වික්‍රමසිංහ බේරා ගන්න කෝටි දෙකක කප්පමක් | සිළුමිණ

වික්‍රමසිංහ බේරා ගන්න කෝටි දෙකක කප්පමක්

 

හොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, වංචා වැනි ම්ලේච්ඡ ක්‍රියාවන් පමණක් නොව කිසිවකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම ද අපරාධ ගණයට අයත් ක්‍රියාවකි. ඉතාම කෙටි කලකින් විශාල මුදලක් උපයා ගැනීමේ කෙටිම මඟක් ලෙස අපරාධකරුවන් මෙම ක්‍රමය යොදා ගත්ත ද කවදා හෝ එම අපරාධයේ වගකීම තමා වෙතම පැමිණෙන බව ඔවුන් තරයේ මතක තබාගත යුතුය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි දිවියේ අත්දැකීම් ඇසුරින් ‘මේ ඒ කතා‘ කෘතියට ලියවුණු සුප්‍රකට ධන කුවේරයකු වූ එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපති ජී.සී. වික්‍රමසිංහ මහතා පැහැර ගැනීම සහ මෙතෙක් අපරාධ ඉතිහාසයේ ඉල්ලූ විශාලම කප්පම් මුදල ඉල්ලූ කප්පම්කරුවන් නීතීයේ රැහැනට

හසුකර ගත් සූක්ෂ්ම ක්‍රමවේදය පිළිබඳ සැකසුණු කොටස් තුනකින් යුත් ලිපි පෙළේ දෙවැන්නයි මේ.

ජී.සී. වික්‍රමසිංහ බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ වික්‍රමසිංහ මහත්මිය එහි තනිව යැවීමේ අවදානම ද සමඟිනි. වික්‍රමසිංහ පැහැරගෙන ගොස් දෙවැනි රැය එළඹීමත් සමඟින් අන්ධකාරයේම තම රියැදුරු ද සමඟින් කප්පම්කරුවන් සොයා වැල්ලම්පිටිය පොලිස් වසමේ අඳුරු මාවතක් වෙත පැමිණි වික්‍රමසිංහ මහත්මිය තම අත තිබූ G-66 කාණ්ඩයට අයත් ලක්ෂ 200 සහිත රුපියල් 1000 නෝට්ටුවලින් සමන්විත මුදල් පාර්සල් දෙකක් කප්පම්කරුවන්ට බාර දුන්නේ තම සැමියා ඉක්මනින් මුදා ගැනීමේ අභිප්‍රායෙනි. ඉන් පැය තුනක් ගත වීමටත් පෙර මහරගම කොට්ටාව ප්‍රදේශයේදී ඔවුන් වික්‍රමසිංහ මුදා හැරීමට කටයුතු කිරීම නිසා කිසිම ගැටලුවකින් තොරව එම ගමන නිමාවට පත් විය.

ඉකුත් 30 වැනිදා සිය නි‍ෙවසින් පිටවූ තැන් සිට සිදුවූ සියල්ල වික්‍රමසිංහ වෙතින් නොලහා විමසන්නට වූ පොලිස් විමර්ශන කණ්ඩායම තවදුරටත් උත්සාහ කළේ කෙසේ හෝ කප්පම්කරුවන් කොටු කර ගැනීමට හෝඩුවාවක් මතු කර ගැනීමටයි. එයද අසාර්ථක වෑයමක් වූයේ කප්පම්කරුවන් කිසිම විටෙක වික්‍රමසිංහගේ දෑස් නිරාවරණය නොකිරීම හේතුවෙනි.

වෝඩ් පෙදෙසින් පිටත් වීමෙන් පසු හෝර්ටන් පෙදෙසේ ඩී.එස්. සේනානායක හන්දියේදී පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් තම වාහනය නවතා පරීක්ෂණ කටයුත්තක් සඳහා යැයි පවසමින් තමා අත්අඩංගුවට ගත් බවත් ඒ මොහොතේ තම දෑස් වැසීම හේතුවෙන් තමාට කිසිවකුත් හඳුනා ගැනීමට නොහැකි වූ බවත් දින දෙකක්ම යම් ස්ථානයක තමා රඳවාගෙන සිට අවශ්‍ය ආහාරපාන ලබා දුන් බවත් කොට්ටාව ප්‍රදේශයේ දී මුදා හරින තෙක්ම තම දෑස් විවෘත නොකළ බවත් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය. එයද ප්‍රතිඵල රහිත උත්සාහයක් වූ බැවින් වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විමර්ශන කණ්ඩායම තීරණය කළේය.

මේ අතර 2000 අප්‍රේල් 3 වැනිදා රාත්‍රී 8.00ට ශ්‍රී ලංකා රූපවාහිනියේ රජයේ ප්‍රවෘත්ති අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ G-66 කාණ්ඩයට අයත් මුද්‍රිත 1000 නෝට්ටු අවලංගු කර ඇති බවයි. රට පුරා ජනතාව ඉන් බොහො සේ කලබලයට පත් වී සිටියේ කුමකින් කුමක් සිදු වන්නේ දැයි නොදැනය. ඕ.අයි.සී. ජයකොඩි සහ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර එදින මධ්‍යම රාත්‍රිය වන තුරුම කොළඹ අවට පාතාලයේ සැරිසරමින් කාලය ගත කළේ කොළඹ පාතාලයට අයත් කිසිවකු හෝ මෙම කප්පමට සම්බන්ධ නම් පළාතේ ඔත්තුකරුවන් තුළින්ම හෝඩුවාවක් ලබා ගැනීමේ අරමුණෙනි. එය ද අසාර්ථක වීමෙන් අවසන් තුරුම්පුව ලෙස කඩුවෙල ප්‍රදේශයේ පදිංචි සුප්‍රකට මංකොල්ලකරුවකුව සිටි ඔත්තුකරුවකු මුණ ගැසුණ ද ඉන් ද ඵලයක් නොවීය.

රෑ පුරා නිදි වරමින් කළ මෙම මෙහෙයුමේ වෙහෙසකර බව හා කුසගින්න නිවා ගැනීමේ අරමුණෙන් මාලඹේ ප්‍රදේශයේ කඩයකට ගොඩ වී කුසට දමා ගත් ආහාරය ද ඔවුන්ට වමාරන්නට සිත් වූයේ රු. 590ක් වූ කෑම බිල ගෙවීමට දිගු කළ රු. 1000 නෝට්ටුව කඩේ මුදලාලි ප්‍රතික්ෂේප කිරීම නිසාවෙනි.

“මහත්තයෝ මේ දැන් ටෙලිවිෂන් එකේ කිවුවා රුපියල් දාහේ නෝට්ටු අවලංගු කළා කියලා. ඒ නිසා ඕක නම් බාර ගන්න බෑ.“

කොතරම් ඇවටිලි කළද මුදලාලි එය ප්‍රතික්ෂේප කළෙන් යාන්තම් බිල ගෙවා දැමීමට හැකි වූයේ සියලු දෙනාගේ අතේ තිබූ මුදල්වල එකතුවෙනි.

රට පුරා පිහිටි බැංකු සහ මූල්‍ය ආයතන ලොකු අර්බුදයකට මුහුණපා සිටියේ මුදල් නෝට්ටු අවලංගු කිරීමේ පුවතිනි. එදින දහවල් 12 පමණ වන විට අවලංගු කළ කාණ්ඩයේ මුදල් නෝට්ටු කොළඹ නගරයේ තැනින් තැනින් මතු වන්නට විය. එහි පළමුවැන්න මතු වූයේ බොරැල්ලේ ‘කැරවෑන්’ ආපණ ශාලාව විසින් හැටන් නැෂනල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් නෝට්ටු අතරිනි. එය ද තුන්වැනි පාර්ශ්වයක් හරහා සොයා ගැනීමක් වූ නිසා ඉන් ඔබ්බට පරීක්ෂණ කරගෙන යෑමට අපහසු විය. දෙවැනි වරට එවන් නෝට්ටුවක හෝඩුවාවක් ලැබුණේ මරදානේ දුරකතන බිල් ගෙවන මධ්‍යස්ථානයකිනි. එය රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දැනගන්නට ලැබුණේ කිරිබත්ගොඩ පදිංචිකරුවකු වූ ඔහුට රන් භාණ්ඩ උකස් කිරීමකින් ලංකා බැංකුවෙන් එය ලැබුණු බවයි. එය ද ඊට එහා පරීක්ෂණ ගෙන යෑමට තරම් හේතුවක් නොවීය.

එදිනම සවස 3ට පමණ මීගලෑව ලංකා බැංකුවේ කළමනාකරු අපරාධ මූලස්ථානයට දුරකතන ඇමතුමක් දී ප්‍රකාශ කර තිබුණේ එම කාණ්ඩයට අයත් 1000 නෝට්ටු 108ක් තම බැංකුව වෙත ලැබී ඇති බවයි. ඒවා හඳුනාගෙන ඇත්තේ අවසන් මුදල් ගණනයේදී නිසා රැගෙන ආ පුද්ගලයින් පිළිබඳ නිවැරැදි සඳහනක් කිරීමට ඔවුන්ට අපහසු විය. එකම ස්ථානයකින් නෝට්ටු විශාල ප්‍රමාණයක් හමුවීම මෙන්ම මීගලෑව වැනි පිටිසර පෙදෙසක මුදල් සංසරණය වීමේ ක්‍රියාවලිය හඳුනා ගැනීමට පහසු වීම නිසා එතැනින් තම විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පොලිස් නිලධාරී කණ්ඩායමේ තීරණය විය. ඒ වන විටත් සවස 6 පසු වී තිබුණු නිසා බැංකු කළමනාකාරීත්වයට බැංකුවෙන් බැහැරට නොයන ලෙස එකඟ කරවා ගෙන ඔවුන් වහ වහා මීගලෑව බලා ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට මහ රෑ බැංකුවක් විවෘත කරවා ගනිමිනි. උදෑසන 6.30 වන විට සිද්ධියට අදාළ මුදල් නෝට්ටු බැංකුවට රැගෙන ආවේ යැයි සැක සහිත පුද්ගලයින් 16 දෙනකුගේ ලිපිනයන් ලැයිස්තුවක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. එහි පළමුවැනි සැකකරුවා ලෙස ඔවුන්ගේ විමර්ශන ඇසට ලක් වූයේ කන්නෝරුවේ හේරත් බණ්ඩාය. විමර්ශන ක්‍රමවේදයට අනුව නගරයට ඈතින්ම පිහිටි ලිපිනයේ සිට සැකකරුවන් සෙවීමේ කාර්යයේ නිරත වූ ඔවුන්ට මීගලෑවේ සිට සැතපුම් 6ක් දුර ගමන් කිරීමෙන් අනතුරුව හේරත් බණ්ඩාගේ නි‍ෙවස සොයා ගැනීමට හැකි විය. ගඩොලින් බැඳ හුනු පිරියම් කර වහලයට උළු යොදා දෙපලට තනා තිබූ ඔහුගේ නි‍ෙවස පළාතේ හැටියට හොඳ නි‍ෙවසකි. නි‍ෙවස ඉදිරිපස නවතා තිබූ නවීන පන්නයේ වාහනය නිසා නිලධාරී කණ්ඩායමේ කුකුස තවත් වැඩිවන්නට විය.

නි‍ෙවසේ දොර වසා දමා තිබූ හෙයින් නිලධාරී කණ්ඩායම තම රාජකාරිය ආරම්භ කළේ ගේ අවට සෝදිසි කිරීමෙනි. නි‍ෙවසට මඳක් ඈතින් බිම වාඩි වී සිටි පුද්ගලයකු මේ සියල්ල දෙස බලා සිටියේ විමසිලිමත් දෑසිනි. එය නෙත ගැටුණු ඕ.අයි.සී ජයකොඩි ඒ දෙසට ඇවිද ගියේ සංවාදයකට මුල පුරමිනි.

“හේරත් බණ්ඩා ගෙදර නැද්ද?” “මල්ලි ඉන්නවා අපේ ගෙදර” “එතකොට අර වෑන් එකේ ආපු කට්ටිය කෝ” “ඒ අයත් අපේ ගෙදර ඉන්නවා”

“හේරත් බණ්ඩගේ අයියගේ ගෙදර කොහේද තියෙන්නේ” “අර පේන ගෙදර. මහත්තයත් ආවෙ මල්ලි හම්බ වෙන්න ද” ඔහු මීටර් 100ක් පමණ ඈතින් ගස්කොළන් අස්සෙන් පෙනෙන නි‍ෙවසක් දෙසට අත දිගු කළේ තවත් ප්‍රශ්නයක් ද අසමිනි.

“ඔව් ඔව්, අපිත් ආවේ එයාව හම්බ වෙන්න තමයි. කෝ එහෙනම් යමුකෝ” පොලිස් පරීක්ෂක ශානි ද ඔවුන්ට එක්වෙමින් ඉදිරියට ඇවිද ගොස් නැවතුණේ පහළ උසකින් යුත් දෙපලට තැනූ කුඩා නි‍ෙවසක් ඉදිරිපිටය.

“මල්ලි මේ කට්ටියක් ඇවිත් ඔයාව හම්බවෙන්න” යැයි කියනවාත් සමඟම නි‍ෙවස තුළින් මතු වූයේ සරමක් සහ කොළපාට කමිසයකින් සැරසී සිටි මැදිවියේ පුද්ගලයෙකි. ඔහු පසුපසින් පැමිණි තරුණයින් සිවු දෙනා අතුරින් තැඹිලි පැහැති ටී ෂර්ටයෙන් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමින් සැරසී, ක්‍රීඩා පාවහන් යුගලක් පැලඳ සිටි තරුණයා ඕ.අයි.සී. ජයකොඩිගේ උකුසු ඇසට ලක් වූයේ ක්ෂණයකිනි. පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතුව සිටියදී සිගරට් මංකොල්ලයට අවශ්‍යව සිටි ‘වික්ටර්’ නම් මොහුමය. එහි කිසිම සැකයක් නැත.

කප්පම්කරුවන් සියල්ලම නීතියේ රැහැනට (ලබන සතියේ)

 

සකස් කළේ - නාමලී ගමගේ

 

Comments