ශ්‍රී ලංකා ක්‍රිකට් ගිලින්න හදන ඩුබායි බූවල්ලා | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ගිලින්න හදන ඩුබායි බූවල්ලා

 

ලින් කලට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය විවිධාකාරයේ බලපෑම්වලට ගොදුරු වන බව පසුගිය කාලයේ වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීම්වලින් පැහැදිලිය.. පසුගිය දශකයේ මෙරට හිටපු සුපිරි පිතිකරුවන් දෙදෙනකුගේ ක්‍රිකට් ඒජන්තවරයා ලෙස කටයුතු කළ එක්තරා විදේශිකයකුගේ පසුකාලීනව මෙරට බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඒජන්තවරයා බවට පත් වීමෙන් ඔහු යටතේ ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයන්ට කිසිදු අවදානමකින් තොරව ජාතික කණ්ඩායමේ දොරටු විවර වූ බවටත් පුවත් පැතිර ගියේය. මෑත කාලයේ ආන්දෝලනයට තුඩු දුන්නේ බෝන් අගේන් ආගමික නිකාය ක්‍රිකට් ක්‍රීඩාවට පිල්ලියක් වී ඇති අයුරුය. එය තවමත් කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ. ඒ සියල්ල මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිදු වූ බලපෑම් ය. දැන් සිදුවෙමින් පවතින්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍ය ආධිපත්‍ය පතුරුවාලමින් අනාගතයේදී සමස්ත ක්‍රීඩාවම සියතට ගැනීමට බූවල්ලකු මෙන් අඬු දිග හරිමින් සිටින විදේශීය සමාගමක උත්සාහයකි. මේ කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ වැදගත් සාධකයක් වන රූපවාහිනී තරග විකාශයට ඉදිරිපත් වූ විදේශීය ටෙන්ඩර්කරුවන් අතර වෙස්වළාගත් ආශීර්වාදයක් ලෙස මුලින් පෙනුණු අයිපීජී සමාගම ගැනය. නොඑසේ නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගත් නොම්මර එකේ ක්‍රීඩා විකාශන සමාගමක් ලෙස හඳුන්වන ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෘෘප් සමාගම ගැනය.

 

ඊයේ පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි වසර 4ක කාලයකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන අයිතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවනු ලැබුවේ වසර හතරෙන් හතරට සිදු කෙරෙන ටෙන්ඩර් ක්‍රියාවලියක් ලෙසටය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනාගත ක්‍රිකට් තරග කාලසටහනට අනුකූලව වසර 2023 අප්‍රේල් 1 වැනිදා සිට වසර 2027 මාර්තු 31 දක්වා කාලසීමාවකදී මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලි සඳහා මේ ටෙන්ඩර් කැඳවීම සිදු කරනු ලබන්නේ නියමිත පටිපාටියට අනුව බව කියැවේ. අමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක වටිනාකමකින් යුතු එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වන ජාත්‍යන්තර සමාගම් රැසක් තරග වදිනු ඇතැයි ද පැවසේ. එසේ වුවද වත්මන් විකාශන හිමිකරුට පක්ෂග්‍රාහී ටෙන්ඩර් දැන්වීමට ඇතුළත් කර ඇති වගන්තියක් හේතුවෙන් ඊළඟ ටෙන්ඩරයත් එම සමාගමටම හිමිවන ලකුණු පෙනෙන බවටත්, එය එම සමාගමට මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආධිපත්‍ය පතුරුවාලීමේ ඉඩකඩ නිර්මාණය කෙරෙන අවදානම් සහගත කාරණාවක් බවට පත් වී ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

අදාළ වගන්තියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ වත්මන් නිෂ්පාදන සේවා සහකරු අතර (එම ගිවිසුම 2023 මාර්තු 31 වැනිදා අවසන් කෙරේ) එකඟ වූ නියමයන් සහ කොන්දේසි අනුව, මේ ටෙන්ඩරයේ සාර්ථකම ලංසුව ගැළපීමේ අයිතිය වත්මන් නිෂ්පාදන සේවා සහකරුට ඇති බවය. ‘It is to be noted that SLC’s current Production Services Partner (i.e. for the term ending 31 March 2023) has the right to Match the Successful bid of this Tender, in accordance with the terms and conditions agreed between SLC and SLC’s current Production Services Partner.‘

මේ සහකරු අන් කිසිවකු හෝ නොව ඉහතින් සඳහන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගත් අයිපීජී සමාගම ය. අයිපීඑල් මුහුණුවර යටතේ මීට වසර දෙකකට පෙර මෙරට ආරම්භ කළ ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරඟාවලියේ පස් අවුරුදු හිමිකරුවා ද වන එම සමාගම මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන අයිතිය සම්බන්ධව වසර 2023 දක්වා ගිවිසුම්ගතව සිටින බව ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයකින් මීට පෙර සඳහන් කර තිබිණි. වසර 2021 පෙබරවාරි 9 දාතමින් යුතුව නිකුත් කර තිබූ එම නිවේදනයට අනුව එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 4.3කි.

2023 වසරේ සිට තවත් වසර 4කට එම ටෙන්ඩරය කැඳවීමේදී ගැළපීමේ අයිතිය හිමිවී ඇත්තේ එම සමාගමටය. ගැළපීමේ අයිතිය තවත් සමාගමකට හිමි කරදීමේ ටෙන්ඩර් පටිපාටිය කවරේදැයි පැහැදිලි නැත. ක්‍රිකට් ආයතනයේ ටෙන්ඩර් පටිපාටිය සිදු වන්නේ රජයේ ප්‍රසම්පාදන නියමු උපදෙස් සංග්‍රහයට අනුව සහ රජයේ ටෙන්ඩර් ක්‍රියාවලියට අනුකූලව නම් සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කෙරෙන බවට සහතික වීමත්, කිසිදු ටෙන්ඩර්කරුවකුට පක්ෂග්‍රාහීව කටයුතු නොකිරීමත් ප්‍රසම්පාදන මූලධර්මවලට ඇතුළත් බව ඔවුන් අමතක නොකළ යුතුය.

අයිපීජී හෙවත් ඉනොවේටිව් ප්‍රඩක්ට් ගෘෘප් නිර්මාතෘ සහ ප්‍රධානියා වන අනිල් මොහාන් යනු මීට පෙර ටෙන් ස්පෝර්ට්ස් රූපවාහිනි ක්‍රීඩා විකාශන සමාගමේ හිටපු යටිතල පහසුකම් නිලධාරියෙකි. 2003 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඔහු එම සමාගමේ සේවය කර ඇති අතර, විවිධ තරඟාවලි සඳහා රූපවාහිනී තරග විකාශන සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට ද පැමිණ තිබේ. එබැවින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින බොහෝ පුද්ගලයන් සමඟ ඔහුගේ සම්බන්ධතා ඇති බව කියැවේ. ඔහු අයිපීජී රූපවාහිනි විකාශන සමාගම ආරම්භ කිරීමටත් පෙර ඔහු සමඟ මිත්‍රත්ව ගොඩනඟා ගත් ක්‍රිකට් නිලධාරින් ද නැතුවා නොවේ. එල්පීඑල් තරඟාවලිය මෙන්ම සිංගප්පූරු ලීග් තරඟාවලියේ ද හිමිකාරීත්වය දරන අයිපීජී සමාගමේ ප්‍රධානියා මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ ප්‍රකට ශ්‍රී ලාංකික විස්තර විචාරකයකු බව වාර්තා වේ. ඔහු අනිල් මොහාන් හඳුනාගෙන ඇත්තේ එවකට ටෙන් ස්පෝර්ට්ස් සමාගමේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කරද්දී බව කියැවේ. පසුකාලීනව අනිල් මොහාන් එල්පීඑල් තරඟාවලියේ හිමිකාරිත්වය අත්කර ගැනීමෙන් පසු එම තරඟාවලියේ විස්තර විචාරයට ද එක් වූ අදාළ පුද්ගලයාට ද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව විවිධ චෝදනා රැසක් එල්ල වී තිබිණි.

එල්පීඑල් තරඟාවලියේ හිමිකාරිත්වය අත්කර ගනු ලැබුවේ වසර 5ක දීර්ඝ කාලසීමාවකටය. රූපවාහිනී විකාශන අයිතිය ඇතුළු තරඟාවලියේ සියලු මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ අයිතිය ද අයිපීජී සමාගම සතුය. දකුණු අප්‍රිකාව, පාකිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගත් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සහ ආසියා ක්‍රිකට් කවුන්සිලය සමඟ සමීපව කටයුතු කරන බව කියන අනිල් මොහාන්ගේ සමාගම එල්පීඑල් අයිතිය වෙනුවෙන් ගිවිසුමට අනුව වාර්ෂිකව ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2ක් බව ද වාර්තා වේ. මීට අමතරව එල්පීඑල් තරඟාවලියේ කණ්ඩායම් හිමිකාරිත්වය අලෙවි කිරීමේ අයිතිය ද ඔවුන් සතුවන අතර, වසරින් වසරට කණ්ඩායම් හිමිකාරිත්වය වැඩිම ඉල්ලුමකට වෙනස් කිරීමේ බලයත් ඔවුන්ට ඇත. එල්පීඑල් දෙවැනි තරඟාවලියේදී පළමු තරඟාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම්වල නම් සංශෝධනය වූයේ ඒ අනුවය. පසුගියදා පැවැති තුන්වැනි අදියරේ තරඟාවලියේදී ද එසේ කණ්ඩායම්වල නම් වෙනස් වී තිබිණි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල රූපවාහිනී හා ගුවන්විදුලි විකාශන අයිතිය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමෙන් විනිවිදභාවය සහ විධිමත්භාවය පෙන්නුම් කිරීමට කටයුතු කළ ද, ක්‍රිකට් ආයතනයේ වත්මන් නිෂ්පාදන සේවා සහකරුට වාසිදායක පරිදි ටෙන්ඩර් පටිපාටිය සිදු කිරීමෙන් ඉහත කී විනිවිදභාවයත්, විධිමත්භාවයත් දෙකම යටපත් වී ඇතැයි ඇතැම් පාර්ශ්ව කියති. එසේ බැලූ විට ජාත්‍යන්තර තරග සංචාර 14 ක් දැනටමත් පෙළ ගස්වා ඇති ඉදිරි වසර 4ක කාලසීමාව තුළ තරග විකාශන අයිතිය අත්කර ගැනීමට තවත් සමාගම් රැසක් ඉදිරිපත් වීමේ ඉඩකඩක් නැතිදැයි කිසිවකු ප්‍රශ්න කළ හැකිය. නොඑසේ නම් වත්මන් නිෂ්පාදන සේවා සහකරුටම ටෙන්ඩරය දීමේ අභිප්‍රාය සඟවමින් නිශ්චිත ටෙන්ඩර් පටිපාටිය අනුගමන කරන බව හුවා දැක්වීමක් දැයි තවත් කෙනකු අනුමාන කළ හැකිය.

මෑත කාලයේ මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් අනුව ඩුබායි නුවර කේන්ද්‍ර කරගත් අයිපීජී යනු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගිල දැමීමට පැමිණි බූවල්ලකු ලෙස කිසිවකු හැඳින්වීමේ වරදක් ද නැති බව පෙනේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඩුබායි නුවර පැවැත්වීමට කටයුතු කිරීම, ඉන්දීය සංචාරය නිමා වූ සැණින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඩුබායි නුවර පැවැත්වෙන විස්සයි20 ලීග් තරඟාවලියට සහභාගි වීමට අවස්ථාව සැලසීම වැනි සිදුවීම්වලදී ක්‍රිකට් ආයතනයට චෝදනා එල්ල වූ අතර, මේ ක්‍රියාදාමය පසුපස අයිපීජී සමාගම හෝ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේදැයි තවත් කෙනකුට සිතිය හැකිය.

ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය බව දැනගැනීමට ලැබුණේ මාධ්‍ය මගින් යැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය අතර සන්නිවේදනයේ දුර්වලතාව පමණක් නොව තවත් යටි අරමුණු තිබිය හැකි බවය.

ආසියා කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරත වූ බව අමාත්‍යවරයාම ප්‍රකාශ කර තිබිණි. ක්‍රීඩාව සමඟ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමට තිබූ විශාල අවස්ථාවක් ක්‍රිකට් ආයතනය පැහැර හැරිය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි. වැදගත්ම හා විමතිය දනවනසුලු කාරණාව වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරනු ලැබූ පහත සඳහන් ප්‍රකාශයයි.

‘ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මට කිවුවේ ඉන්දියාවත්, පාකිස්තානයත්, බංග්ලාදේශයත් අපේ රටට එන්න අදිමදි කරනවා කියලා. මම ඒ තානාපති කාර්යාලා තුනටම ලියලා ඇහුවම එයාලා මට දුරකතනයෙන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වලා කියනවා මේ ලිපිය දැක්කම එයාලා පුදුම වුණා කියලා. මේ මොහොතේ අපි ලංකාවට එන්න සැදී පැහැදි හිටියේ කියලා. හැබැයි පහසුකම් ටික සැපයීම අපහසුයි කියලා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිවුවා කියලයි එයාලා මට කිවුවේ.‘ අමාත්‍යවරයා එසේ කියා තිබිණි.

අයිපීජී සහ ඩුබායි නගරය අතර ඇති සම්බන්ධතාව කවරේදැයි ශ්‍රී ලංකාවට අදාළ වන්නේ මෙවැනි සිදුවීම්වලදී බව පැහැදිලි ය. අනෙක් අතට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඉන්දීය සංචාරය නිමා වූ සැණින් ඩුබායි බලා පිටත්වීමට ක්‍රිකට් ආයතනය අවස්ථාව සලසා දීම සම්බන්ධවත් බොහෝ පාර්ශ්ව අප්‍රසාදය පළ කර තිබිණි. මෙවැනි කරුණු මත අනිල් මොහාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය ගිල දැමීමට පැමිණි බූවල්ලකු ලෙස ඇතැමුන් හැඳින්වීමේ වරදක් ද නැත. මන්ද මෙවැනි සිදුවීම් අරබයා එවැනි උපකල්පන කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු කාරණා ඇති බැවිනි. එවැනි කරුණු ගොඩ නැඟීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇත්තේ ද ක්‍රිකට් ආයතනය නොවේදැයි කෙනකුට සිතිය හැකිය.

අනික් කරුණ වන්නේ ඉන්දියාවට එරෙහිව පසුගියදා අන්ත පරාජයක් අත් වූ තුන්වැනි එක්දින තරගයෙන් පසු ක්‍රීඩකයන් රැසක් එදිනම රාත්‍රි විස්සයි20 ලීග් තරගවලට ක්‍රීඩා කිරීමට ඉන්දියාවේ සිට විදෙස් රටවල් බලා පිටත්ව යෑමය. ඉන්දීය සංචාරයෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කණ්ඩායමේ අඩකටත් වඩා අඩු ක්‍රීඩකයන් පිරිසක් බවත් වාර්තා විය. විශේෂයෙන් නැෂනල් සුපර් ලීග් තරඟාවලිය ආසන්නව තිබියදී එය මඟ හරිමින් විදෙස් විස්සයි20 ලීග් තරග සඳහා සහභාගි වීමට එම ක්‍රීඩකයන්ට විරුද්ධතාවක් නොමැති බවට වන සහතිකය (NOC) ලබා දීමට ක්‍රිකට් ආයතනය පියවර ගැනීම ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්වල විවේචනයට ලක් වී තිබිණි.

මාර්තු මුල් සතියේදී නවසීලන්තයේ ටෙස්ට් සහ එක්දින සංචාරයකට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා මේ සිවුදින තරඟාවලිය අතිශය වැදගත් වන අතර, ටෙස්ට් සංචිතයට ඇතුළත් වනු ඇතැයි සිතිය හැකි බොහෝ ක්‍රීඩකයන්ට මේ අනුව සති අන්ත දෙකක නැෂනල් සුපර් ලීග් තරග මඟ හැරෙන බවත්, නැෂනල් සුපර් ලීග් තරඟාවලියේ කණ්ඩායම් කිහිපයක නායකත්වය සහ උපනායකත්වය දරන ක්‍රීඩකයන් ද එම විදෙස් විස්සයි20 ලීග් තරග සඳහා එක්වී සිටින බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

නවසීලන්ත ටෙස්ට් තරඟමාලාවට අවශ්‍ය පරිදි සිය දස්කම් මුවහත් කරගැනීමට නැෂනල් සුපර් ලීග් තරගාවලියෙන් ලැබෙන අතර, එය පසුගිය කාලය තුළ විස්සයි20 හා එක්දින තරගවලට අවශ්‍ය මානසිකත්වයට හැඩ ගැසී සිටි ක්‍රීඩකයන්ට රතු පන්දුවට හුරු වීමට ද ලැබෙන කදිම අවස්ථාවක් වූවද, තරඟාවලියේ ආරම්භක අවස්ථාවට මඟ හැරීමට අදාළ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය උඩගෙඩි දීම කනගාටුදායක තත්ත්වයක් බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

එම ක්‍රීඩකයන්ගෙන් බහුතරය මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි 20 (ILT20) තරඟාවලියට එක්වී සිටින අතර, තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකු දකුණු අප්‍රිකාවේ පළමුවරට පැවැත්වෙන ‘SA20‘ තරඟාවලියට එක්වී සිටිති. මේ අතර ඉන්දියාව හමුවේ වාර්තාගත පරාජයක් ලැබූ තුන්වැනි එක්දින තරගයට නම් කළ ඇතැම් ක්‍රීඩකයන් ආබාධයකින් තොරව ඩුබායි සහ දකුණු අප්‍රිකා විස්සයි20 තරග බිමට යෑමේ බලාපොරොත්තුවෙන් එම තරගය මඟ හැරීමට දැඩි උත්සාහයක නිරත වූ බවට ද තොරතුරු වාර්තා විය.

නිවැරැදි විය යුත්තේ මෙවැනි කරුණු කාරණාය. විචේචන එල්ල වීමට හෝ යම් යම් සැකයන් ඇති කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමෙන් තොරව විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්නේ නම් එය ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමට මෙන්ම එහි නිලධාරීන්ට අපකීර්තියට ලක් නොවීමටත් හේතු වනු ඇත. මන්ද මාධ්‍ය මගින් මේවා අනාවරණය කරනු ලබන්නේ ද, පෙන්වා දෙන්නේද පිටු පුරවා දැමීමට නොව එය ජාතික වගකීමක් සහ යුතුකමක් බව මැනවින් අවබෝධ කර ගනිමිනි.

 

Comments