මම මුලින්ම බැට කෑවෙ ඉංග්‍රීසි බැරිකමෙන් -SLS Warehousing (Private) Limited අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී අසංක අමරකෝන් | Page 2 | සිළුමිණ

මම මුලින්ම බැට කෑවෙ ඉංග්‍රීසි බැරිකමෙන් -SLS Warehousing (Private) Limited අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී අසංක අමරකෝන්

මම ප්‍රසිද්ධ වෙලා හිටියෙ දඟ, අකීකරු කවුරුවත් කියන දෙයක් අහන්නෙ නැති, නාහෙට අහන්නැති ළමයෙක් විදියට. මම පොඩි කාලෙ හරි ප්‍රසිද්ධයි රණ්ඩුවලට

මම සැර බොස් කෙනෙක්. කියන්න තියෙන දේ මූණට කියන කෙනෙක්. හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. කිව්වට පස්සෙ මම ඒක අමතක කරනවා

අපි ගම්වල ඉඳන් ආව අය නිසා වෙන්න ඇති අපිට ඕන දෙයක් ඔරොත්තු දෙනවා

මම වාර විභාගෙට ගණන්වලට ලැබුණු ලකුණු 38 ප්‍රගති වාර්තාවේ 88 විදියට වෙනස් කළා. අපේ මාමට වැඩේ අහුවෙලා ගුටි කෑවා

අපි අපේ අරමුණට ඍජුව යන්න ඕන. කාගෙවත් කතා අහල නවතින්න හොඳ නෑ. ඒ වගේම කාටවත් අකුල් හෙළන්න හොඳ නෑ

 

ලිමඩ වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ කියන දේ නාහන, නිරතුරුව රණ්ඩුවලට ම ඇදෙන අකීකරුකමින් අන්තයටම ගිය පාසල් සිසුවකු විය. හේ විදුහල්පතිවරයකුගේ හා ගුරුවරියකගේ එකම පුතු වුවත් මේ නාහෙට නාහනකම්වලට එය බාධාවක් වූයේ නැත. සාමාන්‍ය පෙළ යන්තමින් ගොඩ දා ගන්නා ඔහු වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට එන්නේ උසස්පෙළ වාණිජ අංශයෙන් හැදෑරීමට ය. සියල්ල අංශක 180වකට ම හරවමින් හේ උසස්පෙළ සමත් වෙන්නේ පළමු වරම විශ්වවිද්‍යාල වරම් ලබා ගනිමිනි. ඉංග්‍රීසි විෂය එපා වී සිටි ඔහුට වරලත් ගණකාධිකාරී විභාගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබන්නට වන්නේ ඉංග්‍රීසියෙනි. කළ නොහැක්කක් නැත යන නිගමනයට ඒ වන විටත් පැමිණ සිටි හේ මාස තුනක් හතරක් ඇතුළත ඉංග්‍රීසි බාධකය ජය ගන්නේ ස්වෝත්සාහයෙනි. වත්මන වරලත් ගණකාධිකාරීවරයෙක් ලෙසත් SLS Warehousing (Private) Limited හි අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසත් කටයුතු කරන හේ නමින් අසංක අමරකෝන් ය. වැලිමඩ වංගිකුඹුර වැනි දුෂ්කර ගමක සිට ස්වකීය උත්සාහයෙන් ම පරිපාලකයකු ලෙස වෘත්තියමය ගමනේ ඉදිරියට ආ ඔහුගේ දිවිසැරියේ බිඳක් මේ ඔස්සේ අවධාරණය කෙරේ.

 

සම්පූර්ණ නම

නාත් අසංක අමරකෝන්

උපන්දිනය

1976 සැප්තැම්බර් 22 වැනිදා

ගම්පළාත එහෙම

වැලිමඩ වංගියකුඹුර

අම්මා තාත්තාගේ නම් සහ ඔවුන් කළ රැකියා

මගේ අප්පච්චිගෙ නම ගුණරත්න අමරකෝන්. ඔහු විදුහල්පතිවරයෙක්. මගේ අම්මාගේ නම සුමනා නවරත්න. අම්මා ගුරුවරියක්.

සහෝදර සහෝදරියන්

මට වැඩිමල් සහෝදරියන් තිදෙනෙක් ඉන්නෙ. මම තමයි බාලයා. මගේ අක්කලා තුන්දෙනාම ශිෂ්‍යත්වෙ පාස්. මම ශිෂ්‍යත්වෙ ෆේල්

මොකද්ද ඉගෙන ගත් පාසල

මම සාමාන්‍ය පෙළ දක්වා ගමේ ඉස්කෝලෙට ගියේ. වංගියකුඹුර මධ්‍ය මහා විද්‍යාලයට. උසස්පෙළ කරන්න මම වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. මාස තුනක් විතර බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයටත් මම ගියා. එතැනින් ඉවත් වෙලා තමයි වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙන්නෙ.

මොකද්ද ඒකට හේතුව

විශේෂ හේතුවක් නෑ ඇත්තටම. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ වාණිජ අංශය ඉතා හොඳට තිබුණා. මටත් වුවමනා වුණේ වාණිජ අංශයෙන් උසස්පෙළ කරන්න.

සාමාන්‍යපෙළ හොඳින් සමත් වුණාද?

හොඳින් ම නොවෙයි. සාමාන්‍ය විදියට පාස් වුණා. මම ගමේ ඉස්කෝලෙවත් කවදාවත් තුන්වැනියාගෙන් උඩට ආව කෙනෙක් නෙවෙයි. ඉංග්‍රීසි, විද්‍යාව කියන විෂයය දෙකට සාමාන්‍ය සාමාර්ථය තිබුණෙ. චිත්‍ර විෂයය මම ෆේල්. වාණිජවලට නම් විශිෂ්ට සාමාර්ථයක් තිබුණා. අනිත් විෂයයන් පාස්. ඇත්තටම මට විද්‍යා විෂයයන්වත්, ගණිත විෂයයන්වත් උසස්පෙළට කරන්න බෑ, මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හොඳ නැති නිසා. මම වාණිජ විෂයයන් හදාරන්නෙ ඒ නිසා.

මොකද ඉගෙන ගන්න පසුබෑමක් ඇතිවෙලා තිබුණෙ. බාහිර වැඩ කළාද පාසලේ

ඇත්තම කියනවා නම් සාමාන්‍ය පෙළ ඉවර වෙන කාලෙ වගේ වෙනකම් මම පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් නෙවෙයි. මම ප්‍රසිද්ධ වෙලා හිටියෙ දඟ, අකීකරු කවුරුවත් කියන දෙයක් අහන්නෙ නැති නාහෙට අහන්නැති ළමයෙක් විදියට. මම පොඩි කාලෙ හරි ප්‍රසිද්ධයි රණ්ඩුවලට.

ගෙදර පසුබිමත් එක්ක ප්‍රශ්න ආවෙ නැද්ද එහෙම හැසිරෙද්දි?

අපෝ හොඳටම ආවා. මම සෑහෙන දඬුවම් විඳි කෙනෙක්. අම්මා විශේෂයෙන් මාව හදා ගන්න ගොඩක් උත්සාහ කළා. එක සැරයක් මට ගණන්වලට ලකුණු 38යි තිබුණෙ. මම ප්‍රගති වාර්තාවේ ඒක 88 කළා. මුළු එකතුව බලද්දි අපේ මාමට වැඩේ අහු වෙලා ගුටිත් කෑවා.

අක්කලා තුන්දෙනෙක් ම නිසා ඒ අයත් හුරතල් කරන්න ඇති?

ඔව්. අක්කලාගෙ හුරතලා මම. අනික මම එයාලට වඩා ටිකක් පරතරයක් තියලා බාලයි.

උසස්පෙළ කාලෙ කොහොමද?

වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඒ අවුරුද්දෙ තමයි ආසන්න වශයෙන් 200ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උසස්පෙළ වාණිජ අංශයෙන් හදාරන්න හිටියෙ. අපිට දවල් වරුවෙ පන්ති තිබුණෙ. අර ළමයි 200ම ප්‍රධාන ශාලාවට තමයි දාන්නෙ. මම එතැනදි ඉඳ ගත්තෙත් අන්තිම පේළියෙ. මම එතැන ඉද්දි සර් කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැරිව ගියා. මොකද මම පාඩම ගැන අවධානයෙන් නොවෙයි හිටියෙ. එදා තමයි මම හිතුවෙ සාමාන්‍යපෙළ සමත් අය මෙතනම 200ක් ඉන්නවා. ඒ කාලෙ මුළු බදුල්ලෙන්ම විශ්වවිද්‍යාලයට තේරුණේ 60ක් විතර. මම හිතුවා කොහොම හරි මම මේ හැටට ඇතුළත් වෙන්න ඕන කියලා.

ඉගෙන ගන්න එච්චර පෙලඹවීමක් නැතිව හිටිය කෙනෙක් කොහොමද එකපාර එච්චර හිත වෙනස් කරගන්නෙ?

අපි හුඟක් වෙලාවට අනාගතය ගැන හිතන්නෙ නෑ. හැබැයි අපේ අප්පච්චි මගෙන් නිතර අහන්න පුරුදු වෙලා හිටියා අපි නැති දවසක ඔයා මොකද කරන්නෙ කියලා. මට ඒ ප්‍රශ්නෙ දැනුණා. මට අනාගතේ ගැන බයක් ඇති වුණා. හැබැයි මට ඕන වැඩක් හුරුයි. අපේ අප්පච්චිලා එළවළු වවනවා, අල හදනවා. ඉතින් මටත් දෑතේ වැඩ හුරුයි. ඒකාලෙ අපිත් උදැල්ල අරන් ඒවට උදව්වට යනවා. උසස්පෙළ ඉවර වෙනකම්ම වගේ මම ඒවත් කළා. මගේ හැරවුම් ලක්ෂ්‍යය ඒක.

වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ආවම පරණ දඟ වැඩ කළේ නෑ?

අලුත් ඉස්කෝලයක්. පරිසරය වෙනස්. අර තරම් අවකාශයක් ලැබුණෙ නෑ දඟ වැඩවලට.

විශ්වවිද්‍යාලෙට යන එක ඔබේ අරමුණ වුණා?

ඔව්, මම හිතුවා මම කොහොම හරි කැම්පස් යනවා කියලා. මම පාඩම් කළා, මහන්සි වුණා. ඒ වගේම සාමාන්‍යපෙළ යන්තන් සමත් වෙලා උසස්පෙළ කරන්න එන සියයට අසූවකට වඩා පිරිස හිතන්නෙ අපිට විශ්වවිද්‍යාලෙට ඇතුළත් වෙන්න බෑ කියලා. එතකොට තරගය තියෙන්නෙ ඉතිරි සියයට විස්ස අතරෙ. අපිට හොඳ ගුරුවරු පිරිසක් හිටියා. ඒ ගුරුවරු කියපු දෙයක් තමයි තමන්ගෙ හොඳ ම යාළුවා තමන්ට වඩා දක්ෂ කෙනෙක් කරගන්න කියන එක. එයාට ඉරිසියා නොකර එයා එක්ක තරගයක් තියා ගන්න කියලත් කිව්වා. හොඳ යාළුවො ටිකක් මට හිටියා. අපි එකිනෙකාට ඉරිසියා කළේ නෑ. නමුත් අපි අතර හොඳ තරගයක් තිබුණා. මේ සියලු දේවල් නිසා මම පළවැනි පාරම විශ්වවිද්‍යාලෙ යන මට්ටමට විභාගෙ පාස් වුණා

ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. කුමක්ද අධ්‍යයන අංශය?

මානව සම්පත් කළමනාකරණ පීඨයට තමයි මම ඇතුළත් වෙන්නෙ. අපේ ගමේ අයියා කෙනෙක් හිටියා කපිල කියලා. එයා ඒ කාලෙ වරලත් ගණකාධිකරණ විභාග කරනවා. මමත් හිතුවා කරන්න ඕන කියලා. කැම්පස් යන්න කලින් මම වරලත් ගණකාධිකරණය කරන්න පටන් ගත්තා.

ඉංග්‍රීසි විෂයයට සාමාන්‍ය පෙළ විභාගයේ එස් එකක් තියාගෙන අසීරු වුණේ නැද්ද වරලත් ගණකාධිකරණ විභාග කරන්න?

ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගත්ත නැති එකේ අඩුව තේරුණේ එතැනදි. මට හරිම අසීරු වුණා. හැබැයි මම පන්ති කට් කරන්නෙ නැතිව දිගටම මේක අල්ලගෙන හිටියා. හොඳ යාළුවො කිහිපදෙනකුත් මට හම්බු වුණා. ඉංග්‍රීසි පන්තියකටත් ගියා.මාස තුනක් හතරක් යද්දි මම කොහොම හරි හදා ගත්තා. ඊට පස්සෙ මම පළවැනි පාරම හැම විභාගයක් ම කරගත්තා. මම සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සෙ හදා ගත්ත දෙයක් තිබුණා. ඒතමයි එක විභාගයක්වත් දෙපාරක් කරන්නෙ නෑ කියන එක.

විශ්වවිද්‍යාල කාලයේ නැවතිලා හිටියෙ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ද?

නැහැ. මම මගේ යාළුවො එක්ක ගෙයක් අරන් උයාගෙන කාලා හිටියෙ. චමරියෙ ඉඳිද්දි එක්ක ඉද්දි එකට උයන් කාලා, එකට පාඩම් කරලා හිටපු ඒ කාලේ හරිම සුහදයි. ඒවගේම ජීවිතේට ගොඩක් පාඩම් ඉගෙන ගන්න ලැබුණු කාලයක්. අක්කා හිටියෙ නාරාහේන්පිට. එහෙත් ඉන්නවා. වැඩිහරියක් හිටියෙ චමරියෙ. ගොඩක් වෙලාවට අපි කැම්පස් යන්නෙ බයිසිකල් එකේ.

වරලත් ගණකාධිකරණ විභාගයි විශ්වවිද්‍යාල දේශනයි මේ ඔක්කොම එකට කරගන්න අපහසු වුණේ නැද්ද?

මම විශ්වවිද්‍යාලෙට යද්දි වරලත් ගණකාධිකරණ විභාග දෙකක් ඉවර කරලා තිබුණෙ. ගැටලුවක් වුණේ නෑ ඒ දෙක එකට කරගන්න. මට ලොකුම අභියෝගය තිබුණෙ ඉංග්‍රීසි හදා ගන්න එක. දැන් වුණත් ගමේ පාසල්වල ඉංග්‍රීසි විෂයයට ප්‍රමුඛත්වයක් දෙන්නෙ නෑ. හැබැයි අවශ්‍ය ම දේ ඒක.

පුහුණුව සඳහා ආයතනයකට යොමු වුණාද?

මම පුහුණුව සඳහා ගියේ Jafferjee brothers as Human Resources ආයතනයට. මාස 9ක් විතර මම එතැන පුහුණුවක් ලැබුණා. එතැනදි අපට හොඳ පුහුණුවීමක් ලැබුණා. ක්ෂේත්‍රයට අදාළ මූලිකම දැනුම හා පුහුණුව ලැබුණෙ එතැනින්. මාස නවයකට පස්සෙ මම එතැනින් අයින් වෙලා VS & Associates ආයතනයට විගණන පුහුණුව සඳහා යොමු වුණා. මගේ ගමේ අයියා කෙනෙක් හිටියා කපිිල කියලා, ඔහුත් වරලත් ගණකාධිකරණය හදාරපු කෙනෙක්. ඔහු මට කිව්වා එතැනට එන්න කියලා. මම මුලින්ම විගණනයට ගිය ආයතනය වුණේ Sri Lanka Shipping Company Limited එක. VS & Associates එකේ අවුරුදු එකහමාරක් විතර විගණනය කළාට පස්සෙ මට බදු කළමනාකරුවෙක් විදියට පත්වීමක් ලැබුණා. ඊට පස්සෙ මම ආයතන කිහිපයක වැඩ කරනවා. 2004 දි මම ගණකාධිකාරිවරයෙක් ලෙස ජිනසේන ලිමිටඩ් ආයතනයට සම්බන්ධ වෙනවා. එතැනින් 2005 දි ඉවත් වෙලා Ceylinco Stock Brokers Limited ආයතනයට සම්බන්ධ වෙනවා. ඊට පස්සෙ මට අවස්ථාව ලැබුණා මම මුලින්ම විගණන කටයුතුවලට ගිය Sri Lanka Shipping Company Limited ආයතනයේ මූල්‍ය කළමනාකරු විදියට සම්බන්ධ වෙන්න. ටික කාලයකින් මට උසස්වීමක් ලැබුණා සාමාන්‍යාධිකාරී මූල්‍ය හා පරිපාලන වශයෙන්.

ඒ ආයතනයේ කොච්චර කල් ඉන්නවද?

අපි ගම්වල ඉඳන් ආව අය නිසා වෙන්න ඇති අපිට ඕන දෙයක් ඔරොත්තු දෙනවා. ඇත්තටම ඒක ලංකාවේ විශිෂ්ටතම ආයතනයක්. මම ඒකෙ 2018 වෙනකම් වැඩ කළා. මම හුඟක් වෙලාවට සම්බන්ධ වුණේ නැව් මිලදී ගැනීම් සම්බන්ධ මූල්‍ය කටයුතුවලට. 2017 දි මේ ආයතනයේ අයිතිකරුවන්ගේ යම්කිසි වෙනසක් සිදු වෙනවා. ඊට පස්සෙත් අවුරුද්දක් විතර මම එතැන හිටියා. ඒ ආයතනයේ පළමු හිමිකරුවන්ගේ තවත් ආයතනයක් වුණු කැලණියෙ පිහිටි SLS Warehousing (Private) Limited කියන ආයතනයෙන් මට ආරාධනයක් ලැබුණා. එතැනට මම සම්බන්ධ වුණේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා විදියට.

SLS Warehousing (Private) Limited හි ඔබේ වගකීම කුමක් වෙනුවෙන්ද?

මේ ආයතනය ලංකාවේ තේ කර්මාන්තයට ප්‍රමුඛතම හා විශාලතම සේවාවක් සපයන ආයතනයක්. අපි තේ කර්මාන්තයට පහසුකම් සපයන ආයතනයක්. අපිට අතිවිශාල තේ ගබඩා සංකීර්ණයක් තියෙනවා. ඒවගේම යාන්ත්‍රිකව තේ මිශ්‍ර කිරීමේ කටයුතු ( Tea Blending) කරන්නෙත් අපි.

ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්න ක්ෂේත්‍රය වෙනස් ම එකක්

ඇත්ත, මම මේ ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියෙ නෑ. මම ආයතනයට සම්බන්ධ වෙන්නෙ පරිපාලකයෙක් විදියට. ගණකාධිකාරී දැනුම වගේම මානව සම්පත් දැනුම මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේ ක්ෂේත්‍රයට. මම පරිපාලකයෙක් විදියට ආයතනයේ වෙන හැම නිෂ්පාදන කටයුත්තකටම අදාළ දේ මුල ඉඳන් අගට දැන ගන්න ඕන නෑ. අපේ ආයතනයේ ඉන්නවා ඒ සම්බන්ධයෙන් හොඳටම දන්න නිලධාරීන්. ඒ නිලධාරීන් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරද්දි ඒ වගේ ගැටලු එන්නෙ නෑ

ඔබේ සේවකයන් එක්ක වැඩ කරන විලාසය කොයි ආකාර ද?

මම කැමැති කණ්ඩායමක් විදියට වැඩ කරන්න. මම මගේ කණ්ඩායමට නිතරම මතක් කරන්නෙ වටු කුරුලු නිදර්ශනය. කුරුල්ලො ඔක්කොම එකතු වෙලා දැල ඔසවා ගෙන ගිහින් පණ රැක ගත්තා වගේ හැමෝම එකතු වුණොත් ගොඩක් වැඩ කරන්න පුළුවන්. තනි තනි ගමන් සාර්ථක නෑ. ආයතනයේ ඕනෑම සුළු සේවකයෙක් එක්ක වුණත් සහයෝගයෙන් කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් නෑ. හොඳම ගතිගුණය තමයි ඇහුම්කන් දීම

සේවකයන්ට ඔබ මොනවිදියේ නායකයෙක් ද?

මම සැර බොස් කෙනෙක්. කියන්න තියෙන දේ මූණට කියන කෙනෙක්. හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. කිව්වට පස්සෙ මම ඒක අමතක කරනවා. දඬුවමක් දෙන්න ඕන නම් මම දඬුවම දෙනවා. දඬුවම දුන්නට පස්සෙ මම ඒක අමතක කරනවා. නිවැරදි කිරීමක් කරන්න ඕන නම් ඒක කරන්න ඕන; හැබැයි ඒක ඔළුවෙ තියාගෙන පස්සෙන් පන්න පන්න ගහන එක කරන්න හොඳ නෑ. එකම වැරැද්ද දිගින් දිගට ම කෙරෙනවා නම් ඒ ගැන පිළියමක් ගන්න ඕන.

මොකද්ද ඔබේ සාර්ථකත්වයට හේතු?

අපි අපේ අරමුණට ඍජුව යන්න ඕන. කාගෙවත් කතා අහල නවතින්න හොඳ නෑ. ඒවගේම කාටවත් අකුල් හෙළන්න හොඳ නෑ. තරගකාරයන් අපේ ජීවිතයට අවශ්‍යයයි. තරගයක් නැත්නම් අපේ දියුණුවකුත් නෑ. මම කොළඹ ඉඳන් කිලෝමීටර් 200කටත් එහා පිටිසර ගමක ඉපදුණු, ඉගෙන ගත්ත කෙනෙක්. අපි වගේ අයත් මේ තත්ත්වයට ආවා නම් අනෙක් අයට බැරි නෑ. තමන්ගෙ අරමුණ කවදාවත් අමතක කරන්න හොඳ නෑ.

කවුද ඔබේ ජීවිතය බෙදා හදා ගන්න ජීවන සහකාරිය

ඇය නිලූෂි දිසානායක. අපි විවාහ වෙන්නෙ 2005 දී. ඇයත් වරලත් ගණකාධිකාරීවරියක්.

දරුවන්

අපට ඉන්නේ දුවයි පුතයි. දුව අමල්නා, පුතා සවිරු. දෙදෙනාම තවම ඉගෙනුම ලබනවා.

පොත් කියවන්න කැමැතිද?

දුරකතනයට ඇබ්බැහි වීමෙන් මිදෙන්න මම කරන්නෙ පොත් කියවන එක. නවකතා නම් මම කියවන්නෙ නෑ. මේ දවස්වල නම් කියවමින් ඉන්නෙ සේපියන්ස් කියන පොත

චිත්‍රපට බලන්න කැමැතිද?

මම ගොඩක් පවුලත් එක්ක එකතු කෙනෙක්. අපි දරුවන් එක්ක බලන්න පුළුවන් චිත්‍රපට තමයි බලන්න යන්නෙ

සාමාන්‍යයෙන් විවේක වෙලාවට මොකද කරන්නෙ?

මට තියෙනවා පොඩි ඉඩමක් ගේ ළඟම. මම ඒකෙ එළවළු, පලතුරු වගා කරනවා. ඒක මම ආසාවෙන් කරන දෙයක්.

සංචාරය කරන්න කැමැති කොහේද?

මම ගොඩක් කැමැති මගේ ගමට වැලිමඩ යන්න. ඊට පස්සෙ අනුරාධපුර, පොලොන්නරුව වගේ පැතිවල ඇවිදින්න යන්න කැමැතියි.

ගමේ ගෙදර තවම අම්මා තාත්තා ඉන්නවද?

ඔව්, අම්මා අප්පච්චි ඉන්නෙ ගමේ. මම එහෙට ටිකක් සීතල වැඩි කාලෙට ඒ දෙන්නව මගේ ගෙදර එක්කගෙන එනවා.

බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ?

මගේ ජීවිතේ ඇතුළෙ බ්‍රෑන්ඩඩ්වලට කිසි වටිනාකමක් නෑ.

ජීවිතේ වටිනාකම් කියලා විශ්වාස කරන්නෙ මොනවද?

අවංක වීම. හරි තීරණය අවංක ව හරියට ගන්නවා නම් ඒක තමයි වටිනම දේ.

සුමුදු චතුරාණී ජයවර්ධන

Comments