වරායේ හිර වුණු කිරිපිටි තොගය ගැන ඇත්ත නැත්ත මෙන්න | සිළුමිණ

වරායේ හිර වුණු කිරිපිටි තොගය ගැන ඇත්ත නැත්ත මෙන්න

මෙරටට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් සම්බන්ධව මේ වන විට යම් මතභේදකාරී තත්ත්වයක් උදා වී තිබේ. පෞද්ගලික කිරිපිටි සමාගමක් විසින් මෙලෙස ආනයනය කරන ලද බහාළුම් හයක ඇති කිරි පිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක තොගයක් ආනයන අපනයන රෙගුලාසි උල්ලංඝනය කරමින් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන අතර අදාළ පෞද්ගලික සමාගම පවසන්නේ රට තුළ කිරිපිටි හිඟයක් නිර්මාණය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් උත්සාහ දරමින් සිටින බවයි. 

මේ වන විට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දිනපතා පුවත් මවමින් තිබෙන මෙම කිරි පිටි ගැටලුව පිළිබඳ එම කිරිපිටි තොගය මෙරටට ආනයනය කළ පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය ගෙන් අපි ඒ සම්බන්ධව විමසීම් කළෙමු. කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු ද වන ආචාර්ය වීරසූරිය තම සමාගම හා තවත් සමාගමක් විසින් ආනයනය කළ කිරි පිටි කිලෝග්‍රෑම් ලක්ෂ 04ක තොගයක් සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බව හෙළි කළේය.

"ආනයනය කරපු කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් වරායේ හිර වෙලා. මේ කිරි පිටි අවු රශ්මිය නොමැති ස්ථානයක ගබඩා කළ යුතු වුණත් රේගුව කියනවා ඒ සඳහා ඔවුන්ට පහසුකම් නෑ කියලා. කොහොම වුණත් මේ කිරි පිටි දැන් කල් ඉකුත් වීමට ද ළඟයි. දැන් ඒ කිරි පිටි කුකුල් කෑම සඳහා වෙන්දේසි කරන්න යන්නේ. මේ කිරි පිටි තොගය රැගත් නැව වරායට ආවේ ඔක්තෝබර් 20. කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපි මේකට අනුමැතිය ඉල්ලලා තියෙන්නේ ඔක්තෝබර් 05 වැනිදා. කර්මාන්ත අමාත්‍යාංශය එම ලිපිය ඔක්තෝබර් 19 වැනිදා ආනයන පාලකවරියට යොමු කරලා. එතුමිය මේක තියාගෙන හිටියා දවස් 35ක් එතුමියගේ කාර්යාලයේ. එහෙම කරලා නොවැම්බර් මාසේ 15 වැනිදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවනවා ලිපියක් මේක 'favourably considered' කියලා.

අවාසනාවන්තම කාරණේ තමයි රේගු නිලධාරීන්ට මේකේ ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු. කිරි පිටි තොගය අපිට දෙන්න කියලත් නෑ; නොදෙන්න කියලත් නෑ කියන අදහසලු ආනයන අපනයන පාලකවරියගේ සඳහන තුළ තියෙන්නේ.

අපි ආනයනය කරපු මේ කිරි පිටි තොගය අපට නිදහස් නොකර මේ විදියට හිර කරන කොට අපි කිවුවා මේ කිරිපිටි රටට අවශ්‍ය නැතිනම් මේක ප්‍රති නැව්ගත කරන්න අපිට දෙන්න කියලා. මොකද ඉන්දුනීසියාව, වියට්නාමය ඉල්ලලා තියෙනවා මේ කිරි ටික ඒ අයට එවන්න කියලා. ඒත් ඒක කරන්න දෙන්නෙත් නෑ. මේ අයට ඕනේ මේක මෙතන තියලා නරක් වුණාම සත්ත්ව ආහාර විදියට හෝ ජාවාරම්කරුවන්ට හෝ විකුණලා දඩ මුදලෙන් කොටසක් ගන්න. එහෙම නැත්නම් පගාව ගන්න."

වැඩිදුරටත් සිය අදහස් දැක්වීම සිදු කළ ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මෙම කිරිපිටි තොගය ආනයනය කිරීම නිසා තම සමාගමට මිලියන 600ක අති දැවැන්ත පාඩුවක් සිදු වී ඇති බව ද සඳහන් කළේය.

මේ අතර මතබේදාත්මක කිරි පිටි තොගය මෙරටට ගෙන්වූ පෞද්ගලික සමාගමේ ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය චෝදනා එල්ල කරන ප්‍රධානතම පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්ධව ප්‍රකාශ කරන අදහස් පිළිබඳව දැන ගැනීම සදහා ශ්‍රී ලංකා රේගුවේ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වාගෙන් ද අපි කරුණු විමසුවෙමු. එහිදී රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා "සිළුමිණ"ට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ ආනයනවල නීත්‍යනුකූලභාවය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එම විමර්ශනයේ පියවරක් ලෙස කිරිපිටි වශයෙන් රේගුවට ප්‍රකාශ කළ බහලුම් 6ක් වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගත් බව සඳහන් කළ ඔහු මෙම රේගු විමර්ශනයට හා රේගු පරීක්ෂණයට බලපෑම් කිරීමේ අරමුණින් ලක්ෂ්මන් වීරසූරිය විසින් මාධ්‍ය සාකච්ඡා පවත්වා ශ්‍රී ලංකා රේගුවට සහ රේගු නිලධාරීන්ට සාක්ෂි විරහිත හා පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළ බවත් ශ්‍රී ලංකා රේගුව විසින් එම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළේය.

ආනයන අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක ද ඇයගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වීම සිදු කළ අතර එහිදී ඇය සඳහන් කර සිටියේ මතභේදයට තුඩුදී ඇති රේගුව විසින් සිය භාරයේ තබා ගෙන සිටින කිරි පිටි තොගය නිදහස් කර ගැනීම සඳහා අවසර ලබා දීමට තමන්ට කිසිදු හැකියාවක් නැති බවයි.

කිරි පිටි ගෙන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමි වූ බලපත්‍රය යටතේ අදාළ ආනයනකරු විසින් මෙරටට ආනයනය කර ඇත්තේ කිරි පිටි නොව කිරි පිටි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය බව ද අනාවරණය කළ ඇය එම අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමෙන් පසුව එම තොග නිදහස් කරගැනීම සඳහා ආනයනකරු විසින් අනුමැතිය අපේක්ෂා කළද නීතියට පටහැණි ආකාරයෙන් ආනයනය කළ එම තොග නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බව තමන් අදාළ සමාගම වෙත දැනුම් දුන් බව ද ප්‍රකාශ කළා ය.

කිරි පිටි ආනයනය කළ සමාගම හා ශ්‍රී ලංකා රේගුව දක්වන කරුණු දැක්වීම් අනුව මෙරටට ගෙන් වූ මෙම කිරිපිටි තොගය සම්බන්ධ මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වත්දී රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ සම්බන්ධව අදහස් දැක්වීම සිදු කරන මුදල් අමාත්‍යාංශයේ නිල නිවේදනය පසුගිය නොවැම්බර් මස 29 වැනි දින පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලදී. එහිදී මෙම කිරි පිටි තොගය සම්බන්ධව වන රජයේ ස්ථාවරය පැහැදිලි කළ අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ ආනයන අපනයන පාලක වෙත ඉදිරිපත් කර ඇති ලිපි, ලේඛන අනුව මෙම කිරි පිටි තොගය කිරි පිටි වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හේතුවක් නොවන අතර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය අනුව ඒවා චොකලට් සහ කිරි තේ නිපදවීමට ආනයනය කළ අමුද්‍රව්‍ය බව තහවුරු වී ඇති බවයි. ඒ අනුව රේගුවේ රඳවා ඇති ප්‍රශ්න ගත කිරි පිටි බහලුම් හය ආනයන අපනයන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

තව ද ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට රේගු නිලධාරීන් කඩිනමින් පියවර ගන්නා බව ද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ රජය මේ වන විට කිසිදු ලෙසකින් හෝ කිරිපිටි ආනයනය කිරීම සීමා කර නැති බැවින් වෙළෙඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිඟයක් ඇති වීමේ අවදානමක් ද නොමැති බවයි.

Comments