
පුංචි කාලේ ඉඳන්ම මම හැදුණේ ළමා නිවාසයක. මම මගෙ අම්මා තාත්තා මොන වගේද කියලවත් දැකලා නැහැ. ළමා නිවාස අක්කලා අතර මම මට ආදරේ අයව හෙව්වා. ඒත් මට එහෙම කෙනෙක් කිසිම දවසක හමු වුණේ නැහැ. පුංචි කාලේ ඉඳලම අනිත් කෙනාගේ අඩන්තේට්ටම් වලට යට වෙලා තමයි අපි වගේ පොඩි අයට ඉන්න වුණේ. හිතට පුංචි හරි සැනසිල්ලක් ලැබුණා නම් ලැබුණේ ඉස්කෝලෙදි විතරයි. මගෙ හොඳම යෙහෙළිය වුණේ සුනීතා. එයාගේ අම්මත් හරි හොඳයි. හුඟක් දවස්වලට මට දවල්ට බත් එකක් ගෙනැල්ලා දෙන්න සුනීතගේ අම්මා පුරුදු වෙලා හිටියා. සාමාන්‍ය පෙළ විභාගය කෙරුවට පස්සේ අපිට ළමා නිවාසයේ ඉන්න බැහැ. මට කොහොමත් එතැන ඉන්න කැමැත්තක් තිබුණේ නැහැ. විභාග ප්‍රතිපල එන්නත් කලින් තමයි මම ළමා නිවාසයෙන් පැනලා ආවේ. යන්නේ කොහෙද කියලා හරියටම අරමුණක් තිබුණේ නැති වුණාට මම ජීවිතය කොහොම හරි ජය ගන්නවා කියලා හිතාගෙන තමයි එළියට බැස්සේ.
ළමා නිවාසයෙන් එනකොට මට තිබුණේ ගවුම් දෙකක් විතරයි. මම ළමා නිවාසයෙන් පැනලා කෙලින්ම ආවේ සුනීතලගෙ ගෙදර. ඒත් එදා එයාගේ අම්මා බය වුණා මාව තියා ගන්න. ඒ වුණත් සුනීතගෙ අම්මා මාව එයාගේ අක්කාට බාර දුන්නා. අක්කා කියන්නේ ගුරුවරියක්. කිසි දවසක විවාහයක් කර නොගෙන හිටිය ඇගේ ගෙදර නම් තිබුණේ පුදුම තරමේ සැනසිලිදායක බවක්. එතැනින් තමයි මට ජීවිතය ලැබුණේ. ඒ ගෙදර හිටියේ ඉස්කෝලේ නෝනයි එයාගේ බාලම නංගියි විතරයි. ඇයත් ඉතාම හොඳ කෙනෙක්.
මට මගෙ නෑයෝ හමුවුණා කියලා තමයි එහෙට ආවට පස්සේ දැනුණේ. මම ගෙදර වැඩ කරන්න, ඇඳුම් මහන්න හැමදේම ඉගෙන ගත්තේ ඉස්කෝලේ හාමිනේගෙන්, පිළිවෙළකට දෙයක් කරන්න හැමදේම මම එහෙදි ඉගෙන ගත්තා. එහෙ ගිහින් මාස කිහිපයකින් විතර එයාලා මට රස්සාවක් හොයලා දුන්නා. කාලයක් මම රස්සාවත් කරගෙන එයාලා එක්ක හරිම සතුටින් ජීවත් වුණා.
නමුත් ජීවිතේ හරි ඉක්මනට වෙනස් වුණා. ඒ මගේ විවාහයත් එක්ක. මම වැඩ කරපු තැනම වැඩ කරපු එක්කෙෙනක් එක්ක තමයි මගෙ විවාහය සිදු වුණේ. ඇත්තම කිව්වොත් අපිට ඒක වැරදුණා. ඒ කියන්නේ ඉස්කෝලේ නෝනයි එයාගේ පවුලේ අනිත් අයයි මගේ හිත බිඳින්න කැමැති වුණේ නැහැ. ඒ නිසා එයාලා මාව විවාහ කරලා දුන්නා. එයාගේ නම ගාමිණී. ගාමිතීගේ අම්මයි නංගියි විතරයි ගෙදර හිටියේ. ඒත් මම හොයපු සැනසිල්ල ඒ ගෙදර තිබුණේ නැහැ. ගාමිණීගේ අම්මා හැමවෙලේම මගෙ වැරදි හොයන්න ගත්තා. මම ළමා නිවාසයක වැඩුණ එක එයාලා හැමෝටම කියන්න ගත්තා. කොහොම හරි බැඳලා මාස කිහිපයක් යනකොට මට ජීවිතේ එපා වුණා. ගාමිණි මම කියන කිසිම දෙයක් අහන්නේ නැති කෙනෙක් වුණා. එයත් අම්මගෙ පැත්තටම හැරුණා. මට ඒ ගෙදර ඉඳිල්ල එපා වුණේ ඒ හේතුවත් එක්ක. දවසක් මම ඉස්කෝල හාමිනේගෙ ගෙදර ආවා.
ඒ දෙන්නම මට අවවාද දුන්නේ ආයෙ ගෙදර යන්න කියලා. ඒගොල්ලෝ එහෙම කිව්වේ මගෙ හොඳට. ඒත් මට ආයෙත් ඒ ගෙදර යන්න හිතක් තිබුණේ නැහැ. යන්න තැනකුත් නැති නිසා මම එදා ගෙදර ගියා. මම යනකොට අම්මා ගෙදර හිටියේ නැහැ. නංගි විතරයි හිටියේ. මම දන්නේ නැහැ මට මොනවා වුණා ද කියලා. මම නංගිට ගෙයි තිබුණ කොස්ස අරගෙන ගැහුවා. නංගිගේ කෑගැහිල්ලට කාමරයේ හිටිය ගාමිණී සාලෙට දුවගෙන ආවා. දවස් ගාණක් තිස්සේ මගෙ හිතේ තිබුණ පීඩාව පිට වුණේ මගෙ තරහත් එක්ක. නංගිට ගහනවා දැකලා ගාමිණී මට අත උස්සගෙන ආවා ගහන්න. මම දන්නෑ ඒ වෙලාවේ මට කොහෙන් ඒතරම් හයියක් ආවද කියලා. මම පුළුවන්තරම් වීරිය අරගෙන ගාමිණීව තල්ලු කළා. මහ ගහක් බිම ඇදන් වැටෙනවා වගේ ගාමිණී බිම වැටුණා. නංගිගේ කෑ ගැහිල්ලට අහල පහළ මිනිස්සු ආවා. ඒත් ඒ එනකොට හැම දෙයක්ම ඉවරයි. බිම වැටිලා හිටිය ගාමිණීව දෙතුන් දෙනෙක් එකතුවෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා. මාව පොලීසියට භාර දුන්නා. ඉස්පිරිතාලෙ ගෙනිහිල්ලා දවස් දෙකකට පස්සේ ගාමිණි මැරුණා. දැන්නම් මට හිතෙනවා මාත් එදා මැරුණ නම් කියලා.
දැන් මට ජීවිතේ හෙටක් නැහැ. මාව බලන්න කවුරුවත් එන්නෙත් නැහැ. මේ හැමදේම වුණේ මගේ ඉක්මන්කමටයි.
කාත් කවුරුවත් නැති මම හොඳටම තනි වුණේ එතැනින් පස්සෙයි. ඉස්කෝලෝ නෝනයි එයාගේ නංගියි මාව බලන්න ආවේ එකම එක දවසයි. ඉස්කෝලෝ නෝනා මාව දැකලා හොඳටම ඇඬුවා. ඒත් එයාගේ නංගි නම් මගෙ මුහුණවත් බැලුවේ නැහැ. එයාලටත් මාව මහ වදයක් වෙන්න ඇති. හෙට ගැනත් අරමුණක් නැති මම දැන් නිකම්ම නිකං කාලෙ ගෙවනවා.