නුව­ර­එළියේ සිසිල සැබවින්ම විඳින්න සීතාවක ඔඩිසි දුම්රියෙන් එන්න | Page 2 | සිළුමිණ

නුව­ර­එළියේ සිසිල සැබවින්ම විඳින්න සීතාවක ඔඩිසි දුම්රියෙන් එන්න

ගමන ඇරඹීමට පෙර සඟරුවනේ ආශිර්වාදය ලබා ගනිමින්
ගමන ඇරඹීමට පෙර සඟරුවනේ ආශිර්වාදය ලබා ගනිමින්

 

හිරු සැඩ වී නොතිබිණි. සූර්ය රශ්මිය මඳින් මඳ මිහිතලය මතට වැටෙමින් තිබිණි. ඉකුත් 15 වැනිදා ය. ඒ, සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන “සීතාවක ඔඩිසි” විශේෂ දුම්රිය ධාවනය ආරම්භ කිරීමේ සුබ කටයුත්ත එදිනට යෙදී තිබූ නිසාය. සීතාවක සුන්දර පුරයට යෑමට අප දුම්රිය ගමන ආරම්භ කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.28ට යෙදුණු සුබ මොහොතෙනි. ප්‍රථම නැවතුම්පළ වූයේ මරදානය. ඉන් පසුව නාරාහේන්පිට, නුගේගොඩ, මහරගම සහ හෝමාගම පසුකර සුන්දර කෙත්වතු, අහස සිඹින ගොඩනැගිලි පසු කරමින් අපි වග දුම්රියපළට පැමිණියෙමු. එවිට වෙලාව උදෑසන 10ට ආසන්න විය. අප ගමන් ගත් දුම්රිය පස්වරුවේ නැවත කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතව තිබිණි.

සංචාරක ප්‍රවර්ධනය උදෙසා අලුතින්ම ආරම්භ කළ සුඛෝපභෝගී දුම්රියක් ගමන සඳහා සූදානම්ව තිබූ අතර, දුම්රියේ පළමු ධාවනය සිදු කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ද සහභාගි විය. මෙම දුම්රිය ගමන් කරන්නේ සීතාවක ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ගණනාවක් නැරඹීමට අවස්ථාව සලසමිනි. අප සමඟ ගමන් ගත් පිරිස අතර දෙස් විදෙස් සංචාරකයන් රැසක් විය. ඒ අතර යුක්රේන, රුසියාව ජර්මන් සංචාරකයන්ගේ මුහුණු විය.

දුම්රියෙන් වගට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට එතැන් සිට එකාබද්ධ බස් සේවාවක් හරහා සීතාවක ප්‍රදේශයේ සංචාරය කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා තිබිණ.

පසුගිය ඉරු දින කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළේ “සීතාවක ඔඩිසි” දුම්රියේ මංගල ගමන නිසාවෙන් කොටුව දුම්රිය ස්ථානයේ 9 වන පර්යන්තයේ දී නව දුම්රියේ ගමනට සෙත් පතා ආශිර්වාද කිරීමේ ආගමික වතාවත් ද සිදු විය. මේ සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, මධුර විතානගේ, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මේජර් ප්‍රදීප් උඳුගොඩ, බස්නාහිර පළාත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුගත් හේවාපතිරණ ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙන්ම, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. එස්. ගුණසිංහ ඇතුළු නිලධාරීන් ද එක්ව සිටියහ.

අතීතයේ දී මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ “කල්‍යාණි ද්‍රෝණී ධූම රථය” සහ පුංචි කෝච්චිය ලෙසයි. පුංචි කෝච්චියේ නිල නාමය කැලණිවැලි දුම්රියයි. මෙහි ආරම්භය සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමාගේ යුගය තෙක් දිව යයි.

ආණ්ඩුකාරතුමා මෙම දුම්රිය මාර්ගය හඳුන්වා ඇත්තේ “කැලණිවැලි සබරගමුව සැහැල්ලු දුම්රිය මාර්ගය”ලෙසය. ඒ මින් පෙර කැලණිවැලි දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට ඕපනායක දක්වා ගමන් කර තිබුණ හෙයිනි. නමුත් අද වෙද්දී එය ධාවනය වන්නේ අවිස්සාවේල්ල දක්වා පමණි. ඒ නිසාවෙන් එකම දිස්ත්‍රික්කයක් තුළ ධාවනය වන එකම දුම්රිය වන්නේ ද මෙම කැලණිවැලි දුම්රියයි.

මෙම දුම්රිය ගමන ආරම්භයේදීම නෙත ගැටුණ මනස්කාන්ත දසුන වූයේ නාරාහේන්පිට පිහිටි ගෝල්ෆ් පිටියයි. තදාසන්න ජනාකීර්ණ වූ කොළඹ පුරවයේ මෙවැනි සොබා සුන්දරත්වයෙන් පිරි ප්‍රදේශයක් පසුකරලීමත් සංචාරක සැමගේ ගතට සිතට ගෙන දුන්නේ මහත් අස්වැසිල්ලකි. ඉන්පසුව පසුකරන දුම්රිය මග දෙපස නම් තවමත් දකින්න ලැබෙන්නේ දුගී දුප්පත් ටකරන් සෙවිලි කළ නිවාස සහ ඉන් මඳක් ඈතට වන්නට පිහිටි තරමක් සුවිසල් නිවාසය. එය ද යම් හෙයකින් පවතින සමාජ පන්ති ක්‍රමය සහ ඇති නැති පරතරය විදහා දක්වන කදිම නිදසුනක් විය. දුම්රිය ඉදිරියට ගමන් කළේය.

සීතාවක ඔඩිසි දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ වග දුම්රිය ස්ථානය කරා ගමන් කරන අතරතුර එකම තැන නොරැඳී සංචාරකයන් අතර රැඳෙමින් ගැයුණු කැලිප්සෝ සංගීතය අතිශය සිත්ගන්නා සුළු විය. මංගෝ කළු නැන්දේ, මල් බර හිමිදිරියේ, කළු කැලණි නදී ආදී සරල තනුවලින් යුක්ත ගීත ඉතා මනරම් ලෙස ගැයුණු අතර, එය විදෙස් සංචාරකයන්ගේ සිත් දිනාගන්නට සමත් විය.

ස්වභාවික පරිසරය වෙනුවට මිනිස් ක්‍රියාකාරකම් හමුවේ කොන්ක්‍රීට්වලට නතු වූ පරිසරයෙන් යම් හෙයකින් මිදෙන්නට හැකි වන්නේ මාකුඹුර දුම්රිය ස්ථානය පසුකිරීමෙන් අනතුරුවය. ඉන්පසු තවමත් මිනිස් ක්‍රියාකාරකම්වලට නතු නොවූ සොබා දහමේ අසිරිමත් ගහකොළවල සුව විඳිමින් බොහෝ නිස්කලංක පරිසරයක් පසුකරමින් අප වග දුම්රිය ස්ථානයට ළඟා විය.

වග දුම්රිය ස්ථානයේ දී සංචාරකයන් පිළිගැනීමේ උත්සවයක් ද විය. දේශීය පානයක් ලෙසින් ලබා දුන් කුරුම්බා සංග්‍රහය ද විදේශිකයන් ලබා ගත්තේ ඉතා සතුටු සිතිනි. ඉන් අනතුරුව වග දුම්රිය ස්ථානය ආසන්නයේ තිබූ බස් රථ මඟින් සීතාවක පුරවරයේ සුන්දර ස්ථාන නැරඹීමට පිටත් විය.

සීතාවක ඔඩිසි තුළින් සීතාවක පුරවරයට පැමිණෙන සංචාරකයන්ට ලබුගම ජලාශය, කලටුවාව ජලාශය, සීතාවක උද්භිද උද්‍යානය, ගොරකා ඇල්ල, රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල, ඇල්ල උඩ ඇල්ල, තුම්මෝදර වැල් පාලම, ගල් බංගලාව සහ කොඩිගල කඳු පන්තිය වැනි සංචාරක ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුය. මුලින්ම අප ගියේ කලටුවාව ජලාශය නැරඹීම සඳහාය. කලටුවාව ජලාශයේ ඉතිහාසය බොහෝ ඈතට දිව යන්නකි. ලංකාවේ පිහිටි සොබා සෞන්දර්යෙන් පිරි ස්ථාන අතර කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය ද ඉතා අසිරියක් ගන්නේය. සබරගමුව හා බස්නාහිර පළාත් ආවරණය වන පරිදි කලටුවාව ජලාශය ජල ප්‍රභවය කර ගත් මෙහි අක්කර 3500ක පෝෂිත ප්‍රදේශයක් ඇති අතර කලටුවාව ජලාශය අක්කර 320ක් පුරා විහිදී ඇත.

කොළඹ නගරය හා ඊට තදාසන්න ප්‍රදේශවල ජල පරිභෝජන අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් ගොඩනැඟුණ මෙම කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය මහරගම, හෝමාගම, පාදුක්ක, කඩුවෙල, සීතාවක, කෝට්ටේ, කැස්බෑව, කොලොන්නාව යන ප්‍රදේශයන්හි ජල පරිභෝජන අවශ්‍යතා ඉටු කරනු ලබයි.

කලටුවාව ජලාශයේ අව‍ට පරිසරය තුළ මෙම වන රක්ෂිතයට ආවේණික කුරුලු විශේෂයන් රැසක් ද දැක ගන්නට හැකි විය. කුරුලු රෑන් පිටින් ඈත අහසේ පියාසර කරනු දකින්නට ලැබීම සැමගේ සිත් ඇඳගන්නා සුළු මනස්කාන්ත දසුනකි. ඒ නිසාම කලටුවාව ජලාශය අවට ප්‍රදේශය කුරුලු පාරාදීසයක් විදියටත් හඳුන්වන්නට ද පුළුවන.

ඉන් අනතුරව දිවා ආහාරය ලබා ගැනීමෙන් අනතුරව අපගේ සොඳුරු නවාතැන වූයේ සීතාවක උද්හිද උද්‍යානයයි. සීතාවක උද්භිද උද්‍යානය හෝ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවිස්සාවේල්ලෙ පිහිටා ඇති උද්භිද උද්‍යානයයි.

මෙරට අනෙක් උද්භිද උද්‍යාන හතර

වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ අවසානයටම ඉදි කළ උද්භිද උද්‍යානය වන්නේ මෙම සීතාවක උද්භිද උද්‍යානයයි. මෙය 2014 වසරේ අගභාගයේදී මහජනයා වෙත විවෘත කරන ලද්දකි.

මෙම උද්‍යානය ඉතා වැදගත් වන්නේ ලංකාවේ පළමුවෙනි තෙත් කලාපීය උද්භිද උද්‍යානය නිසාවෙනි. අක්කර 106ක පමණ විශාල ප්‍රදේශයක පැතිරී ඇති මෙම උද්‍යානය ආරම්භ කිරීමෙ අරමුණ වී ඇත්තේ අභියෝගයට ලක්වී තිබෙන පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සඳහා වන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමය. මෙම උද්‍යානයේ පහළ කොටස සම්පූර්ණයෙන්ම සකස් කර ඇත්තේ මනරම්ව ගොඩනැඟුණු ජල පොකුණක් වටාය. පොකුණේ මනරම් බව හා සිහිල් මඳනල පහස විඳිමින් හංස බෝට්ටු පැදිය හැකිය. එමෙන්ම විශේෂ පරිසර කලාප කිහිපයකින් මෙම උද්‍යානය සමන්විතය. මෙය විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි මනරම් භුමියකි.

ඉතා අලංකාර උද්‍යානයක් ලෙස සකසා තිබෙන මෙහි ඡායාරූප ගැනීමට පැමිණීමට බොහෝදෙනා පැමිණෙනු දක්නට විය. මෙම උද්‍යානය උදේ 8 සිට හවස 5 දක්වා විවෘතව පවතී.

සීතාවක උද්හිත උද්‍යානයේ ඇවිද එහි පහස ලබමින් ගත කළ කාලය තවත් මනරම් වූයේ එම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සංස්කෘතික සංදර්ශනය හේතුවෙනි. අපේකම අපේ සංස්කෘතික වටිනාකම් විදහා පාමින් ගෙන හැර පෑ අංගම් පොර සටන් ශිල්පය සහ ගිනි සිසිල නර්තනය විදෙස් සංචාරකයන් මෙන්ම අප ද බලා සිටියේ ඉතා උද්යෝගයකිනි.

සීතාවක ඔඩිසි හරහා සීතාවක පුරවරයට පැමිණෙන අයට නැරඹිය හැකි සෙසු ස්ථාන ගැන සංචාරකයන් දැනුම්වත් විය යුතුව තිබේ. මෙම සංචාරයේ දී කුමාරි ඇල්ල දැක ගත හැකිය. අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටා ති‍ෙබන කුමාරි ඇල්ල ගැන ජනප්‍රවාදයේ පවතින්නේ සීතාවක රාජසිංහ රජුගේ දියණිය වන කුමාරි මෙම ඇල්ලට වැටී මිය ගිය නිසා මේ නමින් හැඳින්වෙන බවයි. මෙම ඇල්ල මීටර් 4ක් පමණ උසය. විවිධ ජල ප්‍රවාහ 4කින් සැදුම්ලත් මේ ඇල්ල අවසානයේදි කැලණි ගඟේ ප්‍රධාන ගංගාව හමු වේ. මෙම ඇල්ලේ විශාල ගැඹුරු ආගාධයක් පවතින නිසා මෙහි පිහිනීම ඉතාම අනතුරුදායක බවද සිහිපත් කළ යුතුය.

උසින් මීටර් 4ක් පමණ වන ඇල්ල උඩ ඇල්ල ද සීතාවක උද්භිත උද්‍යානයට ඉතා සමීපව පිහිටා ඇත. මේ ඇල්ල ගලා එන්නේ කොඩි කන්දේ ගලෙනි. එය ද සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි සුන්දර තැනකි.

එසේම සීතාවක පුරවරයේ සංචාරය තුළ තුම්මෝදරට වෙන්නට මීටර් 15ක් පමණ උස කැලණි ගඟේ අතු ගංගාවකින් සැදුණු සුන්දර දියඇල්ලක් දැක ගන්නට හැකිය. එය නම් වන්නේ රන්මුදු ඇල්ල ලෙසිනි. මෙය තුම්මෝදර ගමේ සැඟවී ඇති සුන්දර ඇල්ලක් කිව්වොත් වඩාත් නිවැරදිය. තවදුරටත් සංචාරය කරන ඔබට ගල් පර්වත රැසක බාධක ගොන්නකින් පහළට ඇද වැටෙන ගොරකා ඇල්ල දැක ගත හැකිය.

ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 600ක් පමණ දුරින් තල්දූව – මීවිටිගම්මන මාර්ගයේ ගමන් කර වාහනය මඟ නතර කර කුඹුරු ඉඩම් මැදින් යන ලස්සන පොඩි අඩිපාරකින් මෙම ඇල්ලට යා යුතුය. ගොරකා ඇල්ල බලන්න යන ගමනේදී ගල උඩ තියෙන ස්වභාවික ජල තටාකෙන් නාන්න හැකි වීමත් සංචාරය කරන්නට තවත් සුන්දර අත්දැකීමක් ගෙන දෙන ස්ථානයක් බව සඳහන් කළ යුතුය.

එමෙන්ම සීතාවක ඓතිහාසික පුරවරයේ දීර්ඝ ඉතිහාසයක් ඇති සීතාවක මාලිගාව ද මෙම සංචාරය අතරතුර නැරඹිය යුතුම ස්ථානයකි. දැනට ඉතිරිව ඇත්තේ බළකොටුවෙ අවශේෂ පමණකි. නමුත් එම ප්‍රදේශයට යන සංචාරකයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කළ ගොඩනැඟිලි බලාගැනීමට අවස්ථාව සැලසේ.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙසින් මෙරටට පැමිණෙන සංචාරකයන් කොළඹ දිස්ත්‍රික්කය තුළ ද රඳවා තබා ගැනීමේ අරමුණින් සුන්දර සීතාවක මිටියාවතේ සොබා සෞන්දර්ය අත්විඳිමින් කැලණිවැලි දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන කරා සංචාරය කිරීම සඳහා සීතාවක ඔඩිසි දුම්රිය සෑම සතිඅන්ත දිනකදීම ඉදිරියේදී ධාවනය කිරීමට නියමිතයි.

මෙය ක්‍රියාවට නංවන්නේ ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය එක්වය. සීතාවක ඔඩිසි මංගල ගමනට එක් වූ ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් කියා සිටියේ කොළඹට කිට්ටුව දෙදින සංචාරයක් සඳහා එන විදේශිකයන් සඳහා දුරස්ථව තියෙන නුවරඑළිය සහ වෙනත් පරිසර හිතකාමී ප්‍රදේශවල සංචාරය කරනවාට වඩා අවම පිරිවැයක් යටතේ පහසුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළම සංචාරය කරන්නට හැකි ගමනාන්තයක් ඇති කිරීම මෙහි අරමුණ බවයි.

සීතාවක ඔඩිසි දුම්රියේ වායුසමීකරණය කරන ලද මැදිරි තුනකින් සමන්විතය. එහි එක් පැත්තකට පමණක් ගමන් කරන්නේ නම් එහි මිල රුපියල් 500ක් වන අතර ගමන් වාර දෙකටම එකවර ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ නම් අය කරනු ලබන්නේ රුපියල් අටසීයක් පමණි. එමෙන්ම දෙවන පන්ති දෙකකින් සමන්විත අතර එහි එක් පැත්තකට පමණක් ගමන් කරන්නේ නම් රුපියල් තුන්සීයක් අය කරන අතර එහි ද ගමන් වාර දෙකම සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගන්නේ නම් සහනයක් හිමි වේ.

තුන්වන පන්තියේ එක් මැදිරියක් පමණක් ඇති අතර එහි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් දෙසීයකි. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ. එස්. ගුණසිංහ කියා සිටියේ සීතාවක ඔඩිසි දුම්රිය එළඹෙන 29 වනදා සිට උදෑසන 7.15ට කොළඹ කොටුවෙන් ගමන් ඇරඹෙන අතර එය උදෑසන 9.30ට පමණ වග දුම්රිය ස්ථානය වෙත ළඟා වීම‍ට නියමිතයි.සීතාවක ඔඩිසි මංගල ගමන අවසානයේ අපි පැමිණියේ පුවක්පිටිය දුම්රිය ස්ථානයටය. එතැන් සිට ආපසු කොළඹ බලා දුම්රිය ගමන් ඇරඹිය.

දිනක හෝ දෙකක සංචාරයක යෙදෙන්නට කැමති දෙස් විදෙස් සංචාරකයන්ට සීතාවක පුරවරයේ සංචාරය කර මෙම අත්දැකීම සුවසේ විඳගන්නට හැකි බව අවසන ලියා තබමි.

සීතාවක ඔඩිසි දුම්රියේ ගමන ආරම්භ කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල හා පාර්ලිමේන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන
ගමනට සහභාගි වූ විදෙස් සංචාරකයන් සමඟ ඇමැති ආචාර්ය බන්දුල
දුම්රිය මැදිරියක් තුළ ගීත ගයමින්
වග දුම්රිය ස්ථානයට පැමිණි විදේශීය සංචාරකයින් උණුසුම්ව පිළිගත් අයුරු
සුන්දර නුවරඑළියේ දසුන් මවා පාන සීතාවක
සීතාවක උද්භිද උද්‍යානයේ සිරි අසිරිය විඳිමින්
සංචාරය අතර මගදී හමුවන කලටුවාව සුන්දර ජලාශය නරඹමින්

 

 

Comments