යම් කෙනකු බොරුවක් කියනවාද යන්න පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රම | Page 2 | සිළුමිණ

යම් කෙනකු බොරුවක් කියනවාද යන්න පහසුවෙන් හඳුනාගත හැකි ක්‍රම

අපි කොයිතරම් ඇත්ත කියල හිතෙන විදිහට බොරුවක් කිව්වත් අපේ මුහුණේ ඉරියව්, කටහඬ පාලනය වන ආකාරය ආදී දේවල් නිසා අපි බොරුවක්ද ඇත්තක්ද කියන්නෙ කියලා හඳුනා ගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. විශේෂඥයන් සහ මනෝ විද්‍යාඥයන් පවසන ආකාරයට බොරුවක් හසුකර ගැනීමේ උපක්‍රමය තමයි සිරුරු භාෂාව එහෙමත් නැත්නම් body language එක ගැන අවධානය යොමු කිරීම. ඒ නිසා අපි අද හෙළ රහස් තුළින් ඔබට එක එක්කෙනාගෙ බොරුවලට හසු වෙන්නෙ නැතුව කෙනෙක් ඇත්තද බොරුද කියන්නේ කියලා හඳුනාගන්න පුළුවන් උපක්‍රම කිහිපයක් කියලා දෙනවා.

 

01. කතා කරන අතරතුර නැවතීම් සිදු කරන ප්‍රමාණය ගැන අවධානය යොමු කරන්න

කෙනෙක් කතා කරන අතරතුර සැරෙන් සැරේ තැනින් තැන, නවත්ත නවත්ත කතා කරනවා නම් බොහෝවිට ඒ ඔහු බොරුවක් කියන නිසා වෙන්න පුළුවන්. ආ.., ම්ම්ම්ම්…,මන් කිව්වේ.. වගේ දේවල් කියමින් කඩින් කඩ නවත්වමින් කතා කරනවා නම් හෝ එවැනි නැවතීම්, ගොඩක් සිදු කරනවා නම් ඒ ඔහු බොරුවක් හිත හිත කියන නිසා සහ ඒ බොරුව ඔහුට ඉක්මනින් ගළපා ගන්න බැරි නිසයි.

02. මුහුණේ ඉරියව් පවතින කාල පරාසය ගැන අවධානය යොමු කරන්න

කෙනෙකු මුහුණෙන් ප්‍රකාශ කරන විට ඕනෑවට වඩා වෙලාවක් එකම ඉරියව්ව මුහුණෙන් පෙන්වමින් සිටිනවා නම්, අනිවාර්යෙන්ම එය ව්‍යාජ රඟපෑමක්. ඇත්ත පිවිතුරු හැඟීමක් මුහුණේ සාමාන්‍යයෙන් පවතින්නේ තත්පර 5ක් පමණයි. තත්පර 10ක් හෝ ඊට වඩා කාලයක් එකම ඉරියව්වෙන් පවතිනවා නම් එය සිතාමතා කරන දෙයක් මිස ඔවුන්ගේ සිතේ ඇති වූ ඇත්ත හැඟීම් නොවේ. උදාහරණයක් විදියට සිතන්න, ඔබ ඔබට සතුටු හිතුන ආරංචියක් තව කෙනෙකුට පවසන විට ඔවුන් එයට සතුට පළ කිරීමට ඇස් ලොකු කර ලොකු හිනාවක් සමඟ පුදුමයට පත්වූ බවක්‌ පෙන්වනවා නම් සහ එම ඉරියව්වම වෙනසක් නැතිව තත්පර 10ක්‌ හෝ ඊට වැඩි කාලයක් මුහුණේ රැඳී තිබෙනවා නම්. ඔවුන්ට ඔබ ගැන සතුටකට වඩා එය ඔවුන් ව්‍යාජ ලෙස පෙන්වන ඉරියව්වක් බව මතක තබා ගන්න.

03. වචන සහ හැඟීම් පිළිබඳ සැලකිලිමත් වෙන්න

විද්‍යාඥයන් පවසන ආකාරයට වචනවලට වඩා ඉක්මනින් අපේ මුහුණෙන් හැඟීම් පළවෙනවා. උදාහරණයක් විදිහට, කෙනකු තමන් තරහින් බව පවසා තත්පරයකින් හෝ දෙකකින් පමණක් මුහුණෙන් තරහ බව පෙන්වනවා නම්, ඔහු ඇත්තෙන්ම තරහින් නොවෙයි. නමුත් ඔහු ඉන්නේ තරහින් බව කටින් කියන්නට කලින් මුහුණෙන් එම තරහ පෙන්වනවා නම් ඔහු ඇත්තෙන්ම තරහින්. මේ අනුව ඔබ අවධානය යොමු කළ යුත්තේ යම් දෙයක් ගැන කෙනෙකුගේ වචන සහ මුහුණෙන් පෙන්වීම හැඟීම් පිළිබඳවයි. වචනවලටත් කලින් ඔහුගේ එම වචන වලින් පවසන දේ මුහුණෙන් පෙන්වනවා නම් එය සත්‍යක්. නමුත් වචන පවසා, පසුව මුහුණේ හැඟීම් ඇති වනවා නම් එය ව්‍යාජ එකක්. නමුත් මෙසේ වචන සහ හැඟීම් ඇතිවීම අතර තත්පර 1, 2ක් පමණ පරතරයක් ඇති නිසා ඒවා හඳුනා ගැනීමට නම් ඔබේ නිරීක්ෂණ හැකියාව උසස් මට්ටමින් තිබිය යුතුයි.

04. හැඟීම්වල ළෙන්ගතුභාවය පිරික්සන්න

ඕනෑම කෙනෙකුටත් කටින් ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නමුත් ඒ කියන දේම මුහුණින් පෙන්වන එක හරිම අමාරුයි. මොකද බොහෝ දෙනෙක්ට ඇත්ත හැඟීම් සහ බොරු හැඟීම් අතර වෙනසක් නොපෙනෙන ලෙස ඒවා කිරීමට අමාරුයි. ඔබ හොඳින් දන්නා හඳුනන අයකු නම්, ඔවුන් ඇත්තෙන්ම සතුටෙන් පසුවන වෙලාවක සිනාසෙන ආකාරය සහ සතුටක් නොමැතිව නිකන් සිනාසෙන ආකාරය අතර වෙනසක් ඔබට තේරෙනවා ඇති. උදාහරණයක් විදියට, සිනාසෙන විට කටින් පමණක් නෙවෙයි සිනාසෙන්නේ. ඇස් දෙකෙන් පවා සිනාසෙනවා. ඇස් දෙක අසල රැළි ගැන්වෙන අතර ඇහිබැම ඉබේම පහත් වෙනවා. මේ වගේ ඉරියව් නැතුව නිකම්ම කටින් පමණක් සිනාසෙනවා නම් ඔවුන් ඒ ඇත්තෙන්ම සතුටින් කරන හිනාවක්‌ නොවෙයි. මේක මේ විදිහටම අනිත් හැඟීම්වලටත් පොදුයි. ඇත්ත හැඟීම්වල ළෙන්ගතු බවක් ගැබ් වී තිබෙනවා. නමුත් ව්‍යාජ ලෙස සතුටක් දුකක් පෙන්වීමේදී මේ තරම් ළෙන්ගතුභාවයක්‌ එහි නැහැ. ඔවුන්ගේ එම ක්‍රියාව හැඟීම් විරහිත ක්‍රියාවක් ලෙස මුහුණෙන් අපිට හඳුනාගන්න පුළුවන්.

05. එකම දේ නැවත නැවත කීම

කෙනෙකු බොරුවක් කියනවා හඳුනාගන්න තවත් ලේසි ක්‍රමයක් තමයි මේ. එකම වාක්‍ය ඛණ්ඩය හෝ එකම සිදුවීම, කතාව අතරමැදින් නැවත නැවතත් කියනවා නම් ඒ ඔහු බොරුවක් කියන නිසයි. මේක වෙන්නේ, ඇතැම් පුද්ගලයන්ට ඔවුන්ගේ හැඟීම් වචනවලට පෙරළා ගැනීමට අපහසු නිසයි. විශේෂයෙන්ම හිතේ ඇතිවන තිගැස්ම සහ අවිශ්වාසය නිසා ඔවුන් එකම දේ කියමින් එය ඔබටත් තමන්ට ඒත්තු ගන්වා ගැනීමට උත්සාහ කරනවා. මේ නිසා කෙනෙක් නැවත නැවත කියන සිද්ධිය හෝ වාක්‍යය බොරුවක් වෙන්න පුළුවන්.

06. වචන තෝරා ගන්නා ආකාරය ගැන සැලකිලිමත් වෙන්න

ඔබ ප්‍රශ්නයක් අසන විට, උත්තරේ දෙන තැනැත්තා ඔබ ප්‍රශ්නය ඇසු වචනම භාවිත කර උත්තර දෙනවා නම් ඒ ඔහු බොරුවක් කියන නිසයි. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. ඔබ අසනවා “ඔබ කාටද කතා කර කර හිටියෙ? ” කියලා. එතකොට ඔවුන් කෙළින්ම කතා කර කර සිටි පුද්ගලයාගේ නම කියන්නැතුව “මං කතා කර කර හිටියෙ..” කියලා උත්තරය පටන් ගන්නවා නම් ඒ කියන්නේ ඔවුන් යම් දෙයක් වසන් කරන නිසා හෝ යමක් ඔවුන්ගේ කටින් පිට වේ යැයි බියෙන් සිටින නිසයි. එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් ඇසූ විට, ඔවුන් පිළිතුරු දෙනවා වෙනුවට නැවත ප්‍රශ්නයම ප්‍රතිරාවය කරමින් සිටිනවා නම් ඒ අනිවාර්යෙන්ම ඔහු හෝ ඇය බොරුවක් කියන නිසයි. උදාහරණයක් විදිහට “ඔයා ඊයේ රෑ කොහෙද හිටියේ?” කියලා අහනකොට ඔහු පිළිතුරු විදිහට “මං ඊයෙ රෑ කොහෙද හිටියේ..මං ඊයේ රෑ හිටියේ ගෙදර” ආදී ලෙස පිළිතුරු දෙනවා නම්, ඔවුන් එසේ කරන්නේ අලුතෙන් බොරුවක් සිතීමට කාලය ගැනීමට කරන උපක්‍රමයක් ලෙසයි.

07. අතින් මුහුණ කට වැසීම

මේ තමයි කෙනෙක් බොරුවක් කියනවා හඳුනාගන්න තියෙන ලේසිම ක්‍රමය. ඒ තමයි කෙනෙක් කතා කරන විට වටපිට බලනවා නම්, ඇස් කරකවමින් කල්පනා කරන බව පෙන්වනවා නම් හෝ අතින් කට වසමින් කතා කරනවානම් ඒ ඔවුන් බොරුවක් කියන නිසයි. කෙනෙකු යමක් සඟවන විට, එය තමන්ගෙ කටින් පිට වේ යැයි බිය නිසා මෙය ඉබේම ඇතිවන ප්‍රතික්‍රියාවක්‌. මේ වගේ ඉරියව් කෙනෙක් පෙන්වනවා නම් ඔබ‍ට හඳුනාගන්න පුළුවන් ඔවුන් කියන්නේ බොරුවක් කියලා.

 

 

Comments