ගිය අවුරුද්දේ මැයි මාසේ විතර ඉඳන් මම සිංගල් | සිළුමිණ

ගිය අවුරුද්දේ මැයි මාසේ විතර ඉඳන් මම සිංගල්

ආරාධනාවක් ආවොත් ආයේ මම සලකා බලනවා

සිරුරේ තියෙන හැම ටැටූ එකකටම මගේ ජීවිතේට සමීප කතාවක් තියෙනවා

ආදරේ කරන්න හිතෙන තරම් කෙනෙක් හමුවුණේ නැහැ

 

කවින්ද්‍යා අධිකාරි අමුතුවෙන් ඔබට හඳුන්වා දිය යුතු නැහැ. මෙරට ප්‍රකට ගායක යුවළක් වන අතුල – සමිතාගේ ආදරණීය දියණියයි. කවින්ද්‍යා මේ වෙද්දි තමන්ටම අනන්‍ය හඬකින් ගී ගයන රසිකයින්ට අමතක නොවෙන කෙනෙක් බවට පත්ව හමාරයි. ගායනය තුළින් පමණක්ම නෙවෙයි, නිවේදනයෙන් රංගනයෙන් පවා ඇය ප්‍රේක්ෂකයින්ට සමීප වනවා. කලින් කලට සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ පුවත් සමාජ ගත වුණත් 2023 වසරේ මොන වගේ නිර්මාණ එක්ක ද කවි ප්‍රේක්ෂකයින් අතරට එන්නේ කියන එක දැන ගන්න රසඳුන අපි කවින්ද්‍යා අධිකාරිට කතා කළා.

 

කවි මොකක් ද මේ මහණ වෙන්න යන කතාව

අනේ මොන බොරුද? මට එච්චර ජිවිතේ අතහරින්න තරම් මනස දියුණු වෙලා නැහැ. එහෙම නම් මම මෙහෙම ඉඳියි ද? මම ෆොටෝ දානකොට එක එක වැකි ලියනවා. ඒ දේවල් තුළ බුදුදහම සම්බන්ධ දේවල් පවා තියෙනවා. ඒ නිසා එක එක සමාජ මාධ්‍යය එක එක කතා නිර්මාණය කරලා. මට මේ වෙද්දී ගොඩක් අය කතා කරලා අහනවා මොකක් ද මේ මහණ වෙන කතාව කියලා. ඒ අස්සේ මගේ අම්මා මට වැඳගෙන ඉන්න ෆොටෝ එකකුත් එඩිට් කරලා දාලා.

කොහොමද 2023 මේ වසර පටන් ගැන්ම?

2023 පටන් ගත්තේ නම් ඇක්සිඩන්ට් එකකින්. කාටවත් තුවාල මුකුත් වුණේ නැහැ. වාහනේට මම මාරම ආදරේ කෙනෙක් නිසා ගොඩක් හොඳ විදියට නෙවෙයි මේ අවුරුද්ද නම් පටන් ගත්තේ.

මේ දවස්වල මොනවද කෙරෙන නිර්මාණ?

සාමාන්‍යයෙන් ගෙදර වැඩ කරන්න සහ අනුන්ගේ වැඩවලට උදව් කරන්න කම්මැලි කෙනෙක් නෙවෙයි. හැබැයි නිර්මාණ කරන්න හරිම කම්මැලියි. කවුරු හරි නිර්මාණයක් කරලා දුන්නොත් මම ආස වුණොත් කරනවා. ඒ එක්කම ටුවර්ස් වගයක් ප්ලෑන් කරන් යනවා

ඝරසර්පවලින් පස්සේ අපිට සිනමාවෙන් පවා දකින්න නොලැබුණේ?

මට ඕනේ වුණේ රංගනයෙන් නම් එක ටෙලි නාට්‍යයක් සහ එක චිත්‍රපටයක් කරන්න. ඒ අවස්ථා දෙකම මට හොඳ අධ්‍යක්ෂකවරුන් යටතේ කරන්න ලැබුණා. දැන් නම් සිරුරේ ටැටුස් ගහලා නිසා මැර චරිතයක් තමයි කරන්න වෙන්නේ.

එතකොට ආයේ රඟපාන්නේ නැද්ද?

ඝරසර්ප එකට ජයන්ත චන්ද්‍රසිරි මහතා මගේ අම්මට කතා කරලා කියලා තිබ්බේ දුවව එවන්න කියලා ස්ක්‍රීන් ටෙස්ට් එකට. ඒ වගේම සක්කාරං ටෙලි නාට්‍යයට සුසාර අයියා අම්මට කතා කරලා නාට්‍යය ගැන කියලා තිබ්බා. එහෙම ආරාධනාවක් ආවොත් ආයේ ඉතින් මම සලකා බලනවා.

ඔබේ සිරුරේ ගහලා තියෙන ටැටූස් 22කටම මෙමරිස් තියෙනවද?

ඔව්. මගේ ඇගේ තියෙන හැම ටැටූ එකකටම මගේ ජිවිතේට සමීප කතාවක් තියෙනවා.

මුලින්ම ටැටූ එකක් ගැහුවේ මොන අවුරුද්දේද?

පළවෙනි ටැටූ එක ගැහුවේ 2014 අග. අපෙ අම්මිගේ යාලුවෙක්ට ටැටූ එකක් ගහන්න ගියේ. අන්තිමට එයා බය වෙලා මගේ අතේ ටැටූ එකක් ගහන් ගෙදර ආවා.

ජනප්‍රිය බව පුංචි කාලේ ඉඳන්ම ලැබුණ නිසා නිදහස එහෙම සීමා වුණාද?

මගේ ජිවිතේ මම මුල්තැන දීලා තිබ්බේ බැලේ නර්තනය සහ උඩරට නර්තනයට. මම සින්දු කිව්වේ නැහැ අවුරුදු 14ක් යනකම්. මම බඩේ ඉන්න කාලේ ඉඳන්ම අම්මි තාත්ති දෙන්නම ප්‍රසංගවලට යනවා. මට ඒ කාලේ ඉඳන්ම නින්දත් නැතිකමත් හුරුයි. ඒ වගේම මම හරි වාසනාවන්තයි අමුතුවෙන් කියලා මේ ක්ෂේත්‍රයට එන්න ඕනේකමක් තිබ්බේ නැහැ. සඳතරු මල් හැඳුන කාලේ ඉඳන්ම මාව ආදරෙන් ප්‍රේක්ෂකයින් වැලඳ ගත්තා. මම හිතන්නේ අපිත් මේ කලාව කළාට සාමාන්‍ය මිනිස්සු. ඒ නිසා ජනප්‍රියත්වය නිසා නිදහස සීමා වෙන්නේ ආදර සම්බන්ධතාවක් තිබ්බොත් තමයි. ඒ හැර ඉතින් කවදාවත් කරදරයක් නම් වෙලා නැහැ. මම හරි ආසයි කවුරු හරි ඇවිත් මා එක්ක කතා කරනවට. මම හරි ආසයි ඒ ආදරේට. මට ඉන්ස්ට්‍රග්‍රෑම් සහ මුහුණු පොත හරහා මගේ රසික රසිකාවියෝ එවන මැසේජ් එකකින් මගේ දවසම සුබ වෙනවා.

මේ කාලේ ආදරවන්තියක් ද?

නැහැ. ගිය අවුරුද්දේ මැයි මාසේ විතර ඉඳන් මම සිංගල්. එහෙම ආදරේ කරන්න හිතෙන තරම් කෙනෙක් හම්බුණේ නැහැ.

මොනවගේ කෙනෙක් ද හොයන්නේ

එහෙම හොයන්නෙත් නැහැ. ඒකනේ තාම මේ ඉන්නේ. ඇත්තටම මෙහෙමයි. මගේ පවුල ගත්තම නිදහසේ ජිවත් වෙන පවුලක්. ඒ නිදහසට සමහර අය විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් එහෙම නැති මේ වගේ දේවල් ජිවිතවල වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් පොළොවේ පය ගහලා ඉන්න මට ආදරේ කරන සහ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විතරයි හොයන්නේ.

ගිය අවුරුද්දේ මට ඔයා මගේ පණ වගේ කිව්වානේ සමීර විරවර්ණ එක්ක. එතන ආදරයක් නැද්ද?

මම සාමාන්‍යයෙන් කා එක්ක හරි ෆොටෝ එකක් දැම්මොත් ඒ මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා පැතිරෙන එක සාමාන්‍ය දෙයක්.

තාත්තා එක්ක කරන්න ඉන්න නිර්මාණ ගැන ඉඟියක් දෙන්න පුළුවන් ද?

ඒකට නම් බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට කියනවා. ආයේ මේ අවුරුද්දේ නෙවෙයි ඊළඟ අවුරුද්දේ කියනවා. කොහොම හරි මම බලන් ඉන්නවා ඉතින් එයා සින්දුවක් කරලා දෙනකම්. තාත්තිම තමයි ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ වැඩසටහනකට ඇවිත් කියලා තිබ්බේ කවිට සින්දුවක් කරන්න ඕනේ කියලා. මට දවස ගානේ එයාව හම්බෙනකොට මම අහනවා කවද්ද කරන්නේ කියලා. එතකොට කරමු කරමු කියනවා. තවම නැහැ. ඒ නිසා ඉඟියක් දෙන්නවත් මුකුත් ප්ලැන් කරලා නැහැ.

අම්මා එක්ක සින්දුවක් කරන්න අදහසක් නැද්ද?

අම්මි එක්ක මම අවුරුදු 14දී විතර සින්දුවක් කළා. රුක්ෂාන් මාර්ක් අයියා තමයි ඒක මියුසික් කළේ. ඒ ඇල්බම් එක ලොකුවට අපි එළියට දැම්මේ නැහැ. මෑතක නම් අම්මා එක්ක සින්දුවක් ක‍ළේ නැති නිසා එයා එක්කත් සින්දුවක් කරන්න ඕනේ. ඒක ඉතින් මම කියලා හදවලා කරන්න ඕනේ.

ගෙදරදී මල්ලි එක්ක රණ්ඩු වෙනවද?

අනේ නැහැ අනේ. මම කෑගැහුවත් එයා නම් රණ්ඩු කරන්නේ නැහැ. එයා හරිම අහිංසකයි. මට ටිකක් තරහා යනවා වැඩියි. එයාටත් හැබැයි දැන් අවුරුදු 20ක් නිසා ටිකක් තරහත් යනවා. නමුත් දෙන්නම ඉක්මනින්ම නිවෙනවා.

ජිවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ

මේ වයසට මම ගොඩක් දේවල් ජිවිතේදී දරාගෙන තියෙනවා. මම හැමදාම ආස කළේ මගේ පවුලේ අය සතුටින් ඉන්නවා බලන්න. මගේ ලයිෆ් එකේ නම්බර් වන් මගේ පවුල. මගේ පවුලේ අය සතුටින් නම් මම මාරම සතුටින් ඉන්න කෙනෙක්. ඉතින් මේ වෙද්දී මම අමායා එක්කත් එයාලගේ බබාලා එක්කත් කාලේ ගත කරනවා.

ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ

මුල් කාලේ අතුල - සමිතාගේ දුව විදියට ප්‍රේක්ෂක ආදරේ ලැබුණා. අද වෙද්දී කවින්ද්‍යා අධිකාරි ලෙසින්ම ප්‍රේක්ෂකයින් අතරට එන්න මට හැකියාව ලැබිලා තියෙනවා. කලාවට එන්න ලැබීමම මම දකින්නේ පිනක් හැටියට. කලාව කියන දේ ජිවිතේ හැමදේකටම බලපානවා. ඒ නිසා කලාව තුළින් මට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ තමයි මාව ජිවත් කරන්නේ. ඒක තමයි ඇත්තම කතාව. වැඩියෙන්ම ඇක්ටිව් ඉන්නේ ඉන්ස්ට්‍රග්‍රෑම්. මම පුළුවන් වෙලාවට මට එවන මැසේජ් වලට මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා.

 

Comments