රට බෙදීමට කිසිසේත් සූදානම් නැහැ | Page 2 | සිළුමිණ

රට බෙදීමට කිසිසේත් සූදානම් නැහැ

* රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මා බැඳී සිටිනවා
* සිංහල ජාතිය කොහෙත්ම පාවා දෙන්නේ නෑ
*  ඉඩම් කොමිසම පත්කර ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්
- ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි

නාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී සිටින බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඒ අනුව 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවද පෙන්වා දෙයි.

13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ඊට බහුතරය අකමැති වුවහොත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම කළ යුතු බව පැවසුවේය.

කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් මෙම අදහස් පළ කෙළේ ජනාධිපති කාර්යාලයේ ඉකුත් 26 වෙනිදා පැවති සර්ව පාක්ෂික හමුවට සහභාගි වූ නියෝජිතයන් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය. යුද්ධය අවසන් වන විට විශාල ඉඩම් ප්‍රමාණයක් රජය යටතේ තිබුණා.

ඉන්පසු මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු යටතේ ඉඩම් නැවත ජනතාවට බාර දෙනු ලැබුවා.

යාපනයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීයි. ඒ අනුව මේ වන විට ඉතිරිව තිබෙන්නේ තවත් අක්කර 3000ක වගේ ප්‍රමාණයක් පමණයි.

ආරක්ෂක කටයුතුවලට බාධා නොවන ආකාරයට එම ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන කටයුත්ත ආරක්ෂක අංශවලට භාර දිය යුතුයි. ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අප ඉඩම් ලබාදීම සිදු කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් අනුවයි.

ඒ වගේම ඉඩම් කොමිසම වහාම පත් කළ යුතුයි. ඊට අදාළ කෙටුම්පත් මාර්තු මාසය වන විට ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා පළාත් 9න් සාමාජිකයන් නව දෙනෙකු පත් කරන්න ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙනවා. 12 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරනවා. ඉන්පසු ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුයි. එවිට ඉඩම් කොමිසමට ජාතික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ 30%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කැලෑවලට වෙන් වෙනවා. දැනට සිදුවී තිබෙන්නේ සැලැස්මක් නැතිව වනාන්තර සඳහා හදිසියේ ඉඩම් වෙන් කිරීමයි. නමුත් උඩරට වගේම මහවැලි ගඟ, කැලණි ගඟ, කළු ගඟ යන ගංගා සියල්ලම ආරම්භ වන ස්ථානවල අප වනාන්තර නැති කරගෙන තිබෙනවා. කෙසේ හෝ වනාන්තර ප්‍රමාණය වැඩි කළ යුතුයි. වන ඝනත්වය 30%ක් දක්වා ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉඩම් පිළිබඳ තීරණය කිරීමට අප ඉඩම් කොමිසමට ඉඩ දිය යුතුයි. ඒ සඳහා මාත් උපරිමයෙන් කැප වී සිටිනවා.

පළාත් පොලිස් කොමිසම වෙනුවට ජාතික පොලිස් කොමිසම ඇති කිරීමට විරුද්ධ නම් සංශෝධනයක් ගෙනැවිත් එය පරාජය කළ හැකියි. දෙකෙන් එකක් කළ යුතුයි.

මෙම කටයුතු සම්බන්ධව අප ගනු ලබන පියවර පිළිබඳ මා පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ යෝජනා තිබෙනවා නම් 04 වෙනිදාට පෙර ලබා දුන්නොත් ඒවාත් ඇතුළත් කරගෙන අපි ඉදිරියට යමු.

මේ රට බෙදීමට මා සූදානම් නෑ. අප කවුරුවත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන්ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක්වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවා නම් දමිළ, මුස්ලිම් , බර්ගර් ඇතුළු ලංකාවේ අනෙක් කණ්ඩායම් සමඟත් එකට ජීවත් විය යුතුයි. අපේ ජාතික ගීයේ සඳහන් “ එක මවකගේ දරුවෝ” යන්න අප ආරක්ෂා කළහොත් රටේ එකමුතුකමත් රැකගෙන ඉදිරියට යා හැකි බව මට විශ්වාසයි.

දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාට එකඟ විය හැකි ආකාරයට පියවරෙන් පියවර අපි විසඳා ගනිමු. මීට පෙර අප සියලුදෙනා එකඟ වූ ආකාරයට මේ ප්‍රශ්නයේ හිර වෙන්නේ නැතිව ක්‍රියාත්මක වෙමු. අප කිසිවෙක් පාවා දෙන්නෙත් නෑ. නැති වෙන්නෙත් නෑ. රට බෙදෙන්නෙත් නෑ. අද අප එකතු වෙලා තිබෙන්නේ.

මෙම සර්ව පාක්ෂික සමුළුවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මැති ඇමැතිවරු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, තිස්ස විතාරණ, වජිර අබේවර්ධන, රිෂාඩ් බදුර්දීන්, කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, එම්.ඒ සුමන්තිරන් , රවුෆ් හකීම්, සී වී විග්නේෂ්වරන්, සුරේන් රාඝවන්, සරත් වීරසේකර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සාගර කාරියවසම්, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ඒ. එල්.එම් අතාවුල්ලා, ඉම්රාන් මහරූෆ් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

Comments