
දේශපාලනඥයන්ට ගැතිකම් කරමින් සිය තනතුරු රැකගෙන නීතිය අවභාවිත කරමින් පාතාල අපරාධකරුවන්ව සහ මත්කුඩු ජාවාරම්කරුවන්ව සුරතලුන් බවට පත් කරගෙන කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්ව සිටින පොලිස් කාරයෝ අපේ රටේ නැත්තේම නැත. දේශපාලඥයන්ගේ වත්කම් සොයන්නට යැයි කෑ මොර දෙන කිසිවකුත් මේ අය ගැන සොයන්නට යැයි කියා කටක් අරින්නේ නැති තරම්ය. දේශපාලඥයන්ට වඩා වස්තුව කඳු ගසා ගෙන සිටින්නේ මේ අය බව විධිමත් විමර්ශනයක් සිදු කළහොත් එළියට ඒම කිසිවකුටත් වැළැක්විය නොහැකිය. ඇතැම් පොලිස් ලොක්කන්ගේ බැංකු ගිණුම් පවා ඇත්තේ පිටරටවලය. පොලිසියට බැඳෙන විට අතේ පිච්චියක් නොමැතිව ආ ඔවුන් අද වන විට මාළිගා බඳු ගෙවල් දොරවල් දෙක තුන ඉදිකරමින් විඳින සැප දුටු විට එවැනි සැප ඒ අයට ලැබෙන්නේ රාජ්‍ය සේවකයෙක් ලෙස ලැබෙන සොච්චම් වැටුපෙන් යැයි කියන්නට බැරිය. ඇතැම් පොලිස් ලොක්කෝ පරිහරණය කරන්නේ ලෝකයේ මිල අධිකම වාහනය. එම වාහන වගේම දේපළ ගැනත් සොයා බැලුවොත් දූෂිත වී ඇත්තේ දේශපාලඥයා පමණක්දැයි පැහැදිලිවම දැන ගැනීමට හැකිවනු ඇත.
පාපැදියෙන් පාර්ලිමේන්තුවට ආ දේශපාලනඥයා කෝටි ප්‍රකෝටිපතියෙක් බවට පත්වූ හැටි කතා කරන කිසිවකුත් පාගමනින් පොලිසියට පැමිණ හිටි හැටියේම ධනවතුන් වූ පොලිස් කාරයන් ගැන කතා කරන්නේ නැත. අද පොලිසිය දූෂිත ආයතනයක් බවට පත්ව ඇත්තේ මේ අය නිසාය.
පාතාල අපරාධකරුවන්ගේ සහ කුඩු කාරයන්ගේ සුරතලුන් බවට පත්වෙමින් ඒ අයගේ මොනර කොළවලට නැටවෙන එවැනි පොලිස් ලොක්කෝ ගැන පොලිස් දෙපාර්තමේන්තුවේ අඩුවක් නැතිව අද පොලිස් පොඩ්ඩෝ කතා කරති. හැම ජාවාරම්කරුවකුටම ඒ හැම ජරා වැඩක්ම පොලිසියේ රැකවරණය මතම කරගෙන යෑමට අද අවස්ථාව ලැබී ඇත්තේ එබැවිනි.
මේ දේවල් රටේ එක තැනක නොව, බොහෝ තැන්වල සිදුවෙයි. කුඩු කාරයන්ගෙන් පමණක් නොව, ගණිකා මඩමෙන් පවා මාසෙට පොලිසිවල ලොක්කන්ට ගාණක් ඇදී එයි. සමහර පොලිස් ලොක්කන්ට ගෙවන ගණන් මිනුම් ඇති පොත්පත් ද ඒ තැන්වලින් හමු වූ අවස්ථා නැතුවාම නොවේ. ගණිකා නිවාස ස්පා ආදී තැන් නිතරම වැටලෙන්නේ ජරාව නොකන පොලිස් ලොක්කන් ඉන්නා ප්‍රදේශවලය. ගණිකා නිවාසෙන් පවා ගාණ කඩන පොලිස් ලොක්කන් ඉන්නේ කොහේදැයි රටටම දැන් ඒ අනුව දැන ගන්නට හැකිය.
මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා වැනි රටේ කුප්‍රකට පාතාල අපරාධකරුවන් මරුමුවට පත්වීමෙන් පසු ඒ අයගේ කෝටි ප්‍රකෝටි දේපොළවලට වූ දේ ගැන අදටත් කිසිවකුත් ප්‍රසිද්ධියේ කතා කරන්නට යන්නේ නැත. පොලිසිය ඇතුළෙන් ඇහෙන කතාවලට අනුව නම් මේ දේපොළ වලින් වැඩි කොටසක් දැන් ඇත්තේ පොලිසියේම ලොක්කන්ගේ පාලනය යටතේය. ඒ ලයිසන් චණ්ඩි කමෙනි.
ඈත දුෂ්කර ගමක සිටින කරනැවෑමියාගේ පුතා පොලිසියට පැමිණ බලා සිටියදී කෝටිපතියෙක් වී අක්කර පනහක හැටක ඉඩම් හිමි වැවිලිකරුවෙක් මෙන්ම සංචාරක හෝටල් හිමිකරුවෙක් වන්නේ නම් ඒ ගැන වෙනම සොයා බැලිය යුතුය. අද එවැනි නිලධාරීහු ද පොලිස් සේවයේ රැඳී සිටිති. එපමණක් නොව, පිච්චිය අතේ නොමැතිව පොලිසියට පැමිණ අද ලොකු තනතුරක සිටින පොලිස් ලොක්කකුට ඇතැයි කියනු ලබන වැලි සහ පස් ප්‍රවාහනය කරන ලොරි ගණන 50කට වැඩිය. හැබැයි ඒ දේවල් ඇත්තේ ඔහුගේ නමින් නොව වෙන අයගේ නම් වලිනි. මේ කියන නිලධාරියාගේ වැසිකිළියත් ඇත්තේ වායු සමීකරණය කරය.
අද පොලිසිය දූෂිත ආයතනයක් බවට පත්ව ඇත්තේ මෙවැනි දූෂිත නිලධාරින් ගහන ගේම් නිසාය. මේ අය නිසා අද අවංකව රාජකාරි කරන පොලිස් නිලධාරියකුට පොලිසියේ තැනක් නැති ගාණය. මුදල් බලයෙන් අද ඒ නිලධාරීන් සිටින්නේ ඉහළම අතු අල්ලාගෙනය. දේශපාලඥයන් ඉදිරියේ දෙකට නැවී තරු පටි රැකගෙන කරන්න තිබෙන හැම දහදුරා වැඩක්ම කරමින් වැඡඹෙන මෙවන් අන්ත දූෂිත පොලිස් නිලධාරීන් නම් කොතරම් හම්බු කළත් සෑහීමට පත්වන ජාතියක් නම් නොවේ. පොලිසියේ පොඩි එකාගේ සාක්කුවටත් විදින්නේ එබැවිනි.
මෙසේ පොලිසියේ පොඩි එකාගේ සාක්කුවට පොලිස් ලොක්කන් විඳින්නේ ප්‍රධාන වශයෙන් තුටුපඬුරු ගන්නටය. පොලිස් ලොක්කෝ වැඩි දෙනෙක් පොඩ්ඩන්ගේ සාක්කුවට බසින්නේ සැම අවුරුද්දේම ජනවාර් 01 වෙනිදාටය. ඒ හැරුණු කොට සිංහල, දෙමළ අලුත් අවුරුදු කාලයට වැඩේ ජයටම යන්නේ ලොක්කෝ තුටුපඬුරු බලාගෙනම ඉන්නා නිසාය. නත්තලටත් මේ දේවල් සිදු වන්නේ එසේමය. ඒ ජනවාරි 01 වෙනිදාත් එක්කම අල්ලා ගෙනය.
මේ හැරුණු කොට පොලිස් ලොක්කන් සතුටු කිරීමට පොඩ්ඩන්ට තමන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් කොටසක් පූජා කිරීමට සිදුවන අවස්ථාවක් වන්නේ ලොක්කන් ස්ථාන මාරුවීම් ලබන විටදීය. එසේත් නැතිනම් විශ්‍රාම යන විටදීය. දහසින් බැඳි පියලි පමණක් නොව, රනින් නිමවූ භාණ්ඩ වගේම මෝටර් රථ පවා සම්මාදම් මුදල් වලින් රැස් කර ලොක්කන්ගේ මන දොළ පිනවීමට ලබාදී ඇති අවස්ථා බොහෝය. පොලිස් පොඩ්ඩන්ගේ වැටුපෙන් කපාගෙන කරන මේ දේවල් නිසා පොඩ්ඩෝ මේ අයට ඉල්ලන්නේ වැහි නැති හෙණය.
වසර තිහ හතළිහක් පොලිස් සේවාවේ නිරතව සිට සේවයෙන් විශ්‍රාම යන නිලධාරියකු වෙනුවෙන් සුබ පැතීමේ උත්සවයක් සංවිධානය කිරීමට ආයතන සංග්‍රහයෙන්ම ඉඩක් ලැබී ඇතත් එය සිදු කළ යුතුව ඇත්තේ ආණ්ඩුවෙන් කලින් අවසරයක් ලබා ගැනීමෙන් අනතුරුවය. එය සිදු කළ යුත්තේ ද යම් සීමාවන්ට යටත්වය. එසේ නොමැතිව පොඩි එකාගේ පොකැට්ටුවට විඳිමින් නොවේ. එහෙත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූවකි. පොලිස් පොඩ්ඩන්ව හූරගෙනම කන තැනකට පොලිසිය පත්ව ඇති බව පොලිස් පොඩ්ඩෝම කියති.
විශ්‍රාම ගන්නා නිලධාරියකු වෙනුවෙන් හැරුණු කොට වෙන කිසිදු අවස්ථාවක පොලිසිය තුළ ඉහළ නිලධාරීන්ට තෑගි දෙන්නට මුදල් එකතු කිරීම තහනම්ය. එහෙත් පොලිස් ලොක්කෙක් ස්ථාන මාරු ලබන විට ඒ අයට තෑගි දෙන්නට ඇත්තේ ලොකු පොරයකි. ඒ පොරය වැඩි වශයෙන් ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරු අතරය. ඒ ඉහළ නිලධාරියාගේ සිත දිනා ගැනීමටය. කුඩු කාරයන්ගෙන් කසිප්පු කාරයන්ගෙන් ගණිකා මඩම් පවත්වා ගෙන යන්නන්ගෙන් පමණක් නොව, තමා යටතේ සිටින පොලිසියේ පොඩි නිලධාරීන්ගෙන්ද සම්මාදම් රැස් කරන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන් අතර ලොකුම තෑග්ග දෙන්නට ඇති තරගය නිසාය. බම්බලපිටිය පැත්තේ රාත්‍රී සමාජ ශාලාවකදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ සමාජ ශාලාවේ ආරක්ෂකයන් අතර පසුගිය දිනක ලොකු ගැටුමක් පවා හට ගත්තේ උසස් වීම් ලැබූ ඉහළ පොලිස් නිලධාරියකුට හිත සතුටු වන සාදයක් දෙන්නට ගොසිනි. පොලිස් පොතේ පවා ලියැවුණු එම ගැටුම ගොඩින් විසඳා ගන්නට පොලිසිය උත්සාහ ගත්ත ද අද ඒ ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාගේ නියෝගයකිනි.
මේ පොලිස් ලොක්කන්ට සලකන්නට ගොස් පිස්සු කෙළින ලද එක් අවස්ථාවක් පමණි. ඕනෑ තරම් මෙවැනි දේවල්වලට උදාහරණ පොලිස් දෙපාර්තමේන්තුව තුළම ඇත්තේය. එසේම තෑගි බෝගවලට කෑදර නිලධාරීන් මෙන්ම තෑගි බෝග ප්‍රතික්ෂේප කරන පොලිස් ලොක්කෝ ද පොලිසිය තුළ නැත්තේම නැත. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර ඒ අතර සිටින්නෙකි. බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු සේවය කරමින් සිටියදී පොලිස් ස්ථානාධිපතිවරු ඔහුව හමුවන්නට අලුත් අවුරුද්දේ ආවේ තෑගි බෝග උස්සාගෙනය. ඒ පොඩි නිලධාරීන්ගෙන් එකතු කරගත් මුදල්වලින් ලබාගත් දෑ වලට අමතරව සුපිරි වෙළෙඳසැල්වලින් ලැබුණු වවුචර් ද ගොන්නක් රැගෙනය. එදා ඔහුව හමුවන්නට තෑගි බෝග කඳ බැඳගෙන ආ හැම ස්ථානාධිපතිවරයකුම පන්නා ගත්තේ මින් මතු තමාව මුණ ගැසීමට එසේ ආවොත් අල්ලා හිරේ දමන බව කියමිනි. රත්නපුර නියෝජ්‍ය පොලිස්පති ලෙස මේ දිනවල සේවය කරන ප්‍රියන්ත ලියනගේ යාපනයේ සේවයේ නිරතව සිටියදී ඔහු සිය පළමු ස්ථානාධිපතිවරුන්ගේ හමුවේදී කියන්නේ තෑගි බෝග රැගෙන ඒම පමණක් නොව, ඒ සඳහා මුදල් එකතු කිරීම පවා තහනම් බවය. කිසිදු නිලධාරියකුට තෑගි බෝග රැගෙන යෑමද ඒ අනුව තහනමක් බවට ඔහු පත් කළේය. එය යාපනයට සීමා වුවත් සෙසු ප්‍රදේශවල එය එසේ නොවීය. යාපනයේ පොලිසිවල ස්ථානාධිපතිරුන්ට මුදල් එකතු කිරීමට හැකියාවක් නොවූ බැවින් ඊට සහකාර පොලිස් අධිකාරීවරුන්ව පොලිස් අධිකාරීවරුන්ව කොට්ඨාස භාර පොලිස් ප්‍රධානීන්ව මෙන්ම ඊට ඉහළ ලොක්කන්ව විවිධ උත්සව කාලවලදී තෑගි බෝග රැගෙන බලන්නට යන්නට විදිහක් නොවීය. “ අපිව බලන්න එන්නේ නැද්ද?“ මේ නිසා ඇතැම් පොලිස් ලොක්කෝ යාපනයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට ඇමතුම් දෙමින් කියා තිබුණේ මොනව හරි දෙයක් අරගෙන වරෙන් යැයි කියන්නාක් මෙනි.
අලුත් අවුරුද්දට, නත්තලට නැතිනම් වෙනස් උත්සව දිනකදී තෑගි පාර්සල් නොලැබුණොත් කිපෙන පොලිස් ලොක්කෝ ද නැතුවාම නොවේ. ඒ අය තමා යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් පළි ගන්නේ නැති ලෙඩ දමාය. පොලිස් ස්ථානාධිපතිරුන් ද කරන්නේ එහි අනිත් පැත්තය. ඒ පොඩි එවුන්ගෙන් මුදල් රැස්කරන විට මුදල් නොදෙන පොඩි එකාට වධ දෙන්නේ පොලිසිය දමා ගෙදර යන තැනට පත්කරමිනි.
මේ ගැන හොඳ අවබෝධයකින් සිටින නිලධාරියෙක් වන්නේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ ය. මෙම නිලධාරියා ද පහළ නිලධාරීන්ගෙන් තෑගි බෝග ගන්නට නොයන අයෙකි. කන්තලේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියදී ඔහු ලොක්කන්ට තෑගි දීමට මුදල් රැස් කිරීම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතවම තහනම් කර තිබුණේය. ඒ ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් හැරහුම්වලට පවා ඔහු ලක්වෙමිනි. 2020 වසරේ පෙබරවාරි 25 වෙනිදා ඔහු තමා යටතේ එවකට පැවති සේරුනුවර, අග්බෝපුර සහ සූරියපුර පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන්නේ උසස් නිලධාරීන්ට තුටු පඬුරු ලබා දීම ගැන අප්‍රසාදය පළ කරමින් එවැනි දේවල් සඳහා මුදල් රැස් කිරීම තහනම් බවය. ඉහළ නිලධාරීන්ට ඒ වන විට තුටුපඬුරු වශයෙන් ලබා දුන් මුදල් සම්බන්ධ ලැයිස්තුවක්ද ඒ සමඟ ඉදිරිපත් කරමින් ඔහු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන්නේ පහළ නිලධාරීන් මෙවැනි දේවල් නිසා සිටින්නේ අසතුටින් බවය. පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ මන දොළ සපුරන්නට පහළ නිලධාරීන්ගෙන් මුදල් රැස්කිරීම කනගාටුදායක තත්ත්වයක් බව මෙන්ම අතළොස්සක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සුඛ විහරණට හා ඔවුන් පිනවීමට මුදල් රැස් කිරීම සාදාචාරාත්මක නොවන බව ද ඔහු තමා සටතේ සිටි පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබුණේය.
ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන ලයනල් ගුණතිලක ද එවැනිම චරිතයකි. කලක් ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ලෙස ද සේවය කළේය. ලයනල් ගුණතිලක සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස සිටි වකවානුවේ සිටම පහළ නිලධාරීන්ගෙන් මුදල් එකතු කර ලබා දෙන කෑම වේල්වල පවා රස විඳින්නට ගියේ නැත. පොලිස් ස්ථානවල පැවැත්වෙන වාර්ෂික පරීක්ෂණ සඳහා පවා ඔහු ගියේ නිවෙසින් ඔතා දෙන බත් පැකට් එක සහ වතුර බෝතලය රැගෙනය.
පොලිස් ස්ථානවල වාර්ෂික, අර්ධ වාර්ෂික සහ මාසික පරීක්ෂණ පැවැත්වෙන විට එම පරීක්ෂණ සඳහා පොලිසියට පැමිණෙන ඇතැම් ඉහළ නිලධාරීන් සතුටු වන ලෙස පොත්පත් පමණක් නිවැරදිව තිබුණාට ප්‍රමාණවත් නැත. ඒ එන නිලධාරියාගේ රුචි අරුචිකම්වලට අනුව කන්න බොන්න පමණක් නොව, වෙනත් අවශ්‍යතා ද සපුරා දිය යුතුය. එම අවශ්‍යතා අතර ගැහැනුන්ද නැතුවාම නොවේ. ඇතැම් උසස් නිලධාරීන් පරීක්ෂණ අවසන්ව යන්නේ මෝටර් රථයේ ඩිකිය පිරෙන්නට බඩුමලු ද පුරවාගෙනය. මේ දේවල් නොමැති වුවහොත් සිදුවන්නේ නැති අඩුපාඩු පෙන්වමින් ඉහළ පොලිස් නිලධාරියාගේ ගැරහුම්වලට පොලිස් ස්ථානාධිපතිවරු පත්වීමය. මේ දේවල් හැම ඉහළ නිලධාරියකු අතින්ම සිදුවන දේවල් නොව ඊටම හැඩ ගැසුණු කොටසක් සිටිති. ඒ අයව පොලිසිය ඇතළේ පොඩි නිලධාරීන් හඳුන්වන්නේ ජරා පප්පෝ ලෙසිනි.
මේ තැනට පොලිසිය අද පත්වීමට පොලිස් ස්ථානාධිපතිවරුන් ද වගකිව යුතුය. ඉහළ නිලධාරීන්ට තෑගි බෝග දී ඒ අයව අල්ලසට පොලඹවා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන්ය. මෙම අන්ත දහජරා වැඩේ නතර කිරීමට නම් කළ යුතුව ඇත්තේ ඉහළ නිලධාරීන්ට තෑගි බෝග දීම සඳහා පහළ නිලධාරීන්ගෙන් මුදල් සම්මාදම් කිරීම පොලිස් ස්ථානාධිපතිවරුන්ට තහනම් කිරීමය. පොලිස් අධිකාරී ප්‍රදීප් වෙත්තසිංහ හුදෙකලා සටනක එදා පොලිස් ස්ථාන තුනකින් ආරම්භයක් තැබුවේ ඊටය.
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට පවා පසුගිය වසරේ ජූලි 27 වෙනිදා විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉහළ නිලධාරීන්ට තුටුපඬුරු දෙන්නට පහළ නිලධාරීන්ගෙන් මුදල් සම්මාදම් නොකරන ලෙසට ඉහළ සිට පහළට සිටින නිලධාරීන්ට දැනුම් දීමට පවා සිදුවන්නේ ද මුදල් එකතු කිරීම් පොලීසිය තුළ ඉහවහ ගොස් ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පවා පැමිණිලි රැසක් ලැබී තිබුණු පසුබිමකය.
පොලිස්පතිවරයා එම නියෝගයෙන් අවධාරණය කර ඇත්තේ “උසස් නිලධරයන්ට ස්තූති පත්‍ර ප්‍රදානය කිරීම හා තෑගි බෝග පිරිනැමීම පිණිස අවශ්‍ය වියදම් දැරීම සඳහා යටත් නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් “ බව ආයතන සංග්‍රහයේ දක්වා ඇති ජේදය ද නැවත ඉහළ නිලධාරීන්ගේ සිට පොලිස් ස්ථානාධිපති දක්වා වූ සෑම තරාතිරමක නිලධාරීට මතක් කරමිනි.
“ නිලධාරියකුට තෑගි බෝග ආදිය පිරිනැමීම සඳහා හෝ අලුත් අවුරුදු සමය, නත්තල් සමය හා වෙනත් එවැනි අවස්ථාවන් හී නිලධාරින්ට බෙදා දීම සඳහා මුදල් එකතු කිරීම ද ආධාර පත්‍ර සංසරණ කිරීමද තහනම්ය.“ යනුවෙන් ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන්ව ඇතත් ඒ සියල්ලම පසෙකලා පසුගිය නන්තල් සමයේදී පවා පොලිස් ස්ථානාධිපතිවරු ඉහළ පොලිස් නිලධාරීන් අතර තෑගි බෝග දීමට මුදල් රැස්කිරීමට තිබුණේ තරගයකි.
මෙවර ඇතැම් ඉහළ නිලධාරීන්ට පොලිස් ස්ථානාධිපතිවරු තෑගි බෝග වෙනුවට රැගෙන ගොස් පූජා කළේ කවරවල බහලූ මුදල් නෝට්ටු මිටි ගණන්ය. ඒ එම නිලධාරියා තෑගි බෝග එපා යැයි කල්තියාම පවසා තිබීම නිසාය. ඇතැම් පොලිස් ස්ථානවල ඒ සඳහා මුදල් රැස්කර තිබුණේ රුපියල් 3000 ගානේය. ඒ මුදල පහළ නිලධාරීන් ස්ථානාධිපතිවරයා අතට පත් කළේ හෙණ ඉල්ලමිනි. ඒ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පොලිසියේ පොඩි නිලධාරියාට ලැබෙන වැටුප පවා ජීවත් වෙන්නට ප්‍රමාණවත් නොවන විට මාසික වැටුපෙන් රුපියල් 3000ක මුදලක් තමන් ගන්නා වැටුප මෙන් දෙතුන් ගුණයක් ලබන ඉහළ නිලධාරීන් වෙනුවෙන් පූජා කිරීමට සිදු වූ බැවිනි.
මෙම මුදල් එකී ඉහළ නිලධාරියා ස්ථානාධිපතිවරුන්ගෙන් ලබාගත්තේ ද සිය කාර්යාල කාමරයේදී නොව, නිල නිවසේදීය. අලුත් අවුරුද්දෙ සුබ පතන්නට කතා කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එම ඉහළ නිලධාරියාව මුණ ගැසීමට ලැබෙන වේලාවේදී ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් පාද නමස්කාර කරමින් මුදල් නෝට්ටු මිටිය මේසය මත තබන්නේ බුලත් කොළ අතර තබාය. මේ පොලිසියට ආ අලුත්ම සම්ප්‍රදායකි.
පොලිස්පතිවරයා විසින් කරන්නට එපා යැයි කියා ආයතන සංග්‍රහයේ වගන්ති පවා නැවත මතක් කරමින් නියෝගයක් පවා නිකුත් කර තිබියදී ඒ දේවල් ගැන තුට්ටුවකට මායිම් නොකර පොලිසියේ ස්ථානාධිපතිවරු හැසිරෙන විට එවැනි ස්ථානාධිපතිවරු ගැන පොලිස් පොඩ්ඩන්ගෙන් පොලිස්පතිවරයාට නිර්නාමික පෙත්සම් ගලා එන්නට වූයේ ඒ අයගේ දුක කියමිනි. මේ නිසාම පොලිස්පතිවරයා විසින් ඒ ගැන සොයා බැලීමේ වගකීම පවරන්නේ ඔහු යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය නමින් හඳුන්වන බුද්ධි අංශයටය. පසුගිය සතිය වන විට පොලිස් ස්ථානාධිපතිවරු 94 දෙනකු සම්බන්ධයෙන් දීර්ඝ වාර්තා බුද්ධි අංශ මඟින් පොලිස්පතිවරයා අතට පත්ව තිබුණේය. මෙවැනි දේවල් ගැන මෙයට පෙර පොලිස්පතිවරු එතරම් තැකීමක් කර නොතිබුණත් මෙවර එසේ නොවීය. බුද්ධි අංශ මඟින් තමා අතට පත් වූ ඒ ඉහළ නිලධාරීන්ට තෑගි දෙන්නට අහිංසක පොඩි නිලධාරීන්ගෙන් මුදල් රැස් කළ පොලිස් ස්ථානාධිපතිවරු ගැන විමර්ශනයක් පැවැත්වීමේ වගකීම ඉතිහාසයේ පළමුවරට පවරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. ඒ පොලිස්පතිවරයා විසින් ඒ සම්බන්ධ පැමිණිලිකරු බවට පත්වෙමිනි. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න නම් පවසන්නේ අහිංසක රාලහාමිගේ තුට්ටු දෙකට විඳින මේ ජරා වැඩේ නතර කරන්නට කවුරුන් හෝ පළමු වෙඩි මුරය තැබිය යුතු බැවින් තමා ඒ දේ කළ බවය. තවදුරටත් මෙවැනි ස්ථානාධිපතිවරු සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඒ සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙක් සම්බන්ධයෙන්ම දැඩි පියවර ගන්නා බව ද පොලිස්පතිවරයා පවසන්නේ මේ ජරා වැඩේට දැන්වත් නැවතීමේ තිත තැබිය යුතු බව කියමිනි.