වසර 91 කින් සංශෝධනයට සැරසෙන විහාර දේවාලගම් ආඥා පනත | සිළුමිණ

වසර 91 කින් සංශෝධනයට සැරසෙන විහාර දේවාලගම් ආඥා පනත

විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය වීම වර්තමානයට ගැළපෙන ආකාරයට සකස් කිරීමේ කිසිම ගැටලුවක් නෑ
- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා විහාර පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද නාහිමි

වසර 91 ඉක්ම ගොස් තිබුණත් වර්තමානයට ගැළපෙන ලෙස ප්‍රධාන කරුණු සංශෝධනය වී නැහැ
- බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම

ත්මනට ගැළපෙන පරිදි විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීමටත්, ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් නෙටුම්පත් කිරීමටත් පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි විය. සියලු පාර්ශ්වවල එකඟතාව මත ඉදිරියේදී මෙය නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සලකා බැලීමෙන් අනතරුව නීතියක් බවට පත්වීමට නියමිතය. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේ බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසිනි. මේ පනත හඳුන්වා දී මේ වනවිට වසර 91කි. මීට ප්‍රථම ද මේ පනත යාවත්කාලීන කිරීමට විටින් විට ගත් උත්සාහ ව්‍යර්ථ විය. මේ නව සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු වගකිව යුතු පාර්ශ්ව විසින් දැක් වූ අදහස්වල සම්පිණ්ඩනයකි. 

ශ්‍රී ලංකාව පුරා රජ මහා විහාර, පුරාණ විහාර සහ ඓතිහාසික දේවාල බොහොමයක් පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථාන සඳහා රජ කල සිට අක්කර දහස් ගණන් ඉඩම් සහ කුඹුරු පවරා දී තිබුණේ ඒවායේ නඩත්තුව සඳහා ය. පසුකාලීනව මේ ඉඩම්වලට කෑදර කමින් විහාරවලින් පිටත භික්ෂූන් පවා ඒවා අයිති කර ගැනීමට උත්සාහ කළේය. එලෙස සමහරු තම භුක්තියට නතු කර ගත් අවස්ථා ද නැතුවා නොවේ. එසේම පිටස්තර පුද්ගලයන් පවා මේවා භුක්ති වින්දේය. මේ නිසා පූජ්‍ය පක්ෂයට විශාල දේපළක් පාලනය කිරීමේ නීතිමය ගැටලු මතු විය. දැනට භාවිත කෙරෙන විහාර දේවාලගම් පනත 1931 දී බ්‍රිතාන්‍ය සමයේ හඳුන්වා දුන්නේ එලෙස මතුව වූ ගැටලු නිරාකරණය කිරීම සඳහාය. ඊට ප්‍රථමවද ඉංග්‍රීසි විසින් නීති කිහිපයක්ම ගෙනැවිත් තිබිණි. මෙම විහාර දේවාලගම් පනතේ මෙලෙස සඳහන්වේ “වර්ෂ 1905 දී පමණ බෞද්ධ විහාර හා දේවාලගම් පනතේ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පමණ ආරක්ෂාවක් නොලැබී තිබෙන බැවින් ද, එබඳු බෞද්ධ විහාර හා දේවාලගම්වලට සෑහෙන පරිදි ආරක්ෂාවක් ලැබෙන ලෙස ඒ පිළිබඳ පාලන සංවිධාන ක්‍රමයක් සැලසීම යෝග්‍ය යැයි තීරණය කිරීමෙන් අනතුරුව නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් සහ අනුමතය පරිද්දෙන් 1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාල ගම් ආඥා පනත 1931ක් වූ ජුනි මස 26 වැනි දින දී ලංකා ආණ්ඩුකාරවරයා විසින් ගෙන එන ලදී.”මේ පනත හඳුන්වාදී මේ වනවිට වසර 91 කි.

මේ නව පනත සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුමගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ “අදාළ සංශෝධන අනුව මෙහිදී කාර්යයන් දෙකක් ඉදිරියෙදී සිදු කිරීමට නියමිතයි. ඉන් එකක් 1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත; මෙය අප රට නිදහස ලබා ගැනීමට ප්‍රථම ආඥා පනතක් ලෙස පැවත ආවක්. එය වසර 91 ඉක්ම ගොස් තිබුණත් වර්තමානයට ගැළපෙන ලෙස ප්‍රධාන කරුණු සංශෝධනය වී නැහැ. උදාහරණයක් ලෙස කොමසාරිස් තනතුර කොමසාරිස් ජනරාල් බවට පත් වීම; ඡන්දය ප්‍රකාශ කිරීමේදී බස්නායක නිලමේවරයා විමසීම ආදී ඉතා සුළු කාරණා පමණයි මෙහි වෙනස් වී තිබුණේ. නමුත් මෙය මෙහි වෙනස්කම් රාශියක් සිදු කරන පළමුවැනි අවස්ථාව. මෙමඟින් සිදු කරන ප්‍රධාන වෙනස් කමක් තමයි සිද්ධස්ථ­ානවලට අයත් දේපළ දවසින් දවස අහිමි වීම සඳහා නීතියක් හඳුන්වා දීම. උදාහරණයක් ලෙස විහාරවලට අයත් භූමිවල ජනතාව පදිංචි වීම, බදු නොගෙවා බලහත්කාරයෙන් අල්ලා ගැනීම වැනි කාරණා. ඒ සඳහා ‘සන්තකය ආපසු ලබා ගැනීමේ පනත’මෙමඟින් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී ශාසනික දේපළක් අනියමින් කිසියම් අයකු විසින් භුක්ති විඳිනවා නම් එය නැවත ශාසනික කටයුතු සඳහා පවරා ගැනීමේ බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට හිමි වෙනවා. මෙහිදී භුක්ති විඳින පාර්ශ්වයට උසාවිය මඟින් නඩු පවරා එහි අයිතිය ඔවුන්ට තහවුරු කළ හැකි නම් එය තමන් සතු කර ගැනීමේ හැකියාව ඇත. නමුත් එසේ ඔප්පු කළ නොහැකි අවස්ථාවක කිසිදු ඔප්පු කිරීමකින් තොරව ශාසනික දේපළක් බවට පත්වේ. එහිදී අවශ්‍ය නම් අදාළ පාර්ශ්වයට ඒ සඳහා නියම කරන බදු කොන්දේසියක් යටතේ තවදුරටත් එය භුක්ති විඳිය හැකි අතර එය නීතිමය වශයෙන් ශාසනික දේපළක් වේ. උදාහරණයක් ලෙස කිසියම් පවුලක් වසර ගණනාවක් තිස්සේ එවැනි සඟ සතු දේපළක් භුක්ති විඳී නම් ඔවුන්ට සාධාරණ බදු මුදලක් ගෙවා එය තවදුරටත් භුක්ති විඳිය හැකි බවයි”.

එසේම සමහර දඩ මුදල් යාවත්කාලීන වී නැත. උදාහරණයක් ලෙස ස්වාමීන් වහන්සේ නමක් හෝ සාමණේර ලේඛනයේ හෝ උපසම්පදා ලේඛනයේ නම නැතිව පෙනී සිටීමේ වරදකට වරදකරු වුවහොත් දඩ මුදල ලෙස අය කර ඇත්තේ රුපියල් 50කි. මෙම දඩ මුදල වර්තමානයට ගැළපෙන ආකාරයෙන් රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට මෙම පනතින් ප්‍රතිපාදන හිමි වේ. එසේම මෙතෙක් ස්වාමීන් වහන්සේ නමකට බැංකු තැන්පතුවක් ලෙස තබා ගැනීමට ඉඩ ලැබී තිබුණේ රුපියල් 500කි. නව සංශෝධනය අනුව එම මුදල වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කර ඇත.

එසේම 23 වන වගන්තිය ප්‍රකාරව ඕනෑම ස්වාමීන් වහන්සේ නමකට පෞද්ගලිකව යම් දේපළක් අත්පත් කර ගෙන පවත්වා ගෙන යා හැකිය. උදාහරණයක් ලෙස රජයේ කිසියම් රැකියාවක් කර ලබාගත් කිසියම් දේපළක මවුපියන් රඳවා ගෙන උපස්ථාන කරයි නම් ඔවුන් රැක බලා ගන්නා කිසියම් පාර්ශ්වයකට අපවත් වීමට ප්‍රථම පවරා දිය හැකිය. එසේම ඒ කටයුතු සඳහා වෙනම ගිණුමක් පවත්වා ගෙන යෑමටද අවස්ථාව හිමි වේ. නමුත් එසේ හිමිනමක් සතු පෞද්ගලික දේපළක් නීත්‍යනුකූලව කිසියම් පාර්ශ්වයකට පවරා නොදුන් අවස්ථාවක එහි හිමිකාරිත්වය ශාසනය සතු වේ. මේ ආදී බොහෝ කාරණා තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතින අතර සියලු පාර්ශ්ව වල එකඟතාව මත ඉදිරියේදී නෛතික පනතක් බවට පත්වීමට නියමිතය.

‍ෙථරවාදී භික්ෂු කතිකාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමද මේ පනත යටතේ සිදු වන වන අතර එමඟින් ලංකාවේ සියලු නිකායන්වලට අයත් විවිධ පාර්ශ්වවල ශාසන කතිකාවත් අනුව කටයුතු කිරීමට නෛතික බලය හිමි වේ. එවිට කිසියම් ගැටලුවක් පැන නැඟුණ අවස්ථාවක කතිකාවත් අනුව කටයුතු කළ බව අධිකරණය තුළ පෙන්වා දීමෙන් කතිකාවත් තීන්දුවම පිළිගැනීමට ලක් වේ. නීතියේ එසේ සඳහන් වුව ද චූදිත පාර්ශ්වය විසින් දෙපාර්ශ්වයට සමානව සලකා අපක්ෂපාතීව තීන්දුව ලබා නොදුන් බව ප්‍රකාශ කළ අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමේ හැකියාව ද පවතී. එසේ වුවත් එය කතිකාවත් අනුව සිදු කර ඇත්නම් බොහෝ විට එකී තීන්දුවම හිමි වේ. මින් චීවර වේශයෙන් පෙනී සිටිමින් විවිධ අකටයුතු කම් සිදු කරන පාර්ශ්වවලට තවදුරටත් එවැනි දෑ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වන අතර, ඔවුන් සඳහා නිකාය පාර්ශ්වවලට අයත් කතිකාවත් අනුව කටයුතු කිරීමට ද පූර්ණ නෛතික බලය හිමි වේ. එමඟින් ශාසනික විනය ආරක්ෂා කර ගැනීමට මහත් පිටිබලයක් ලැබේ.

මේවන විට දළ වශයෙන් පන්සල් 13,000ක් පමණ ඇති අතර, ලියාපදිංචි වී ඇති භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව දළවශයෙන් 40000 පමණ වේ.

නව ආඥා පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා විහාර පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් සිළුමිණට පවසා සිටියේ “විහාර දේවාල ගම් ආඥා පනත සංශෝධනය වීම වර්තමානයට ගැළපෙන ආකාරයට සකස් කළ යුතු බවත් එහි ගැටලුවක් නැති බවත්ය. නමුත් අද රටේ සාසනික අර්බුදයක් පමණක් නොවෙයි දේශපාලන ආර්ථික සංස්කෘතික මේ සෑම අංශයකම අර්බුදකාරී තත්ත්වයක් පවතිනවා. අප කවදාවත් නොදැකපු ආකාරයේ ව්‍යාකූල භාවයක් අද රට තුළ තිබෙනවා. එවැනි පසුබිමක් තුළ ශාසනය තුළ පවතින අර්බුද සමනය වෙයි කියල අපට හිතන්න බැහැ. පසුගිය ඉතිහාසය පුරාවටම අරන් බැලුවොත් දේශපාලනික වශයෙන් රට පිරිහුණා ම ශාසනය විතරක් නෙමෙයි ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා ආගමික වශයෙන් ඒ ඒ වකවානුවල රටේ පරිහානිමය තත්ත්ව ඇති වෙනවා. මේ සිදුවීම් නිවැරදිව තේරුම් නොගෙන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් හදිසියේ අණ පනත් ගෙන ඒම අප අනුමත කරන්නේ නැහැ. ඊට අපට එකඟ විය නොහැකියි. පවතින භික්ෂු කතිකාවත් අතර ලොකු ගැටලු ගොඩක් පවතිනවා. ඒ ඒ නිකායන් හා පාර්ශ්වවලින් වෙනම කතිකාවත් සම්මත කරගෙන තිබෙනවා. මේ කතිකාවත් පනතක් මඟින් සම්මත වුණාම අන්තර් කතිකාවත් වලින් පැන නඟින ගැටලු කවුද නිරාකරණය කරන්නේ. උදාහරණයක් ලෙස එක් නිකායක එක් පාර්ශ්වයකින් කියන්න පුළුවන් භික්ෂුවට දේශපාලනය කිරීම කැපයි කියලා. තව එකකින් එය අකැපයි කියන්න පුළුවන්. ඒ වගේම එක් පාර්ශ්වයකින් කියන්න පුළුවන් භික්ෂුවට වාහන බලපත්‍ර දීම සුදුසුයි කියලා. තවත් පාර්ශ්වයක් ඊට අකමැති වෙන්න පුළුවන්. මේ විදියට කතිකාවත් සම්මත වීම තුළින් අනවශ්‍ය ගැටලුවක් මේ හරහා නිර්මාණය විය හැකි බව බව” උන්වහන්සේ පෙන්වා දුන්හ.

ශ්‍රී කල්ාණි සාමග්‍රී සංඝ සභාවේ මහ ලේකම් අමන්දොළුවේ ධම්මරතන නාහිමියන් සිළුමිණ කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ “මෙය කාලීනව සිදුවිය යුතුව තිබූ කටයුත්තක්. මෙය ආවට ගියාට සිදු වූවක් නොවෙයි. විහාර දේවාල ගම් ආඥා පනත මුල සිට අගට දවස් ගණනාවක් කියෙව්වා. සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය යන ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් සැදුම් ලත් සංඝ සභා මඬුල්ලකින් මෙය සකස් කෙරුණේ. ඒ නිසා මේ තැනින් තැන කියවා කළ සංශෝධනයක් නොවෙයි. මේ සියලු පාර්ශ්ව එක්ව ගත් තීන්දු තීරණ අනුව තමයි මෙම පනත නිර්මාණය වුණේ. මීට ප්‍රථම සකස් වුණු පනත්වල තිබුණු වැරැද්ද; අපිත් එක්ක එකක් කතා කරලා වෙන එකක් පාර්ලිමේන්තුවට ගෙන ඒම. ඒ නිසා පසුගිය කාලයේ මේ පිළිබඳ සාකච්ඡා කළ හාමුදුරුවරු පවා ඊට විරුද්ධ වුණා. මෙවර එක එක අයගේ පෞද්ගලික අවශ්‍යතා මත වෙනත් මතිමතාන්තර මීට එකතු නොවෙයි කියා අප විශ්වාස කරනවා. ශාසනයට ඇතුළු වී ශාසන විරෝධී ක්‍රියා සිදු කරන අයට නීතිමය වශයෙන් දඬුවම් කිරීමේදී දුර්වලතාවක් තිබුණා. ඒ දුර්වලතාව ප්‍රයෝජනයට ගනිමින් අනවශ්‍ය පුද්ගයන් විවිධ දූෂිත ක්‍රියාවල නිරත වෙනවා. සමහරු පැවිදි වෙලා පැවිදි වේශයෙන්, වැරදි කරනවා. තවත් අය ගිහි පැවිදි වේශ දෙකෙන්ම ඉඳගෙන වැරදි කරනවා. මේ සඳහා සංඝ සභාවෙන් හෝ පොලිසියෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ. මානව හිමිකම්වලට බයේ ඊට නීතිමය කටයුතු කිරීමෙන් වැළකී සිටිනවා. ඒ නිසා ඔහු හෝ ඇය කිසියම් සංස්ථාවක් නියෝජනය කරනවා නම් එහි තිබෙන විනය නීති අනුව ක්‍රියා කළ යුතුයි. ඒ සහ ශක්තිමත් පසුබිමක් අවශ්‍ය වෙනවා. මේ පනත නිර්මාණය වුණේ ඒ අනුවයි. ඒත් පනත් සම්මත වෙලා ඒක නිකන් තිබුණොත් වැඩක් නැහැ. උදාහරණයක් ලෙස ලංකාවේ මත් කුඩු මත් පෙති වගේ අපරාධවල නිරත වන අයට දේපළ රාජ සන්තක කිරීම වැනි නීති අණ පනත් තිබුණට ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවගේ මේකත් නිකන් සම්මත කරල නිකන් හිටියොත් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ වඩා විධිමත් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන බව”උන්වහන්සේ අවධාරණය කළහ.

Comments