ලග්ගල පතලකින් නිල් මැණිකක් පන්නන්න හැදු හොර එස්.එස්.පී. කාංචන ආරියදාස | සිළුමිණ

ලග්ගල පතලකින් නිල් මැණිකක් පන්නන්න හැදු හොර එස්.එස්.පී. කාංචන ආරියදාස

වවුනියාව දිසාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට මෙරට ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරිගේ නියෝජිතයකු ලග්ගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය 22දා රාත්‍රියේය. ටෙලිනාට්‍ය කිහිපයකම පොලිස් චරිත 'සඳහා පෙනී සිටින' මිනුවන්ගැටේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි සහාය ටෙලිනාට්‍ය නළුවෙකු මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සිදු කරන ලද විමර්ශනවලදීය.

මෙම පුද්ගලයා සතුව තිබූ පතලකින් සොරකම් කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනෙන්නේ පොලිසිය සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

ලග්ගල, දේවාලදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් සමඟ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිළියක පතල් කැණීම් සඳහා ගිවිසුම් අත්සන් කොට ටෙලි නිළියගේ නියෝජිතයා ලෙස පතල බලා ගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ සිටි බවත් මාස ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ සියලු දෙනා හමුවේ ඔහු හැසිරී ඇත්තේ තමන් වවුනියාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් සහ හඟවමිනි.

නිළිය මංජුලා සමඟ පතල් ගිවිසුම් අත්සන් කොට පතලේ වැඩ කටයුතු ක්‍රියාත්මක කළ කාන්තාව ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා ඇත්තේ මේ පුද්ගලයා අදාළ පතලෙන් ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යෑමට උත්සාහ කරන බව සහ තමන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බව ප්‍රකාශ කරමින් ඇයට තර්ජනය කරන බවකි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ලග්ගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර පොලිස් කණ්ඩායමක් සමඟ දේවාලදෙණිය ප්‍රදේශයට ගොස් සැකකරු, මැණික් ගල සහ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගන්නේ ඉදිරි විමර්ශන සඳහාය.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දි හෙළි වී ඇත්තේ අදාළ ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සමඟ ඇති හිතවත්කම් මත මෙම පතල බලා ගැනීම ඔහුට පවරා ඇති බවකි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙරද පතලක ආරවුලක් මත පොලිසියට කැඳවා ප්‍රශ්න කැරුණු අයකු බවද හෙළි විය. එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාව පවා තමා වවුනියාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රකාශ කරමින් පොලිසිය නොමඟ යවා තිබු බවද විමර්ශනවලදී හෙළි විය.

එමෙන්ම එම පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ රථවාහන රාජකාරිවල නිරතව සිටින පොලිස් නිලධාරින්ට තමන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයකු බව පවසා රථවාහන වැරදිකරුවන් පවා නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිට ඇතැයිද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන අවස්ථාවේ දී හෙළි වී ඇත්තේ ඔහු මීට පෙර පොලිස් නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිට විවිධ අපරාධවලට සම්බන්ධව වාරියපොළ පොලිසියේ සහ කුරුණෑගල පොලිසියේ ඔහුට විරුද්ධව පැමිණිලි සහ අධිකරණවල නඩු ක්‍රියාත්මක වන බවය. සැකකරු ‍ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක සමඟ ටෙලිනාට්‍ය කීපයකම පොලිස් නිලධාරියකුගේ චරිත රඟපා තිබෙන බව පොලිසිය කියයි.

ලග්ගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සහ අදාළ ටෙලිනාට්‍ය නිළියගේ පතල අසල සැකකරු රැඳී සිට ඇති අතර එම නිළියගේ තවත් කණ්ඩායමක් එහි මේ වන විටත් රැඳී සිටින බව පොලිසිය කියයි.

ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අදාළ ටෙලිනාට්‍ය නිළිය සහ ඇයගේ සැමියාට ලග්ගල පොලිසියේ පෙනී සිටින ලෙස දන්වා යවා තිබෙන බව ලග්ගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු මෝටර් රථය හා නිල් මැණික් ගල ලග්ගල පොලිසිය මඟින් නාඋල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. ලග්ගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති. මේ පිළිබඳව මංජුලා කුමාරිගෙන් විමසීම සඳහා අවස්ථා ගණනාවක් අප උත්සාහ කළ ද ඇයගේ දුරකතනය විසන්ධි කොට තිබිණි.

 

Comments