මෝටර් රියේ සැඟවුණු මාරයා | Page 2 | සිළුමිණ

මෝටර් රියේ සැඟවුණු මාරයා

සඳුන් නින්සර සහ සඳුන් සිර වී සිටි කාරය

නොසිතූ මොහොතක සිදු වූ අති අනුවේදනීය සිද්ධියකින් පිළියන්දල මාම්පේ ප්‍රදේශවාසීහු තවමත් කම්පාවට පත්ව සිටිති. පිළියන්දල මාම්පේ ජය මාවතේ නිවෙසක පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු ඔහුගේ පියාට අයත් කාරය ඇතුළෙ පැය තුනකට වැඩි කාලයක් සිරවී සිට පසුව ඉන් මුදා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 01 දාය.

මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ජය මාවතේ නිවෙසක පදිංචි මනම්පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර සිසුවාය. 17 හැවිරිදි සඳුන් ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දොළොස්වන වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහු එම පවුලේ නිවුන් සහෝදරයන් දෙදෙනාගෙන් බාලයාය.

සඳුන්ගේ මව 30 වැනිදා දහවල් සඳුන්ගේ වැඩිමල් සොයුරා සමඟ ජයවර්ධනපුර රෝහලට ගොස් සිටියාය. වැඩිමල් සහෝදරිය සහ පියා රැකියාවට ගොස් සිටි නිසා නිවෙසේ සිට ඇත්තේ සඳුන් නින්සර පමණි. සඳුන්ගේ පියා මෝටර් වාහන කාර්මික ශිල්පියෙකි. මව ගෘහනියකි.

සඳුන්ගේ මිතුරෙක් යාබද නිවසක පදිංචිව සිටින අතර 30දා දහවල් එම මිතුරා සඳුන්ගේ නිවෙසට පැමිණ ඇත. එහිදී සඳුන් හමුවූ මිතුරා ඔහුට කියා ඇත්තේ 'කෙටි සටහන් ටික දාගෙන ඉන්න මම දවල්ට පාඩම් කරන්න එන්නම්' කියාය.

ඉන් අනතුරුව මිතුරා සඳුන්ගෙන් සමුගෙන නැවත සිය නිවෙසට ගොස් ඇත. එහෙත් එම මිතුරාට සඳුන්ට පොරොන්දු වූ පරිදි නිවෙසට ඒමට නොහැකි විය. ඒ ඔහුගේ ඥාතියකු නිවසට පැමිණි නිසාය. එහෙත් එම මිතුරා සඳුන්ගේ නිවසට දවහල් 11ට පමණ ගොස් පවසා ඇත්තේ තමා එදින සවස 3ට පමණ අනිවාර්යයෙන් හමුවීමට පැමිණෙන බවකි.

ඉන්පසු මේ මිතුරා සඳුන්ට පොරොන්දු වූ පරිදි එදින සවස 2.45ට පමණ සඳුන්ගේ නිවෙසට ගොස් ඇත. නිවෙසේ දොරවල් විවෘත කර තිබෙන අයුරු මිතුරා දුටුවේය. ඔහු සඳුන්ගේ නම කියා කතා කරන අතරේ නිවෙසට ඇතුළු විය.

සඳුන් නිවෙස ඇතුලේ හැම තැනම සෙව්වත් මිතුරාට ඔහු ගැන කිසිම හෝඩුවාවක් නොලැබුණ තැන ඔහු කලබල වන්නේ සඳුන් කොහේ යන්නට ඇත්දැයි සිතමිනි.

නිවෙසේ දොර පවා විවෘත කර රූපවාහිනිය සහ විදුලි පංකාව ක්‍රියාත්මක වෙමින් තිබියදි සඳුන් නිවෙසේ නොසිටීම ගැන කලබලවූ මිතුරා නිවෙසින් පිටතට පැමිණ අවට පදිංචිකරුවන්ට ද මේ බව පවසා සඳුන්ගේ පියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන ඒ බව දන්වන්නේ ඒ මොහොතේදීමය. පුතුගේ මිතුරා තමාට දුන් දුරකතන ඇමතුමෙන් තරමක් කලබලයට පත් පියා ඒ මොහොතේම නිවෙසට පැමිණෙන්නේ පුතු ගැන සොයා බැලීම සඳහාය.

නිවෙසට පැමිණි පියා සඳුන් පුතු සොයද්දී ඔහු දකින්නේ නිවෙස ඉදිරිපිට නවතා ඇති තම කාරය ඇතුළේ සඳුන් පුතු සිහි විසඥව සිටින අයුරුය. සඳුන් විසඥ වී හේත්තු වී සිටියේ කාරයේ වම්පස දොරටුවටය. ඔහුගේ දෙපා සුක්කානම මත තිබෙනු පියා දුටුවේය.

වහාම ක්‍රියාත්මක වූ පියා යකඩ ඉන්නක් ගෙන කාරයේ ඉදිරිපස දොරටුවේ වීදුරු කැඩීමට උත්සාහ කළත් එය ද ව්‍යාර්ථ විය. කාරයේ යතුර ඇති බව මතක් වූ පියා එය සොයා ගෙන දොර විවෘත කර පුතු ඉන් පිටතට ගන්නේ ක්ෂණිකවය. කාරයෙන් ඉවතට ගන්නා අවස්ථාවේදී සඳුන් විසඥව සිටි අතර ඔහුගේ මුවින් සෙම ගලා ගොස් තිබෙන අයුරු පියාට දැක ගත හැකි විය. ඊට අමතරව සඳුන්ගේ සිරුරේ අධික රස්නයක් තිබී ඇති අතර සිරුර දහදියෙන් පෙඟී ගොස් තිබෙන අයුරු පියාට දැක ගැනීමට හැකි විය. පිළියන්දල දිසා රෝහලට රැගෙන යන සඳුන්ට එහිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඔහු කළුබෝවිල ශීක්ෂණ රෝහලට මාරු කෙරිණි. එහි ප්‍රතිකාර ලබමින් සිටි සඳුන් නින්සර සියලු දෙනා හඬවමින් අවසන් ගමන් යන්නේ පසුදින එනම් දෙසැම්බර් 1 දාය. 

මේ සිද්ධිය වාර්තා වූ මොහොතේම එහි ගිය පිළියන්දල පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන ආරම්භ කළ අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගරයේ නිලධරයන් ද එහි ගොස් විද්‍යාත්මක විමර්ශන සිදු කෙළේ ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනියගේ උපදෙස් මතය. සඳුන් විසඥව වැටී සිටි කාරය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සඳුන් නින්සර සිසුවා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. හොඳ මතක ශක්තියකින් හෙබි සිසුවෙකි.

සඳුන් සිරවී සිටි කාරය නවතා තිබෙන ස්ථානයට දැඩි හිරු රශ්මියත් වැටෙන අතර සඳුන් ඊට ඇතුළු වූ අවස්ථාවේදී ඒ ඇතුළත දැඩි උණුසුමක් පවතින්නට ඇති බවට සැක කෙරේ.

මේ අතර 1990 සිට ඇමෙරිකාවේ මෝටර් රථ තුළ සිරවීමෙන් දරුවන් 1000ක් පමණ මිය ගොස් ඇත. සඳුන්ගේ මරණය ගැන විශේෂඥ මතය වන්නේ මෝටර් රථයක කුඩා දරුවකු හිර වූ විට ශරිර උෂ්ණත්වය ඉහළ ගොස් මොළය සහ ස්නායුවලට හානි පැමිණිමෙන් දරුවකු මිය ගිය හැක්කේ වැඩිහිටියන්ට මෙන් එම රස්නය කුඩා දරුවන්ට දරා ගැනීමට හැකියාවක් නොමැති නිසා බවය. සඳුන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වූයේ කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.කේ.පී. ජානක කොඩිකාර විසිනි. ඒ පසුගිය 02 වැනිදාය. පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. තනුෂාන් විසින් පැවැත්විය. සඳුන්ගේ මරණය ගැන මේ වනවිට ප්‍රකාශ වී ඇත්තේ විවෘත තීන්දුවකි. සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යවා ඇත.

බිමල් ජයසිංහ, බණ්ඩාරගම

Comments