චාල්ස්ගේ රාජාභිෂේකයට රැජිනගේ කිරුළ අලුත් කරයි | Page 2 | සිළුමිණ

චාල්ස්ගේ රාජාභිෂේකයට රැජිනගේ කිරුළ අලුත් කරයි

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් දෙවැනි එළිසබෙත් රැජිණට පැළඳවූ කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇතැයි බකින්හැම් මාළිගය නිවේදනය කර ඇත. 
 
රාජකීය සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේදී මෙම ඓතිහාසික කිරුළ පැළඳවීම සිදුකරනු ලබයි. මෙය හැඳින්වෙන්නේ ශාන්ත එඩ්වර්ඩ් කිරුළ ලෙසයි. 
 
ලන්ඩන් ටවර් හි මෙම ඔටුන්න ප්‍රදර්ශනය සදහා තැන්පත් කර තිබේ. 
 
‘ශාන්ත එඩ්වඩ් ඔටුන්න‘, III චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් වෙනස් කිරීම සඳහා ප්‍රදර්ශනයෙන් ඉවත් කර ඇති බව බකිංහැම් මාලිගය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව ඉතා විටිනා පාෂාණ, නිල් මැණික් ඔබ්බවන ලද ඝන රන් ඔටුන්න ලබන වසරේ මැයි 06 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී III වන චාල්ස්ගේ රාජාභිෂේකය සඳහා “වෙනස් කිරීමේ කටයුතු” සිදු කරන බව මාලිගය පවසයි.
 
ලන්ඩන් ටවර් හි තැන්පත් කර වසරකට මිලියනයකට වඩා නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සමත් ඔටුන්නක් ලෙස මෙම රාජකීය ඔටුන්න සැලකේ. 
 
එහි සුදු ලොම් පටියක් සහිත දම් පැහැති වෙල්වට් තොප්පියක් ඇත. මෙම ඔටුන්න සෙන්ටිමීටර 30 (අඩි එකක්) පමණ උස සහ ඉතා බරකින් යුක්ත වේ.
 
මේවන විට 74වැනි වියෙහි පසුවන තුන්වැනි  චාල්ස් රජු, ඔහුගේ බිරිඳවන කැමිලා රැජින සමඟ කිරුළු පැළඳීමට නියමිතය.
 
රාජාභිෂේකයෙන් පසු මෙම ඔටුන්න නැවතත් තැන්පත් කරනු ලබන්නේ ලන්ඩන් ටවර් හි ය.
 
මෙම රාජකීය ඔටුන්න අවසන් වරට පැළඳ සිටියේ 1953 වසරේ දී දෙවන එලිසබෙත් රැජින විසින් ඇයගේ රාජාභිෂේකයේදී ය.
 
ඉකුත් සැප්තැම්බර් 08 වැනිදා 96 වැනි වියේ පසුවූ එලිසබෙත් මහ රැජින ස්කොට්ලන්තයේ ඇගේ බල්මොරල් වතුයායේ පිහිටි මාලිගයේ දී මිය ගියේය. ඒ ඇය වසර 70ක් වාර්තාගත ලෙස රජකම් කරමින් සිටිය දී ය. 
 
මහජන අදහස් ගැන සැලකිලිමත්වෙමින් තුන්වැනි චාල්ස් රජු 1953 වසරේ දී දෙවැනි එලිසබෙත් රැජින වෙනුවෙන් පවත්වන ලද උත්සවවලට වඩා වියදම් අවම රාජාභිෂේකය උත්සවයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
 

Comments