දුවේ ඔයා දුමාල්ට අවංකවමද ආදරේ කරන්නේ කියලා එයාගේ අම්මා මගෙන් කෝල් කරලා ඇහුවා | Page 2 | සිළුමිණ

දුවේ ඔයා දුමාල්ට අවංකවමද ආදරේ කරන්නේ කියලා එයාගේ අම්මා මගෙන් කෝල් කරලා ඇහුවා

හොඳින් ඉගෙන ගන්න දක්ෂ දුවක් අපට ඉන්නේ

අපිට වඩා දුව ළඟ සල්ලි තියෙනවා. මාරු සල්ලි ඕන වුණා ම එයාගෙන් තමයි ඉල්ලගන්නේ

මට ලොකු දුකක් නැහැ එහෙන් මෙහෙට ආවට... දුමාල්ව මට ලැබීම ගැන සතුටුයි

ඊට පස්සේ නම් කෝල් ආවේ නැහැ මම විවාහක නිසා

සංගීතය එක්කම ජීවිතය ගෙවන ඔහු දුමාල් වර්ණකුලසුරිය. රියැලිටිකරණයෙන් බිහි වෙලා එහි පැවැත්ම ඔහු සතු කරගෙන ජනතාවගේ ආදරය යළි ඔහු සතු කර ගන්නේ වොයිස් ටීන් කෝච් දුමාල්ගේ ආගමනයත් එක්කයි. හුරතල් දුවණියකට ආදරණීය තාත්තා කෙනෙක් වූ දුමාල් ගැන රසඳුන අතරට ගෙන එන්න හිතුවා. ඔහු වගේම ඔහුගේ ආදරණීය බිරියත් මේ කතාබහට එකතු වුණා. මේ ඔවුන් ගැනයි

 

හඬ ඇහෙන නැහේන තරමට තිබුණු දුමාල්ගේ හඬ රූපය ආයෙමත් දකින්න ලැබුණේ සිරස වොයිස් ටීන් ඔස්සේ..?

ඔව්. ඒක පිළිගන්න ඕන කාරණාවක්. මගේ හඬ ඇහුණේ නැතුවම නෙමෙයි. ඇහුණා නමුත් මගේ රසික පිරිසට අලුත්ම පිරිසක් එකතු වුණා වොයිස් ටීන් එක නිසා. තරුණ හා ළමා රසිකයින්. කලින් මට හිටියේ වැඩිහිටි රසිකයින්. දැන් හැම පැත්තෙන්ම ප්‍රතිචාර ආදරේ ලැබෙනවා කවුරුත් කතා කරනවා. ඒ ගැන සතුටුයි. ඒ වගේම ටීනේජ්ලා එක්ක වැඩ කරද්දී පරිස්සමින් කරන්න ඕන. එයාලාගේ මානසිකත්වය වෙනස්. මම ඇකඩමික් චයිල්ඩ් සයිකලොජි පැත්ත කරලා තියෙන නිසා එයාලව හැඩ්ල් කරන්න පහසු වුණා.

 

රියැලිටිකරණයෙන් ඇවිත් රියැලිටිකරණයේ විනිශ්චය කරන්න ලැබුණු එක නිසා ඔබේ ප්‍රතිරූපයට හානියක් වුණා කියලා හිතන්නේ නැද්ද?

හානියක් වුණේ නැහැ නමුත් මට මඩ ගහන්න ගත්තා. ඒ වෙනකල් මට මඩ වැදිලා තිබුණේ නැහැ. ඒ ගැන දුකක් නැහැ. මොකද එහෙම මඩ ගහන්නේ අතළොස්සක් නේ. වැඩක් නැති අය කරන වැඩ ඒවා. ඊට වඩා ආදරේ කරන ප්‍රේක්ෂකයන් ඉන්න නිසා ඒක දැනුණේ නැහැ. අදටත් උදෙන්ම ගුඩ් මෝනිං කියලා මැසේජ් කරන පිරිසක් ඉන්නවා. රිප්ලයි කරන්න වේලාවක් නැති තරම් මැසේජ් එනවා. ඒ වගේ ප්‍රතිචාර ලැබුණේ කෝච් දුමාල්ගේ නමට තමයි. නමුත් ලැබුණු ප්‍රතිචාර එක්ක ඒ ප්‍රතිචාර මේන්ටේන් කරන්න මම දැනගන්න ඕන.

 

රියැලිටිකරණයෙන් බිහි වෙන ළමයි දක්ෂ වගේම ප්‍රසිද්ධිය උදෙසා වැඩ කරන අයත් දකින්න ලැබෙනවා ..?

ඒක ඇත්ත බහුතරයක් ප්‍රසිද්ධ වෙන්න වෙහෙස ගන්නවා ජය ගන්න වෙහෙසෙනවට වඩා. ඒ වගේම සංගීතය හදාරමින් ඉදිරියට යන දක්ෂයින් ඉන්නවා. එයාලට නම් හොඳ ගමනක් තියෙයි. මොකද සංගීතය කියන්නේ හදාරමින් පුහුණු වෙමින් ඉදිරියට යා යුතු ගමනක්.

 

කොහොමද සංගීත ජීවිතේ අලුත් තොරතුරු ..?

මාසේ අන්තිමට ඔස්ට්‍රේලියා යනවා, ප්‍රසංග හතරක් තියෙනවා . ඊට අමතරව පෙබරවාරි මාසේ ඩුබායි ෂෝ එකක් තියෙනවා , තව ආරාධනා කිහිපයක් ලැබුණා. නමුත් ගණන් ප්‍රශ්න නිසා ඒවා කන්ෆම් කරලා නැහැ. ඊට අමතරව ලංකාවේ තියෙන ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබුණා. මෙහේ නම් මහා ගොඩක් ප්‍රසංග ලැබෙනවා කියලා කියන්න බැහැ. හරි අඩුයි

ඊට අමතරව සංගීත අධ්‍යක්ෂණ වැඩ කටයුතු කරගෙන යනවා. ශෂිකා නිසංසලාටත් ලස්සන ගීතයක් හැදුවා ඒකත් ඉක්මනින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. මගේ ගීත දෙකකුත් එළියට දාන්න ඉන්නේ. ටෙලි නාට්‍ය පසුබිම් සංගීත වැඩත් කරනවා. . ඒක දිග කතාවක් නාට්‍යට පස්සේ අලුත් නාට්‍යක වැඩ කළා.

 

අවුරුදු හතක දුවක් ඉන්න පියෙක් ඔබ. ඇයත් සංගීතයට දක්ෂද..?

සිංදු කියන්න නටන්න වගේම නිවේදනය කරන්නත් දක්ෂතා දක්වනවා. දැන්ම කියන්න බැහැ පොඩි නිසා. හොඳින් ඉගෙන ගන්න දක්ෂ දුවක් ඉන්නේ. එයාගේ නම ධනා ශ්‍රී ඉලෙයානා. කීකරුයි වගේම තමන්ගේ වැඩ තනියම කරගන්න, අපටත් උදව් කරන දුවෙක්. ඒ හැමදේ එක්කම හරි දඟ කෙල්ලෙක් කියලත් කියන්න ඕන ,

 

හම්බ කරන හැම රුපියලක්ම වයිෆ්ගේ අතට දීලා වයිෆ්ගෙන් සල්ලි ඉල්ලගෙන වැඩ කරන චරිතයක් දුමාල් කියන්නේ..?

ඒක ඇත්ත , ලැබෙන සල්ලි ඔක්කොම වයිෆ්ට දෙනවා. එළියට යද්දී වයිෆ්ට කියනවා සල්ලි ඕන කියලා. එයාත් දෙනවා. එහෙම කරන්න හේතුව තමයි මට වඩා එයා ඒ පැත්තෙන් කළමනාකරණය හොඳින් කරන නිසා. ඒකට මම ලැජ්ජා වෙන්නේ නැහැ. අපිට ලොකුවට ආර්ථික ප්‍රශ්න නැත්තේ ඒ නිසා වෙන්න ඇති.

 

මුදල් අතේ නැතුව අපූරූ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා නේද ..?

ඒක හරි ලස්සන කතාවක්. මම දුව එක්ක කෑම ගන්න ගියා. සල්ලි දෙන්න පර්ස් එක ගද්දි සල්ලි නැහැ. කාඩ් පේමන්ට් කරන්නේ නැහැ. වයිෆ්ගෙන් සල්ලි ඉල්ල ගන්න බැරි වුණා . ඉතිං මම වාහනේට ඇවිත් වයිෆ්ට කෝල් කරා. දුව එකපාරටම කිව්වා තාත්තී මගේ ළඟ සල්ලි තියෙනවා දෙන්නම් කියලා , එයා ළඟ පොඩි පර්ස් එකක් තියෙනවා. ඉස්කෝලේ යද්දී කීයක් හරි දෙන එක එයා ඒකට දාලා එකතු කරනවා. ඒක බලද්දී සල්ලි තිබ්බා. ණයට ඉල්ලගෙන ගෙදර ගිහිං එයාගේ ණය බේරුවා. ඒ සල්ලි දීලා කෑම ගෙනාවා. අපිට වඩා එයා ළඟ සල්ලි තියෙනවා. මාරු සල්ලි ඕන වුණා ම එයාගෙන් තමයි ඉල්ලගන්නේ.

 

බිරිය ගැන කිව්වොත්, උයන්න පිහන්න පුළුවන් බිරියක්ද ඉන්නේ..?

අපි තුන් දෙනා හරි සතුටින් ජීවත් වෙනවා. රණ්ඩු නොවෙන තරම්. ප්‍රශ්නයක් ආවොත් කතාබහ කරනවා. රණ්ඩු වෙවි ප්‍රශ්න මග අරින්නේ නැහැ. ගැළපෙන බිරියක් ලැබුණා. රසටම උයන්න පුළුවන්. කෑම හරි රසයි.

 

රැවුල වවන්නේ ට්‍රෙන්ඩ් එකටද..?

රැවුල වවන්නේ ෆැෂන් එකට. වගේම වෙනසක් ඕන නිසයි

දුමාල්ගේ කතාබහ අතර තුර ඔහුගේ බිරිය එක්ක කතාබහ කළා.

 

ඔස්ට්‍රේලියාවේ හිටපු ශෙන්‍යා බණින්න ඇමතුමක් ගත්ත දුමාල්ව අන්තිමට කරකාරෙටම ගත්තා නේද ..?

එතකොට මම හිටියේ ඔස්ට්‍රේලියාවේ. මෙයා සුපර්ස්ටාර් ජජ් බෝඩ් එකේ හිටියා. අපේ ගෙදර අය ඒ වැඩසටහන යූ ටියුබ් එකෙන් බැලුවා. ඒ බලනකොට මාත් බැලුවා. හැමදාම ළමයිගේ වැරදි කියනවා. හරි බර වචනවලින්. මම අඳුරන කෙනෙක්ගෙන් එයාගේ නම්බර් එක අරන් මම කෝල් කළා. ඇත්තටම හොඳටම බණින්න කෝල් කළේ. ඒත් අහිංසක විදිහට හෙලෝ මම රෙකෝඩිං එකක ඉන්නේ පස්සේ කෝල් කරන්නම් කියලා තිබ්බා. එයා ඊට පස්සේ කෝල් කළා. එතකොට තරහා ගිහිං ඉවරයි. කතා කරපු විදිහට බණින්න හිතුණේ නැහැ. ඒ කෝල් එක තමයි දුර දිග ගියේ. අපි ආදරේ කළා. ෆොටෝස් වලින් දැක්කට ලංකාවට ආවට පස්සේ තමයි සජීවීව දැක්කේ. අපි අපිව දැකලා නෙමෙයි ආදරේ කළේ. ඒ 2013 අවුරුද්දේ මාස හයකට පස්සේ ලංකාවට ඇවිත් අපි බැන්දා. ලොකුවට වෙඩින් එක ගත්තේ නැහැ ඒ සල්ලිවලින් පුළුවන් විදිහට අසරණ මිනිස්සුන්ට උදවු කළා.

 

යාළු වෙලා ඉන්න කාලේ ඔහු නිතරම ඔබෙන් උස කීයද කියලා ඇහුවේ ඇයි..?

එයා දැකලා නැති නිසා එයාට හිතිලා තියෙනවා මම එයාට වඩා උසයි කියලා. ඒකයි මගෙන් උස කීයද කියලා නිතරම අහලා තියෙන්නේ. මම කිව්වා මම පහයි දෙකක් විතර ඇති කියලා එයා විශ්වාස කළේම නැහැ. මේ ළඟදි මම ඇහුවා ඔයාට වඩා මම ටිකක් හරි උසට හිටියා නම් ඔයා මොනාද කරන්න හිටියේ කියලා. හිමිට මඟ අරින්න හිතාගෙන හිටියා කියලා හිනාවෙවී කිව්වා .

 

ඔබ පෙම්වතිය කියලා දැන ගත්තට පස්සේ දුමාල්ගේ මව ඇමතුමක් දීලා ඇහුවා නේද මේ ආදරේ කරන්නේ අවංකවමද කියලා ..?

ඔව්. ඒ වෙද්දී එයා දෙන්නෙකුට ආදරේ කරලා පරාජය වෙලා විරහව විඳිමින් හිටපු කෙනෙක්. ඒ කාලේ ආදරේ නිසා එයා දුක් විදලා තියෙනවා. ඒ කතා එයා මට කියලා තිබ්බා. අම්මා කෝල් කරලා ඇහුවේ දුවේ ඔයා දුමාල්ට අවංකද ආදරේ කරන්නේ එයාව බඳින්නද ආදරේ කරන්නේ කියලා ඇහුවේ. එතකොට එයාගේ තාත්තා හිටියේ ප්‍රංශයේ. දුමාල් පවුලේ එකම දරුවා. ඉතිං මම අම්මට කිව්වා “ඔව්“ කියලා . ඊට පස්සේ තාත්තාත් කෝල් කළා. දෙපැත්තේ ආශිර්වාදය ලැබුණා. අන්තිමට මම විවාහ වෙලා ලංකාවේ නතර වුණා.

 

ඔස්ට්‍රේලියා ජීවිතේ අත ඇරලා දුමාල් වගේ කෙනෙක් එක්ක විවාහ වුණු එක ගැන මොකද හිතන්නේ ..?

ඒ කාලේ නම් මම රණ්ඩු කරනවා එයා එක්ක. එයා කොහේ ගියත් මාව එක්කගෙන ගියා. තනි කළේ නැහැ ඒත් දැන් එහෙම රණ්ඩු කරන්නේ නැහැ. දැන් අපට දුවෙක් ඉන්නවා. අපි හරි සතුටින් ජීවත් වෙනවා. අම්මා කෙනෙක් බිරියක් කියන්නේ ලොකු වගකීමක්. නිතරම දුමාල් අපිත් එක්ක ඉන්නවා. එයා පුද්ගලයෙක් විදිහට හරි හොඳයි. දුවට හරි ආදරෙයි. දුවට දුමාල් දුන්නු ආදරේ අපි අපේ තාත්තගෙන් විඳලා නැහැ නේද? කියලා වෙලාවකට හිතෙනවා. ඒ තරම් ආදරේයි. ඒ නිසා මට ලොකු දුකක් නැහැ එහෙන් මෙහෙට ආවට. එයා වගෙ කෙනෙක් ලැබීම ගැන සතුටුයි.

 

දුමාල් සංවේදී කෙනෙක් ද..?

එයා හරිම සංවේදී කෙනෙක්. මගේ අම්මා කැන්සර් එකක් හැදිලා නැති වුණා. අම්මා හොස්පිට්ල් එකේ ඉද්දි අපි බලන්න ගියා. කවදාවත් මිනිහෙක් මැරෙනවා දැකලා නැහැ අපි. අපි දෙන්නා අම්මා ළඟ ඉද්දි එහා පැත්තේ ඇදේ හිටපු අම්මා අපි ඉස්සරහා පණ ඇදලා වේදනාවෙන් මැරෙනවා දැක්කා. එදා දුමාල් එළියට දුවගෙන ගිහිං හරියට ඇඩුවා. එයා හරි සංවේදී කෙනෙක්. නැති බැරි අයට කෑම එකක් හරි අරන් දීලා උදව් කරන්න තමයි උත්සාහ කරන්නේ.

 

දුවත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද ..?

හරි සුන්දරයි . එයාගේ පස්සේ ඉන්නේ උගන්නන්න විතරයි . ඉගෙන ගන්න දේත් එකපාරයි කියලා දෙන්න ඕන. ඉක්මනින් අල්ල ගන්නවා. ගෙදර වැඩවලට උදව් කරනවා. කීකරු හොඳ දරුවෙක්.

ඒ පුංචි පවුලෙන් සමු ගන්න කලින් දුමාල්ට ප්‍රශ්නයක් යොමු කළා.

 

දුමාල් ජනප්‍රිය වෙන්න කලින් ආදරේ කරලා දරුණු විදිහට අත ඇරලා දැමු පෙම්වතියන් ජනප්‍රිය වුණාට පස්සේ කතා කරලා පසු තැවුණද..?

එක්කෙනෙක් විවාහ වුණාට පස්සේ මගේ බිරිය ළඟ ඉද්දි කෝල් කරලා දුක් වුණා. ගොඩක් දේවල් කිව්වා. ඒත් වාසනාවට මට ගැළපෙන කෙනා ලැබුණා එයාලා මඟ ඇරිලා. අනිත් කෙනා පසු තැවෙනවා ඇති අනිවාර්යයෙන්ම. කතා නොකළාට. ඊට පස්සේ නම් කෝල් ආවේ නැහැ. මම දැන් විවාහක නිසා.

 

 

Comments