ගමක් බිය කර නොඑන්නම ගිය ‘ඇටිකුබ්බා’ | Page 2 | සිළුමිණ

ගමක් බිය කර නොඑන්නම ගිය ‘ඇටිකුබ්බා’

වසර කීපයක සිට පොලිසියෙන්, දේශපාලකයින්ගෙන් සහ මාධ්‍යයෙන්ද ඔවුහු මේ ගැන විමසූහ. ඔවුන්ට නිසි විසඳුමක් ලැබුණාදැයි නිශ්චිත නැත.

රඹුකන සහ වෙළව ප්‍රදේශවල දරුවන් අකුරු කරන අවට පාසල් 05 ක් පමණ ඇත. පෞද්ගලික උපකාරක පංතිවලට යන දරුවන් සහ රැකි රක්ෂාවලට යන පිරිසද බොහෝය. ඔවුන්ට පොදු ප්‍රවාහන සේවය ලබා ගැනීමට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ගෙවා කුරුණෑගල - පුත්තලම මාර්ගයට පැමිණිය යුතුව ඇත. ඇතැම් විට ඔවුනට ආපසු ඒමට සිදුවන්නේ රෑ බෝවීමෙන් අනතුරුවය. මෙවන් වටපිටාවක මත්ද්‍රව්‍ය පාවිච්චියට ගෙන මනස විකෘති වූ පිරිස් ගැවසේනම් ආයුධ ගත් පුද්ගලයින් සැරිසරන්නේනම් සාමාන්‍ය පුරවැසියන්ට ඇති ආරක්ෂාව කුමක්දැයි ගම්මු අසති. වසර ගණනක සිට ඔවුහු බියෙන් කල් ගෙවන බව කියති.

වාරියපොල රඹුකන ගමේ පදිංචි තරුණයෙකු වන ප්‍රදීප් උදෑසන සිට අතුරුදන්ව සිටියේය. උදෑසන 11 න් පසු ඔහුව දුටු කෙනෙකු නොවීය. දිනය පසුගිය 13 වැනිදාය. වේලාව පස්වරු 4.30 පමණ වන්නට ඇත. අතුරුදන්ව සිටි ලාල් ප්‍රදීප් කෑගසන හඬ "ඇටිකුබ්බාගේ" නිවස දෙසින් ඇසෙන බව සැලවීමත් සමඟ ගමේ පිරිසක් එතැනට රොක් වූහ. 'ඇටිකුබ්බා' නොහොත් සමරු රුවන් පතිරණ යනු මෙම කතාවේ 'කතා නායකයායැ'යි කීම වරදක් නැත. එහෙත් ඔහු අපරාධකාරයෙකි.

මේ සිද්ධියට දින කීපයකට පෙර 'ඇටිකුබ්බා'ගේ වැඩිමල් සොහොයුරියගේ පුත්‍රයාට රඹුකනට නුදුරු කොබෙයිගනේ පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී කිසියම් පිරිසක් විසින් පහරදී තිබිණි. මේ පිළිබඳව පැමිණිල්ලක් අදාළ තරුණයා විසින් වාරියපොල පොලිසියට කිරීමෙන් අනතුරුව එහි රාජකාරි කටයුතු සඳහා වාරියපොල පොලිසිය කොබෙයිගනේ පොලිසියට බාරදී තිබිණි.

'ඇටිකුබ්බා' සහ ඔහුගේ පවුලේ අය ප්‍රදීප් නමැති තරුණයා තම බාරයට ගෙන පහර දෙමින් ප්‍රශ්න කර ඇත්තේ තම පුත්‍රයාට පහර දීමට එක්ව සිටියේ කවුරුන්දැයි විමසමිනි. 'ඇටිකුබ්බාගේ' නිවසේ රඳවාගෙන ප්‍රදීප් නම් තරුණයාට පහර දෙන බවට සැල වීමත් සමඟ ගමේ පිරිසක් 'ඇටිකුබ්බා' ගේ නිවස අසලට එක් වූයේ ප්‍රදීප් බේරා ගැනීමේ අදහසින් විය යුතුය. එතැන් සිට සිදු වූයේ කුමක්දැයි සොයා ගැනීමට පොලිසියද තවමත් වෙහෙසෙමින් සිටියි.

කෙසේ වෙතත් එහි සිදුවූ ගැටුම අවසන් වූයේ 'ඇටිකුබ්බා' මෙලොව හැර යාමෙනි. එම නිවස අසලට පැමිණියේ කවුද? දෙපිරිස ළඟ තිබූ අවි ආයුධ මොනවාද යන තොරතුරු සොයා ගැනීමට අඛණ්ඩව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකව පවතී. පොලිසිය එහි යන විටදී බරපතළ කැපුම් තුවාල ලබා මියගිය 'ඇටිකුබ්බා' නොහොත් සමරු රුවන් පතිරණගේ සිරුර ඔහුගේ නිවසේ පිටුපස මුළුතැන්ගෙය තුළ දමා තිබිණ. ගැටුම සිදුවූ බවට සැක කරන මාර්ගයේ සහ අවට ලේ පැල්ලම් තිබිණ. ගැටුමෙන් තුවාල ලැබූ 'ඇටිකුබ්බාගේ' බාල සොහොයුරුද 1990 ගිලන් රථයකින් රැගෙන ගොස් නිකවැරටිය මූලික රෝහලට ගෙන ගොස් තිබූ අතර, 'ඇටිකුබ්බාගේ' වැඩිමහල් සොහොයුරියද ගැටුමෙන් තුවාල ලබා එම රෝහලටම ඇතුළත්ව සිටියාය. ගැටුමෙන් තුවාල ලද ගම්වාසී තරුණයින් පස්දෙනෙක්ද රෝහල් ගත කර සිටියහ. ඒ අතර නිවසේ රඳවාගෙන පහර දුන් බව කියන තරුණයාද විය.

'ඇටිකුබ්බා' යනු කවුද ?

මොහු එක්දරු පියෙකි. මියයන විට වයස අවුරුදු 33කි. පොලිසියට අනුව ඔහු ප්‍රදේශයේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ගම්වාසීන්ට අනුවද එසේමය. එහෙත් ගම්වාසීන් ප්‍රශ්න කර සිටින්නේ මෙතරම් ජාවාරම්වලට සම්බන්ධ අයෙකු නිදැල්ලේ සිටිමින් අන් අයගේ සාමකාමී ජනජීවිතයට බලපෑම් කරන්නේ කෙසේද යන්නයි. මෙම චෝදනාව සම්බන්ධව පොලිසියෙන් අසා දැනගැනීමට ගත් උත්සාහයේදී අනාවරණය වූ තොරතුරු මෙසේය.

'ඇටිකුම්බා' මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට සම්බන්ධ පැමිණිලි පොලිසියට නිතර ලැබී ඇත. ඒ අනුව කරන ලද වැටලීම්වලදී මෙම පුද්ගලයා සිවු වතාවක් 1984 අංක 13 දරන විෂ අබිං සහ මත්ද්‍රව්‍ය පනතේ 54 (1) අ වගන්තිය යටතේ වරදකරුවකු වී සිර දඬුවම් ලබා ඇත.

වයස අවුරුදු 31 ක් වූ මෙම පුද්ගලයාගේ බාල සොහොයුරාද එම 54 වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිවු වතාවක් වරදකරු වී දඬුවම් ලබා ඇත.

'ඇටිකුබ්බා' ගේ වැඩිමහල් සොහොයුරිය ද 54 වගන්තිය යටතේ වරදකාරියක වී දඬුවම් විඳි අවස්ථා දෙකකි. එපමණක්ද නොව 'ඇටිකුබ්බාගේ' මවද 54 වගන්තිය යටතේ වරදකාරියක වී දෙවරක් දඬුවම් ලබා පැමිණි අයෙකි. 'ඇටිකුබ්බා' ගේ සොහොයුරියගේ පුත්‍රයාද මෙවැනි වැරදිවලට හසුව පරිවාස බාරයට පත්කර සිටියදී එයින් පැනවිත් ගැටලු සහගත තත්ත්වයක් ඇති කළ අයෙකු බව පොලිසිය කියයි. 54 වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විටදී එම අධිකරණයෙන් ඇප ලබාගැනීමට නොහැකි වන බව කවුරුත් දන්නා කරුණකි. එසේ ඉදිරිපත් කරන සැකකරුවන්ට මහාධිකරණයේ දිනයක් ලැබෙන තුරු ඇතැම් අවස්ථාවලදී දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමටද සිදුවේ. ඊටත් අමතරව මෙම පවුලේ සියලු දෙනාම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ විකිණීම වැනි වැරදි සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරදකරුවන් කළ අවස්ථාවන් එමටය.

ඉහත කරුණු අනුව පොලිසිය කියා සිටින්නේ ප්‍රමාණවත් සාක්ෂි තිබූ සෑම අවස්ථාවකදීම මෙම පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදී ඇති බවයි. එහෙත් ගම්වාසීන් කියා සිටින්නේ ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූවත් නැවතත් ටික දිනකින් පැමිණ සුපුරුදු පරිදි ජාවාරම කරගෙන යන බවයි. මොවුන්ගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට නොයෙක් ප්‍රදේශවලින් විවිධ ආකාරයේ පිරිස් පැමිණෙන බව ගම්මු කියති. ඔවුන්ගෙන් ගම්මුන්ට සිදුවන හිරිහැර පිළිබඳවද පොලිසිය දැනුම්වත් කළත් නිසි පියවර නොගැනුණු බවද ගම්මු පෙන්වා දෙති. රඹුකන ඔයේ නාන තොටවල්වලින් දිය නෑමද අත්හැර දැමීමට සිදුව ඇත්තේ එම ස්ථාන නොයෙක් පුද්ගලයන් මත්ද්‍රව්‍ය පාවිච්චියට යොදාගැනීම නිසා බවද ගම්වාසීහු කියති.

'ඇටිකුබ්බාගේ' ඝාතනයට සැකපිට ගැටුම අවස්ථාවේදී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයින් 05 දෙනා අත්අඩංගුවට ගැනීමට වාරියපොල පොලිසිය සිද්ධියට පසුදාම පියවර ගත්තේය. ගැටුමට සම්බන්ධ බවට සැක කරන තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි. කෙසේ වෙතත් තරුණයින් 05 දෙනා අත් අඩංගුවට ගැනීමත් සමඟ පසුදාම එනම් ඉකුත් 14 දා රඹුකන සහ වෙළව ගම්වාසීන් එක්ව විරෝධතාවක් සංවිධානය කරන ලදී. අත්අඩංගුවට ගත් පිරිස වහාම මුදා හරින ලෙසත් මියගිය 'ඇටිකුබ්බාගේ' දේහය ගමට රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසත් එහිදී ඔවුහු ඉල්ලා සිටියහ. 'ඇටිකුබ්බා' මරණයට පත්වීම සැමරීම සඳහා කිරි මුට්ටියක් ඉතිර වීමටද පිරිස කටයුතු කර තිබිණ.

මෙම තත්ත්වය යටතේ මියගිය 'ඇටිකුබ්බාගේ' දේහය නිවසට නොගෙනවිත් භූමදානය කිරීමට සිදුවූ අතර දේහය සැකසීමෙන් තොරවම අවසන් කටයුතු සිදුකළ බව දැනගන්නට ඇත. එයට හේතු වූයේ ප්‍රදේශයේ කිසිඳු මල්ශාලාවක් දේහය බාර ගැනීමට ඉදිරිපත් නොවීමයි. එක පවුලක් විසින් මෙතරම් නීති විරෝධී ජාවාරම් සිදුකර ඒවාට දඬුවම් ලබමින් නැවත පැමිණ දිගින් දිගටම එම ජාවාරම සිදුකරයිනම් එය අවසාන වන්නේ කොතැනදැයි ප්‍රශ්නයක් ඇත. කොතැනක හෝ ක්‍රමය වැරදී ඇත.

දැන් ඇටිකුබ්බා නැත. ගම්වාසීන්ට අනුව පාරේ යන විට ස්කූටිය ඇඟට කැපීමට, කඩු කිනිසි පෙන්වා ගම්මුන් බිය වැද්දීමට අයෙකු දැන් නැත. 'ඇටිකුබ්බාගේ' සොහොයුරාට සොහොයුරියට නැවතත් ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ශක්තියක් නැත.

 

Comments