටර් ජයතුංගත් ඔහුගේ වැඩිමල් සොයුරියත් එදා තානායමට පැමිණි මස්සිනාත් මට දෑත් එකතුකොට ආචාර කරමින් පැවසුවා.

 

Comments