පැන්ෂන් දවසක්! | Page 2 | සිළුමිණ

පැන්ෂන් දවසක්!

පොලිස් ලොක්කා පුල පුලා බලා සිටියේ හැකි විගස රාජකාරි නිමවා ගෙදර යෑමටය. ඔහු ගෙදර අයට පොරොන්දුවක් දී තිබිණි. එනම්, රාත්‍රී කෑම සඳහා බුරියානි රැගෙන එන බවටය. එහෙත් වරින් වර ඊට බාධා එල්ල වෙයි. කරදරකාර පැමිණිලිකාරයෙක් මේ මොහොතේ ද වදෙන් පොරෙන් ඔහුගේ කාමරයට රිංගා ගත්තේය.

"අනේ ලොකු මහත්තයා, මයෙ කොන්දෙ ඇවිලිල්ලක්! මෙතනින් ඩිංගක් ඉඳගෙන කතාව කියාගෙන යන්ටද?"

"තමන් පොලිසියට ආවෙ සනීප ගන්ට ද? කියන මඟුලක් හිටගෙන කියනවා! අපට මෙතන වැඩ තියෙනවා!"

"එහෙම කියන්ට එපා මහත්තයා, මාත් රාජකාරි කරපු මිනිහෙක්. ඒ කාලෙ හරි ෂෝක් මහත්තයා

මිනිස්සු පෝලිමේ එනව මගෙ අස්සන ගන්ට.මරු! මරු!"

"තමන් හොඳටම බීල නේද?ගඳ එනව මෙහාට, රාජකාරියක් කරපු මිනිහෙක් ඔහොම හැසිරෙනවද ඕයි!?

තමුසෙට කිසිම සදාචාරයක් නෑ!"

"සදාචාරෙ කීවහමයි මතක් වුණේ, හෙමිං වේ එක තැනකදි කියනවා ඩ්‍රින්කින් ඉස් කල්චර් කියල.

එයාට අනුව වීදුරුව අල්ලන විදිහෙත් ආට් එකක් තියෙනවා!"

"කවුද ඕයි හෙමිං වේ කියන්නෙ? පරණ නඩුකාරයෙක් ද? සමහර නඩුකාරයො කසිප්පුකාරයන්ට අදිනවා! මං පොලිස්කාරයෙක් වුණත් ඒවට කැමැති නෑ!"

පැමිණිලිකාරයා සිනාසෙන්නට පටන් ගත්තේය. ඒ හිනාවෙහි කිසියම් උපහාසයක් ඇතැයි පොලිස් ලොක්කාට සිතිණි. ඔහු යම් අපහසුතාවකට පත් වූ බවක් දිස් විය. පොලිස් ලොක්කාට කේන්ති ගියේය. ඒ සමඟම පැමිණිලිකාරයා සමඟ පැවැති සංවාදයේ කිසියම් පරහක් ඇත්දෝ යි කුකුසක් ද ඔහු තුළ වැඩිණි.

"මොකද ඕයි හිනාවෙන්නෙ!? පොලිසිය විහිළුවකට ගත්තද?"

"තරහ වෙන්ට එපා මහත්තයා, මට ටැන්සානියාව මතක් වුණා. ඒ රටේ හිටිය ජුලියස් නියරේරේ කියල ජනාධිපති කෙනෙක්. එයා බලයට පත්වුණ ගමන් රෑ පන්ති දාල වැඩිහිටි අධ්‍යාපනය දියුණු කළා!"

පොලිස් ලොක්කාට හොඳටම කේන්ති ගියේය. ඔහු පුටුව පස්සට ඇද අඩි පොළොවෙහි ගසා පැමිණිලිකාරයා වෙතට පැන්නේය. පැමිණිලිකාරයාගේ බඩෙන් අල්ලා සෙලෙව්වේය. ඉනික්බිති සිය රවුම් විශාල දෑස් තවදුරටත් ලොකු කොට පැමිණිලිකාරයාගේ මුහුණට එබුණේය. පොලිස් ලොක්කාගේ කතාව තර්ජනාත්මකය.

"බොරු උගත්කම් පෙන්නලා නිකන් මැරෙන්ට එපා! කනට දෙකක් ගහල කූඩුවට දාන්ඩ කලින් ආපු කාරණේ කියපන් නාකියා!"

"මට හරි බයක් දැනෙනවා මහත්තයා! කුස්සිය කියන්නෙම හරිම භයානක තැනක්!"

"උඹ වටේ යනව වැඩී! කියන දෙයක් කෙළින් කියාපන්, වැල්වටාරම් නැතිව!"

"මහත්තය නිකමට හිතල බලන්න, කුස්සියෙ හිරමන තියෙනවා, මහ පිහි - කැති තියෙනවා,

ඒ මදිවට දොර පොල්ලක් වුණත් තියෙන්ට පුළුවන්, එහෙම තැනක ගැටුමක් ඇති වුණොත්!"

"තමන් පහරදීමක් කළාද?හොරෙක් පැන්නත් පහර දෙන්ට බෑ! තමුන්ට පුළුවන් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීම පමණයි. ජූඩෝ වාගෙ ක්‍රීඩාවක් එතෙන්දි වැදගත්!"

"ගෘහස්ත ගැටුම්වලට ප්‍රධාන හේතුව ගෑනු! අනික පැන්ෂන් දවසට කොහොමත් ගැටුම් වැඩී. එදාට ගෑනු ඉන්නෙ අඩ - සිහියෙන්!"

"තමුසෙගෙ ඒ කතාව නම්; ඇත්ත! බලනවකො, පොලිස්කාරයකුට වුණත් ගෑනිගෙන් බේරිලා සැනසිල්ලෙ ඉන්ඩ නෑ නෙවැ!"

"මහත්තය නෝනට බයයි වාගෙ! ඕකම තමයි මටත් වෙලා තියෙන්නෙ!"

"ඕයි! කුණුහරුප කියන්නෙ නැතිව වෙච්ච සිද්ධිය කියනවා! තමුසෙ නෝනට පහර දුන්නද?

හුඟාක් ලේ ගියාද? අහල පහල උදවියට සාක්ෂි කියන්ට වෙයි!"

"මට තේරුමක් නෑ මහත්තයා, අපි දෙන්නම පැන්ෂන් ගන්ට ගියෙ එකට, එදාට අපි දෙන්නට දෙන්නා ආදරේ වැඩියි. ඇත්තම කීවොත් මං බැන්දෙ ලව් කරල! කොටින්ම එයාගෙ පස්ස පැත්ත හරිම ලස්සනයි!"

"නාකියා වුණාට උඹ නම් හරිම වලෙක්! ඇත්ත කියනවා ඔතන ස්ත්‍රී දූෂණයක් වුණාද?

නෝනට වුණත් බලහත්කාරකම් බෑ තේරුණාද?"

"එහෙම දේවල් හුඟ කාලෙකින් නෑ මහත්තයා, මෙතන සිද්ධ වුණේ වාදයක්! ඒක දුරදිග ගියෙ කුස්සියෙදි, අපරාදේ!"

පොලිස් ලොක්කා සංවාදය නැවැත් වූ අතර රාලහාමි කෙනකුට කතා කොට පැමිණිලිකාරයා කූඩුවට තල්ලු කළේය. පැමිණිලිකාරයා තව මොන මොනවාදෝ කියාගෙන ගියත් පොලිස් ලොක්කා එය ගණන් ගත්තේ නැත. කූඩුවේ ඉබ්බා "ටකස්" යන හඬින් ලොක් විය.

පොලිස් ලොක්කා සැහැල්ලු සිතින් පිටත්වීමට සූදානම් විය. මේසය මත වූ පොත් හා ලිපි එක ගොඩකට දැමූ ඔහු වෙලාව බැලුවේය. රාත්‍රී දහයට ආසන්නය. ඒ සමඟම මැදිවියේ ගැහැනියක් හඬාගෙන පොලිසියට කඩා වැදුණාය.

"අනේ බුදු සෑර් අපේ මහත්තය නෑ! හරියට පැන්ෂන් දවසෙම එයා අතුරුදහන්!"

ලොක්කා එම කාන්තාව දෙස නිරීක්ෂණාත්මක බැල්මක් හෙළුවේය. කාන්තාවගේ හිසෙහි සිට පාදාන්තය තෙක් ගමන් කළ ඔහුගේ දෑස් ඇගේ පස්ස පැත්ත මත නතර විය. කාන්තාව ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවාය.

පොලිස් ලොක්කා සිය අසුනට යළිත් බර දුන් අතර මේ වැයික්කියේ උන්ට පිස්සුද? නැතහොත් තමන්ට පිස්සු දැයි කල්පනා කරන්නට පටන් ගත්තේය.

Comments