සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් App එකක් | සිළුමිණ

සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් App එකක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (30) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
 
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳ පැහැදිලිකරමින්  අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද  වැඩිදුරටත් පැවසීය.
 
එසේම මෙම යෙදවුම මගින් සංචාරකයන් කැමති නම් ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. 
 
තවද සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගතකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම 2023 වර්ෂයේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.
 
එසේම ඉඩම් මැනුම් කටයුතු ප්‍රමාදවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම මිනුම් කටයුතු බාහිර පාර්ශ්ව මගින් ඉටුකරගැනීමට ඇති හැකියාව පරීක්ෂාකොට ඉක්මනින් මෙම මැනුම් කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි. මේ පිළිබඳ වාර්තාවක් මීළඟ කමිටු වාරයේදී ලබාදීමට ද අමාතයවරයා මෙහිදී නිර්දේශ කළේය. මීට අමතරව විවිධ දිස්ත්‍රික්කවල පවතින ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳව සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

Comments