
ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ‍්‍රී ලංකාව සිය සියලූ ණය ආපසු ගෙවීමට කැප වී සිටින බව ද මහ බැංකු අධිපතිවරයා සදහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
“ඉන්දියාව දැනටමත් මූල්‍ය සහතික කිරීම් පොරොන්දු වීමත් සමඟ මේ මාසයේ හොඳ ප්‍රගතියක් ඇති වී තිබෙනවා. අපි ඉක්මනින්ම චීනයෙන් සහ ජපානයෙන් සහතිකයක් බලාපොරොත්තු වෙමු,” යැයි වීරසිංහ මහතා කියා සිටියේය.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනක කොටසක් ලෙස අර්බුදයකට මුහුණදී සිටින අසල්වැසි ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කරනු ලබන ණය වැඩසටහනකට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය සහනයක් ලබාදෙමින් ඉන්දියාව සිය කැපවීම තහවුරු කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා දිවයිනේ සංචාරයක නිරතවන අතරතුර මේ බව ඉන්දියාව නිවේදනය කර ඇති අතර එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සහාය දක්වන බවද ඉන්දියාව ප්‍රකාශ කළේය.