සින­මාව හැඩ කළ සඳ­ව­තිය නුබ ගැබ අඳුරු කොට නික්මු­ණාය | සිළුමිණ

සින­මාව හැඩ කළ සඳ­ව­තිය නුබ ගැබ අඳුරු කොට නික්මු­ණාය

තිඥ හෙන්රි (හැරී) ගුණවර්ධන සහ හැරියට් වික්‍රමසිංහට දාව දකුණු ලක පයාගලදී 1935 මාර්තු මස 24 වැනිදා සුමිත්‍රා ගුණවර්ධන මෙලොව එළිය දුටුවාය. ඇයගේ පියා බොරළුගොඩ පරම්පරාවේ ප්‍රධාන පුරුකක් වූයෙන් වාමාංශික දේශපාලන පසුබිමක් ඇයට උරුම වූවාය. බොරළුගොඩ සිංහයා ලෙස විරුදාවලිය ලත් පිලිප් ගුණවර්ධන ඇගේ බාප්පා වූවාය. පියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රකට නීතීඥයකු වූ අතර මව සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කාන්තාවක වූවාය. සුමිත්‍රා ගුණවර්ධනට වයස අවුරුදු 14ක් වනවිට ඇගේ මව සදහටම දෙනෙත් පියා ගත්තාය. එතැන් පටන් සුමිත්‍රා තම සොයුර සොයුරියන් වූ ගාමිණි, චන්ද්‍රලතා සහ රංජිත් සමඟ තම ජීවන ගමනේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් නැඟී සිටියාය. අවිස්සාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් මුලකුරු කියැවූ ඇය අනතුරුව කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනයෙහි නිරත වූවාය. පසුව ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයට ඇතුළත් වූවාය. වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ තවත් පතාකයකු වූ රොබට් ගුණවර්ධන ද ඇගේ බාප්පා වූ අතර පියා ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව මැතිවරණයෙන් පරාජය ලබුවාය. නමුත් බාප්පලා දෙදෙනා වූ, පිලිප් අවිස්සාවේල්ල ආසනය ද, රොබට් කෝට්ටේ ආසනය ද ජය ගත්තේය. කුඩා වියේ සිටම නිවස තුළ පැවති මේ දේශපාලන පසුබිම නිසා පාර්ලිමේන්තුවට ගොස් වාද විවාද අසා සිටීමට මෙන්ම අය වැය විවාදවලට සවන් දීමට ඈ මහත් රුචියක් දැක්වූවාය. ඕ ඍජුවම දේශපාලනයට සම්බන්ධ නොවූව ද, පිලිප් ගුණවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඡන්ද පොළ නියෝජිතවරියක ලෙස කටයුතු කරමින් ඔහුට සහාය පළ කළා ය.

ආචාර්ය සුමිත්‍රා පීරිස් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

සුමිත්‍රාට වයස අවුරුදු 20 පමණ වන විට ප්‍රමාණවත් මුදලක් එකතු කරගෙන යුරෝපය බලා පිටත්ව ගියාය. ඒ තම සොහොයුරා වූ ගාමිණි ළඟටය. එතැන් පටන් ඔහුගේ ආධාර උපකාර ඇතිව ඇය යුරෝපයේ විවිධ රැකියාවන් හි නිරත වූවාය. රාජ්‍ය තාන්ත්‍රික දූත සේවයේ නිරත වූ සුමිත්‍රා ප්‍රංශ තානාපතිවරිය ලෙස කලක් කටයුතු කළාය. ශිෂ්‍යත්වයක් ලැබ ප්‍රංශය බලා ගිය ඇය සිනමා අධ්‍යක්ෂණය ගැන එහිදී මැනැවින් හැදෑරුවාය. ඒ ගැන ඇය වරක් මාධ්‍ය වෙත මෙසේ පැවසූවාය.

“ඒ වෙනකොට මට අවුරුදු විස්සක් විතර ඇති. පිටිසර උපන්න පුංචි කෙල්ලෙක් වූ මම ඒ වගේ හිතුවක්කාර තීරණයක් ගත්තු එක ඒ කාලෙ හැටියට මහා පුදුමයක්. මං ගියේ මගේ අයියව සොයාගෙන. අයියා ප්‍රංශ මිනිස්සු කණ්ඩායමක් එක්ක ප්‍රංශයේ මෝල්ට් දූපතේ බෝට්ටුවක ජිවත්වන බව ඔහු මට ලියා එව්වාට පස්සේ මං ඔහු වෙත යන්න තීරණය කළා. අම්මාගේ මරණින් පස්සෙ අයියා එක්වරම අතුරුදහන් වුණා. අයියාගේ වෙන්වීම මට ඒ කාලෙ දරාගන්න බැරි කම්පනයක් වුණා. දුක් අඳෝනා වැලපුම් මැද්දේ මං ගෙදරින් පිට වුණා. ඒත් මං ඒ ගමන ගියේ දැඩි ආත්ම විශ්වාසයෙන්...”(මුළු ගෙදරම හඬා වැලපෙද් දී සුමිත්‍රා අයියා සොයා යයි. සිත්සර 1981 - 1 - 22)

ඒ ඇගේ චරිතයේ ස්වභාවයයි. මේ ගති ලක්ෂණවලට ඇයට බෙහෙවින්ම බල පෑ පුද්ගලයා වන්නේ පිලිප් ගුණවර්ධනය. “පිලිප් බාප්පා කල්පනා කරපු විදියට මම හරි කැමැතියි. එයාගේ තරුණ කාලේ එයා හිතුවෙ වෙනස් විදියට. ලොකු රස්සාවක් කරල, මහ විශාලෙට සල්ලි හම්බ කරලා ඉහළ ජීවිතයක් ගත කරන්න නෙවෙයි එයාට ඕනෑ වුණේ. පිලිප් බාප්පාගේ ඇහැ ගැටුණෙ දුප්පත් ගැමි ජනතාව. ඔහු බලාගෙන හිටියෙ මේ අසරණ දුප්පතුන් දිහා. බැලූ බැලූ අත පෙනුණේ මන්ද පෝෂණය සහ මැලේරියාව. මේ දුප්පත් ගෑනු පිරිමි සහ පොඩි වුන් ඇට කෝටු බවට පත්වෙලා. කිසිම අනුකම්පාවක් නැති රදළයින්ගේ සහ හිතුවක්කාර නිලධාරින්ගේ වද හිංසාවලට මේ ගැමියෝ ගොදුරු වෙලා හිටියා. සුද්දන්ගේ යකඩ සපත්තුවලට මේ අහිංසක සිංහලයෝ පෑගී යට වෙලා දුක් විඳිනවා. පිලිප් බාප්පා දැක්කා.”

මෙවැනි වූ දේශපාලන පසුබිමක හැදී වැඩුණු නිසාදෝ මේ ආකල්ප සුමිත්‍රාගේ සිනමා කෘතිවල සියුම් ලෙස නිරූපණය වූවාය. ඇගේ කෘති තුළ සමාජ විසමතාව, පන්ති පරතරය සහ ලිංගික සූරාකෑම වැනි ආර්ථික දේශපාලන හා සමාජ කාරණා ප්‍රචාරාත්මක ආකෘතියෙන් ඔබ්බට ගොස් කාව්‍යාත්මකව ප්‍රකාශයට පත් කළාය. මෙනිසාම ඇය ‘හෙළ සිනමාවේ කිවිඳිය’ ලෙස අබිසෙස් ලැබීය. වරක් සම්මාන උලෙළක දී ඇය රාජ්‍ය නායකයකු විසින් ප්‍රදානය කළ සම්මානයක් ඔහු ඉදිරියේ ම ප්‍රතික්ෂේප කිරීමට තරම් එඩිතර වූවා ය.

සුමිත්‍රා ගුණවර්ධන සිය සිනමා විප්ලවය අරඹන්නේ ‘සංදේශය’ චිත්‍රපටයෙනි. ඒ එහි කාර්මික ශිල්පිනියක ලෙසය. එම කණ්ඩායමෙහි සිටි එකම තරුණිය ඇය වූවාය. මෙරට ආක්‍රමණය කළ පෘතුගීසින්ට එරෙහිව දේශප්‍රේමී සටන්කාමීන් නිරත වූ විප්ලවීය අරගලය ‘සංදේශය’ චිත්‍රපටයට පසුබිම් විය. 1956 දී තිරගත වූ ‘රේඛාව‘ චිත්‍රපටයෙන් ඇය ලෙස්ටර් හඳුනා ගැනීමෙන් ඔහුගේ දෙවන චිත්‍රපටයට වූ ‘සංදේශය’ට මෙලෙස සම්බන්ධ වූවා ය. ‘සංදේශය‘ අන්තර්ජාතික චිත්‍රපට උත්සව කිහිපයකම ප්‍රදර්ශනය කෙරිණි. චෙකොස්ලෝවැකියාවේ කාලෝවිවේරි චිත්‍රපට උලෙළ ඉන් එකකි. එම උලෙළේ දී ‘සංදේශය’ තිරගත කොට ඇත්තේ සංස්කරණය කොට ය. එනම් ඇතැම් කොටස් කප්පාදු කරමිනි. මෙය සමාජවාදී දේශපාලන පරමාර්ථවලට අනුව සිදු කෙරුණු කප්පාදුවක් බව පසුව වැටහිණි. මෙම අනවසර සංස්කරණයට විරෝධය පාමින් ලෙස්ටර් එම උලෙළින් ඉවත්ව ගොස් ඇත. එය සිදු වූයේ ඇගේ අනාගත සහකාරිය අතින් බව පසුව ඔහු දැන ගත්තේය. මෙවැනි ක්‍රියා නිසා ලෙස්ටර්ගේ සිත්ගත් මේ රැඩිකල් තරුණිය 1964 ජුනි 19 වනදා ඕල් සේන්ට්ස් (All Saints) දේවස්ථානයේ දී ලෙස්ටර් සමඟ අතිනත ගත්තාය. පසුව ඇය සුමිත්‍රා පිරිස් නමින් පෙනී සිටියාය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, අහසින් පොළවට, මඩොල්දූව ආදී විශිෂ්ටතම සිනමා කෘති පෙළකම සංස්කරණ ශිල්පිනිය බවට පත් වූයේ සුමිත්‍රාය. මීට අමතරව ‘බක්මහ දීගේ’ හා ‘කළුදිය දහර’ යන චිත්‍රපට ද ඇයගේ සංස්කරණයෙන් සිනමාරූපී වූවාය. දෑස නිසා (1975) සහ බැද්දේගම (1981) චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව වූයේ ද ඇයයි.

සංදේශය හා ගෝඩ් කිං චිත්‍රපටයෙන් ඇය සහය අධ්‍යක්ෂවරියක ලෙස සිනමාවේ තවත් අඩියක් පෙරට තැබීය. එසේ වුවත් ඇයගේ සිනමා රීතිය සිය සැමියා වන ලෙස්ටර්ගේ සිනමා විලාසයට හාත්පසින්ම වෙනස් වූ රීතියක් හා අනන්‍යතාවක් ප්‍රකට කළාය.

සුමිත්‍රාගේ සිනමා භාවිතාවේ ප්‍රධාන අනන්‍ය ලක්ෂණයක් වන්නේ එකී සිනමා කෘති සියල්ලෙහිම පොදු වස්තු විෂය පීඩිත ස්ත්‍රිය වීමයි. ඇගේ බෙහොමයක් සිනමා කෘති සාහිත්‍ය කෘති පාදක කරගෙන නිර්මාණය වූ තිර රචනා වීමද විශේෂය. මෙරට විවිධ සමාජ ස්ථර නියෝජනය කරන ස්ත්‍රීන් මුහුණ දෙන ගැටලු, අසාධාරණකම්, දුක්ක දෝමනස්සයන් හා සාංකාවන් සිය කෘති සඳහා ඇය විෂය කර ගත්තාය. මෙනිසා ඇගේ සිනමා කෘති ප්‍රඥා මාර්ගයට වඩා පපු කැණැත්තටම දැනෙන සිනමා කෘති වූවාය. එනිසා ඇය හදවතේ සිනමාකාරිය හෙවත් ‘හෙළ සිනමාවේ කිවිඳිය’ ලෙස විරුදය ලැබුවාය. ලෙස්ටර්ගේ සිනමාවෙන් වෙනස්ව ඇගේ සිනමාව සලකුණු කරන තවත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මෙම ළතෙත් සිනමා රූපී මඟයි.

නමුත් ලෙස්ටර්ගේ රැස්වළල්ලෙන් ඇගේ ප්‍රභාව වැසී තිබුණේය. සිනමාකාරියක ලෙස ඈ විටින් විට මතුව පෙනුණේ කලා සොළස පිරී දිලෙන පූර්ණ චන්ද්‍රයා විලසිනි. ඒ තම කෘති වෙනුවෙන් ඈ ඇගයුම් ලබන අවස්ථාවන්වල දී පමණි. හිරුගේ රශ්මියෙන් සඳ වැසී තිබෙන්නාක් මෙන් ලෙස්ටර්ගේ රශ්මි කදම්භයෙන් ඈ වැසී තිබුණෙන් කවුරුත් පාහේ ඈ හඳුනා ගත්තේ ලෙස්ටර්ගේ සුමිත්‍රා ලෙසය.

ඇගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ 1978 දී තිරගත වූ ‘ගැහැනු ළමයි’ එතෙක් සිනමාවේ ආදර කතා අතර තවත් කතාවක් නොව කාගේ හදවතේ කතාව බවට පත් වී තිබුණේ ඒ නිසාය. ඒ ඈ ඒ වනවිටත් න්‍යායත්මකව හා ප්‍රායෝගිකව ක්ෂේත්‍රයේ නියැළී මනා පරිචයක් ලබා තිබූ නිසාය.

සිනමාව පමණක් නොව සෝප් ඔපෙරා හෙවත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙහි ද සුමිත්‍රා දැක්වූ කුසලතාව ඇගේ නිර්මාණ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයන් වන්නීය. ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරිය ලෙස ඉතිහාසයට එක් වන්නී ඈය. ඒකාංගික හා වාර්තා ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණයට යොමු වූ සුමිත්‍රා 1971 දී ප්‍රංශයේ ඔර්ෆ්හි ටෙලිනාට්‍ය නිර්මාණය පිළිබඳ පුහුණුව ලබුවාය. ඉන් අනතුරුව ලන්ඩන් බී. බී.සි ය සමඟ ‘මුහුද අද්දර ගම’ නිෂ්පාදනයේ සම නිෂ්පාදිකාව වූවා ය. ගැහැනු ළමයි හා ගොළු හදවත ටෙලිනාට්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ සම අධ්‍යක්ෂණයෙන් එළි දැක්වූවාය. එසේ වුවත් සිනමාව තරම් සුමිත්‍රා සූරකම් පෑ වෙනත් කලා මාධ්‍යයක් නොවූවාය. එලෙස ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට, කලාත්මක හා සිනමානුරූපී චිත්‍රපට බොහෝමයකි. ගැහැනු ළමයි (1978), ගඟ අද්දර (1980), යහළු යෙහෙළි(1982), මායා (1984), සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා (1988)ලොකු දුව(1996), දුවට මවක මිස(1997), සක්මන් මළුව(2003), යහළුවෝ(2007) සහ ඇගේ අවසාන සිනමා නිර්මාණය වූ වෛෂ්ණාවී(2018) කාගේත් කතාබහට ලක්වූ සිනමා කාව්‍යයන් විය. මෙම සිනමා චාරිකාව තුළ සුමිත්‍රා පුරුෂාධිපත්‍යයෙන් ආඨ්‍ය වූ සමාජයක ස්ත්‍රිය විසින් අත්විඳිනු ලබන අනේකවිද දුක්ක දෝමනස්සයන්, අසාධාරණකම් ස්ත්‍රීවාදී ඇසකින් පමණක් නොව කලාත්මක හා සිනමානුරූපී ඇසකින් දකින්නට ගත් උත්සාහයන් වූවාය.

ඇය සිනමා, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, සංස්කරණය හා සම නිෂ්පාදනය යන භූමිකා තුළ සුමිත්‍ර ලාංකේය කලා සාහිත්‍ය වංශ කතාවේ ඇයගේම වූ පරිච්ඡේදයක් වෙන් කරගෙන අවසානය.

ඇගේ අවසාන සිනමා නිර්මාණය වූ වෛෂ්ණාවී ගැන සරසවිය පුවත්පතට පවසා තිබුණේ “වෛෂ්ණාවි මගේ ජීවිතේ සුවිශේෂ සංධිස්ථානයක්. ලෙස්ටර් මාත් සමඟ විවාහ වෙලා දැන් වසර 50 කටත් අධික කාලයක් ගත වෙලා. මේ ගෙවුණු කාලය තුළ අපි දෙන්නගේ ජීවිතේ සිනමාව හැර වෙන දෙයක් තිබුණේ නෑ. සිනමාකාරියක් විදියට මේ තරම් දුර ගමනක් එන්න මගේ ජීිවිතේට වැඩියෙන්ම බලපෑවේ ලෙස්ටර්. අම්මා තාත්තාගෙන්, පරම්පරාවෙන් මට උරුම වෙන්න තිබුණේ වෙනත් දෙයක්. මම සිනමාව ඉගෙන ගන්න ගියේ ලෙස්ටර් හමුවෙන්න කලින්. හිතුවක්කාර විදියට පිටරට ගිහින් ඒ ගත කළ ජීවිතේ මේ විදියට වෙනස් වෙන්න හේතු වුණේ ඔහු. ඔහු මුණ නොගැසුණා නම් ලන්ඩන් ස්කුල් එකෙන් සිනමාව ඉගෙන ගෙන එහේ ඉඳලා කාලයක දී මෙහෙ ඇවිත් චිත්‍රපට කරන්නත් ඉඩ තිබුණා.” කියාය.

වෛෂ්ණාවීවලින් පසුව ඈ තවත් සිනමා කෘතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා පරිශීලනය කරමින් පසු වූවාය. මෙරට සිනමා අධ්‍යක්ෂණයට පිවිසි සිවුවන කාන්තාව වූ සුමිත්‍රා මෙරට සිනමාකරණයේ යෙදුණ සිනමාවේදිනියන් හය දෙනා අතරින් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිර්මාණය කළ අධ්‍යක්ෂකවරිය වූවාය. එලෙස සිනමා කෘති 10 ක් අධ්‍යක්ෂණය කරමින් මෙරට මෙන්ම ජාත්‍යන්තර සම්මානයට ද ඕ පාත්‍ර වූවාය. 2022 වසරේ ජනවාරි 15 වැනිදා ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය තකා අප්‍රමාණ මෙහෙවරක් ඉටු කරමින් හෙළ සිනමාවේ පුනරුදයට තම නිර්මාණ දායකත්වය කැප කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත්‍රා පීරිස් වෙත කැලණි විශ්වවිද්‍යාලයේ 121 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී සාහිත්‍ය චක්‍රවර්ති ගෞරව උපාධිය පිරිනැමිණි.

පසුගිය 19 වැනිදා ඕ සිය අවසන් සුසුම් වාතලයට මුසු කරන විට 88 වැනි වියේ පසු වූවාය. හෙළ සිනමාවේ කිවිඳිය සිය අවන් සුසුම වාතලයට මුසු කළාය.

 

Comments