ජරාව, දුක සහ ශ්‍රී ලංකා පොලිසිය | සිළුමිණ

ජරාව, දුක සහ ශ්‍රී ලංකා පොලිසිය

පොලිසියේ ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳකම් පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා තිබේ. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණයකදී ඇමැතිවරයා ඉහත සඳහන් ප්‍රකාශය කර ඇත. ඇමැතිවරයාගේ කතාව පසුගිය ශත වර්ෂයට ද බලපාන කතාවකි.

මෙයට අවුරුදු 25 ට පෙර මේ රටේ සිටි පොලිස්පතිවරයෙක් කුඩුකාරයකුගේ දරුවකුගේ උපන්දින සාදයකට සහභාගී විය. ඒ බව පුවත්පත් ඔස්සේ හෙළිදරව් කරන ලදුව පොලිස්පතිතුමාට ගෙදරම යෑමට සිදු විය. ඒ අතර සහකාර පොලිස් අධිකාරිවරයෙක් ගෙදර වහලයේත් වෙනත් තැන්වලත් ගංජා වවන හැටි මීට දෙසතියකට පමණ පෙර හෙළි විය. ඒ. එස්. පී ගංජා වවන්නේ සුරුට්ටු ගැසීමට පමණක් නොව විකිණීමටත් එක්කය. ඔහු ගංජා වවනවා නම් රාලහාමි කෙනෙක් කසිප්පුකාරයකුගෙන් රුපියල් 1000 ක් ලබා ගැනීමේ වරදක් ඇද්දයි කෙනකු ප්‍රශ්න නැඟිය හැකිය. අප මෙයින් අදහස් කරන්නේ පගා ගැසීම වරදක් නොවන බව කීමට නම් නොවේ.

පගාව යනු දුෂ්ට සහ දුර්දාන්ත ක්‍රියාවලි රැසකට ද්වාරය විවර කරන්නකි. හැබැයි පොලිස් ලොක්කෙක් කුණු වැඩ කරන විට සාමාන්‍ය පොලිස් රාලහාමිලා හෝ සාජන් මහත්වරු උපාසකයන් මෙන් කටයුතු කළ යුතු බවක් අපේක්ෂා කළ නොහැකිය. මෙයට කලකට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ පරිදි ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි කරන රාලහාමිලාත්, සාජන්ලාත් එස්. අයි. ලාත් අතුරින් සෑහෙන පිරිසක් කුඩ්ඩෝ වෙති. ඔවුන්ට අත පෙවිය හැකි හැම තැනකම කුඩු තිබේ. කුඩු ජාවාරම්කාරයන් වෙතින් අත්අඩංගුවට ගනු ලබන කුඩු සම්පූර්ණ තොග වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් කවදාවත් සිදුවන්නේ නැත. කුඩු කිලෝවක් අත්අඩංගුවට ගත්තොත් කුඩු ග්රෑම් 250 ක් උසාවි යන අතර ඉතුරු කුඩු ග්‍රෑම් 750 ආපසු කුඩු මුදලාලිලා අතටම යයි. ඒවා එම ගමන යන්නේ පොලිසියේම සිටින ඇතැම් නිලධාරීන් හරහාය. සාමාන්‍යයෙන් උසස් තත්ත්වයේ හෙරොයින් කිලෝවක සිල්ලර මිල රුපියල් කෝටියකි. එයින් ග්‍රෑම් 250 ක් උසාවි ගිය විට තවත් ග්රෑම් 750 ක් පොලිසියේ ඉතුරු වෙයි. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 750 කි. මේ කුඩු ටික රුපියල් ලක්ෂ 500 ට වික්කත් රුපියල් ලක්ෂ 250 ට වික්කත් පොලිසියට ලොකු වාසියක් අත්වේ.

කුඩු වෙළඳුන්ට දැනට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ අයිස් නමැති මත්ද්‍රව්‍ය ය. එයට හේතුව අයිස් කිලෝවක මිල කුඩු කිලෝවකින් පහෙන් එකක් පමණ වීමය. ඒ නිසා අයිස් වෙළඳාමෙන් ලොකු ලාභාංශයක් තබාගත නොහැකිය. මෙය කුඩු වෙළඳුන්ට මෙන්ම කුඩු වෙළඳාමේ යෙදෙන ඇතැම් පොලිස් නිලධාරීන්ට ද ලොකු ප්‍රශ්නයක් වීමට ඉඩ තිබේ. පොලිසිය පිරිසිදු කිරීම වැසිකිළි වළක් පිරිසිදු කිරීමටත් වඩා දුෂ්කර වූ ද ගඳ ගහන වූ ද කාර්යයකි. මෙය හරිහැටි කර ගැනීමට මීට පෙර සිටි පොලිස් ඇමැති වූ සරත් වීරසේකරට ද බැරි විය. එය සරත් වීරසේකරගේ වරද නොව එකල තිබූ ආණ්ඩුවේ වරද ය. මේ වෙලාවේදී පොල­ිසිය පිරිසිදු කිරීමට අවශ්‍ය සම්පූර්ණ නිදහස ලබාදෙන ආණ්ඩුවක් පොලිස් ඇමැති ටිරාන් අලස්ට ලැබී තිබේ. එබැවින් කෙසේ හෝ නාසය වසාගෙන ඉහත සඳහන් කුණු වල තුළට බැස එය පිරිසිදු කිරීම ටිරාන් අලස් විසින් කළ යුතුමය.

නීතිය නමැති සාධකය සැරට ක්‍රියාත්මක කළ ලෝකයේ පළමු රාජ්‍ය චීනය බවට පිළිගැනීමක් තිබේ. ක්‍රිස්තු පූර්ව 8 වැනි සියවසේදී චීනයේ තිබූ Chu සහ Jing යන රාජධානිවල ලෝකයේ පළමුවැනි ප්‍රජා පොලිස් සේවා පටන් ගත් බව කියනු ලැබේ. මහජනතාව අතර සිටින අපරාධකරුවන් මහජනතාව විසින්ම අත්අඩංගුවට ගනු ලැබ මහේස්ත්‍රාත්වරුන් හමුවට පැමිණ වීමේ ක්‍රමයක් ඉහත සඳහන් චීන රාජ්‍යවල තිබිණ. මෙකල සිටි මහජන පොලිස් නියෝජිතයන්ට වැටුපක් නොගෙවන ලදී. ඔවුන් ගොවිතැනින් සහ පශු සම්පත් කර්මාන්තයෙන් ජීවත් වන අතර හරක් හොරුන්ගෙන් සහ ධාන්‍ය හොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා පෙරකී ස්වේච්ඡා පොලිස් ක්‍රමය පටන් ගත් බව කියනු ලැබේ. මීට පෙර ග්‍රීක පෞර රාජ්‍යය සම්ප්‍රදාය තුළ ද පොලිස් ක්‍රමවේදයන් පැවතිණි. එතැනදී සිදු වූයේ පෞර රාජ්‍යය පාලකයාගේ සෙබළුන් හෝ ආරක්ෂකයන් පැමිණ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය. මෙහිදී එම සෙබළුන් සහ ආරක්ෂකයන් වඩාත් සැලකිලිමත් වුණේ සිවිල් වැසියන්ට සිදුවන අපරාධ ගැන ක්‍රියා කිරීමට නොව පාලකයාට පාඩු වන අපරාධ ගැන ක්‍රියා කිරීමය.

එක්දහස් පන්සිය ගණන්වලදී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසි ආක්‍රමණිකයා මෙරටට පොලිස් සේවයක් හඳුන්වා දී නැත. මෙකල පොලිසියක් කරනවා යැයි සමාජයෙන් ඇහෙන බොහෝ වැඩ එකල සිදු කළේ එනම් මිනිසුන්ට පහර දීම, වධ දීම, හොරුන්ගෙන් අල්ලස් ගැනීම, ස්ත්‍රීන් දූෂණය කිරීම, ළමා අපචාර සිදු කිරීම, නීතිය හා සාමය ක්‍රියාවේ යෙදවීම වැනි සියලු කටයුතු කරන ලද්දේ පෘතුගීසි හමුදාවේ සෙබළුන් විසිනි. පෘතුගීසීන් එළවා ලංකාවේ මුහුදුකරය අල්ලා ගත් ලන්දේසීන්ට ද පොලිස් සේවාවක් නොවීය. පොලිසිය සතු සියලු හොඳ වැඩ මෙන්ම නරක වැඩද එදා කරන ලද්දේ පෘතුගීසි හමුදාවය. ඉංග්‍රීසි ආණ්ඩුවේ මුල් යුගයේදීද පොලිස් කතන්දරයක් මේ රටේ තිබුණේ නැත. හැබැයි ඒ වනවිට මහා බ්‍රිතාන්‍ය තුළ නම් පොලිස් සේවාවක් පටන්ගෙන තිබිණ. ඉංග්‍රීසිකාරයෝ 1806 දී මෙරටට ගම් සහ නගර මට්ටමින් විදාන ආරච්චිලා පත් කළහ. ගමේ ආරච්චි රාල හෙවත් ආරච්චිල ලෙස හඳුන්වන ලද මොවුහු එම ප්‍රදේශවල පොලිස් ප්‍රධානීන් හැටියට වැඩ කළහ. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඒ අයට මූලික දඬුවම් දීම පිළිබඳ අයිතිවාසිකම් ආරච්චිරාලට පැවරිණ.

ශ්‍රී ලංකාවට විධිමත් පොලිස් සේවයක් හඳුන්වාදීමේ මූලාරම්භය පටන් ගන්නේ 1832 දීය. එම අවුරුද්දේදී පොලිස් සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක්, ප්‍රධාන කොස්තාපල් කෙනෙක්, ප්‍රධාන නොවන කොස්තාපල්ලා පස් දෙනෙක්, සාජන්ලා දස දෙනෙක් සහ පියන්ලා එකසිය පනහක් කොළඹ නගරයේ ස්ථාපනය කරන ලදී. එදා පොලිස් පියන් යනු ඉතා බලසම්පන්න කෙනෙකි. ඔහු ගමේ හැසිරුණේ දැනට ඉන්න ඩී. අයි. ජී. මෙනි. සිංහල අවුරුද්දට, වෙසක් එකට සහ පොසොන් එකට පොලිස් පියන්ගේ ගෙදරට සන්තෝසම් කඳමලු යැවීමේ සිරිතක් තිබිණි. මෙය මේ රටේ ජනයා සිය කැමැත්තෙන් කරන ලද්දකි.

මේ අනුව පගා ගැනීම පොලිසියට පුරුදු කරන්නේ ජනතාවය. ඒ පුරුද්ද සංසාර පුරුද්දක් බවට පත් වී ඇති මෙකල පගා ගැනීම පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් වී තිබේ. 1844 වන විට එතෙක් මුහුදුකරයේ තිබූ පොලිසිය රට ඇතුළට යයි. 1858 වන විට පොලිසිය මධ්‍යම කඳුකරය දක්වා ව්‍යාප්ත වෙයි. මේ රටේ මුලින්ම පොලිස් නිලධාරියෙක් වෙඩි කා මියයන්නේ උතුවන්කන්දේ සරදියල් අප්පු තැබූ වෙඩිල්ලකිනි. මෙකල තිබුණේ පතරොම් තුවක්කු නොව වෙඩි බෙහෙත් හා මූනිස්සම් තුවක්කු බටේ ඇතුළට දමා කොටන වෙඩි විශේෂයක්ය. මෙය වැදුණු විට ශරීරයෙන් කෑල්ලක්ම ගැලවී යයි. අද වන විට මේ රටේ පොලිසිය මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනය බවට පත්ව තිබේ. අනූදාහත්, ලක්ෂයත් අතර පිරිසක් එහි සේවය කරති. ඔවුහු දිනපතාම සාමාන්‍ය ජනතාව හා ගැටෙති. අපරාධකරුවන්ට මුහුණට මුහුණ සම්මුඛ වෙති. මේ නිසා අපරාධකරුවන් සමඟ කුඩු බිස්නස් කිරීමත් පගා ගැහීමත් ඔවුන්ට ඉතා පහසු වී තිබේ.

පොලිස් ඇමැති ටිරාන් අලස්ගේ කතාවේ හරය වන්නේ පොලිසිය ප්‍රතිසංවිධානය විය යුතු බවය. රටේ නීතිය හා සාමය දෛනිකව පවත්වා ගෙන යෑමට නම් එම ක්‍රියාවලියට සම්බන්ධ විය යුත්තේ දූෂිත පගා මරුවන් සිටින ආයතනයක් නොව අදූෂිත ක්‍රියාශීලී පිරිසක්ය. මේ සියල්ලටම අමතරව කිව යුත්තේ මේ රටේ වැඩිම දුකක් විඳින ආයතනය වන්නේ ද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්ත­‍ෙම්නේතුව බවය. අපේ අදහසට අනුව ටිරාන් අලස් ඒ බව දනී. ඒ සම්බන්ධයෙන් ඔහු කුමක් කරන්නේ දැයි අපි බලාගෙන සිටිමු.

Comments