මෝටර් බයිසිකල් උස්සා දහදාහට විකුණලා | සිළුමිණ

මෝටර් බයිසිකල් උස්සා දහදාහට විකුණලා

 

‘‘සර් අලුත්ම අලුත් බයිසිකලේ රුපියල් තුන්ලක්ෂ හැත්තැපන්දාහක් විතර වෙනවා... අරගෙන වැඩි දවසක් නෑ... ගේ ළඟ නතර කරලා තිබුණේ... බලනකොට බසිසිකලේ නෑ... හොරකම් කරලා යතුරු දාලා ලොක් කරලා තිබුණේ...“ මේ ලෙසට පොලිසියට එන පැමිණිලි ගණන දිනපතා ඉහළ යන බව වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයා දුටුවේය. ඒ මෝටර් බයිසිකල් සොරකම් ගැනය.

ඒ අනුව වැල්ලවාය පොලිස් ස්ථානයට වරින්වර එන මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමසුමකදී ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරට දැනගත හැකි වූයේ සති දෙක තුනක් ඇතුළත යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් පැමිණිලි අටක් පමණ පොලිසියට ලැබී ඇති බවය.

එහි ආසන්නම සිදුවීම වූයේ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිණියකගේ පියෙකුගේ යතුරුපැදියක්ද මෙසේ අතුරුදන් වීමයි. මෙම යතුරුපැදි සොරාගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් සොයා ගැනීමට උත්සාහ කළද එක්වරම සාක්ෂියක් හෝ හඳුනා ගැනීමට පුද්ගලයෙකු නොමැති වීම හේතුවෙන් යටපත්වී තිබු මෙම යතුරුපැදි සොරකම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වන්නේ මේ සම්බන්ධයෙන් මොනරාගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරට කළ දැනුම් දීමකට අනුවය.

ඒ අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම සොරකම් ජාලයේ සුල මුල සොයා ගැනීම සඳහා යෙදවීමට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර කටයුතු කෙළේය.

“ඒ තාත්තාගේ යතුරුපැදිය වගේ එකක් පැදගෙන යන දර්ශනයක් අහම්බෙන් අපිට හමුවුණා. ඒ සීසීටීවී දර්ශන විමර්ශනය කිරීමේදී වැදගත් තොරතුරු රැසක් අපිට සොයා ගන්න පුළුවන් වුණා“ යැයි ස්ථානාධිපති බණ්ඩාර මහතා පොලිසිය මේ ගැන තොරතුරු සොයා ගත් හැටි විස්තර කෙළේ එලෙසිනි.

ඒ අනුව මෙම සොරකම් සිදුවූ ස්ථාන ආශ්‍රිතව සීසීටීවී දර්ශන සොයා පරීක්ෂාවට ලක් කිරීමේදී යතුරුපැදියක් සොරකම් කළ පුද්ගලයෙකු එය ධාවනය කරන ආකාරය දර්ශනයක් දක්නට ලැබිණි. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට සැලසුම් කෙළේ වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුවය.

තම නිලධාරින් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් මෙම දර්ශනවල සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කරන පොලිස් කණ්ඩායම ඒ මීට පෙර යතුරුපැදි හතක් සොරකම් කර රක්ෂිත බන්ධනාගාර ගතව සිට මේ වන විට ඇප මත නිදහස් වී සිටින අයෙකු බව තහවුරු කරගන්නේ සමීප ජයාරූප ලබා ගැනිමෙන් පසුවය.

මෙහිදී පොලිසිය අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මේ සොරකම සිදු කරන එක් අයෙකු පිටගම්කාරයෙකි. මේ සියලු සොරකම්වල සැලසුම සකස් කරන්නේ පාණදුර ප්‍රදේශයේ අයෙකුය. කාත් කවුරුවත් නොමැති අයෙකු වන ඔහු වැල්ලවායට පැමිණ ඇත්තේ කලකට පෙරය.

යතුරුපැදි සොරා ගන්නේ තවත් අයෙකි. දෙදෙනාම වයස අවුරුදු 24-28 වයස්වල පසුවන්නෝය.

එම සැකකරු ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි බස් රථ රියදුරෙකි. සොරකම් කර විත් රැගෙන එන යතුරුපැදිවල අගුළු ගලවන්නේ ඇතිලිවැව පිහිටි ගරාජයකදීය.

මෙම සොරකම කලක සිට සිදුකර ඇත්තේ සූක්ෂ්මවය. කරදරයක් නොමැතිව මෝටර් බයිසිකල් සොරකම් කළ හැකි ස්ථානවලදී මෙලෙස යතුරුපැදි සොරාගන්නා සැකකරුවන් ඇතිලිවැව පිහිටි ගරාජයේදී අගුලු ගලවා වෙනත් අගුලු දමා අඩු මුදලට විකිණීම සිදුකර තිබේ.

සැක දෙදෙනා අත්අඩංගු අවට ගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මේ යතුරුපැදි සොරකම් කර විකිණු ස්ථාන සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවන අතර ඒ අනුව සොරකම් කර මුදලට විකුණා තිබු යතුරුපැදි සොයා ගන්නේ අම්බලන්තොට, කුඩාඔය, මොනරාගල වෙහෙරයාය, ඇතිලිවැව ඇතුළු ප්‍රදේශ කීපයකිනි.

සැකකාර පුද්ගලයන් දෙදෙනා මේ මෝටර් බයිසිකල් විකුණා ඇත්තේ රුපියල් 10000-15000ත් අතර අඩු මුදලකටය. මොවුන් විසින් පැහැර ගත් යතුරුපැදි අතර සති කිහිපයකට පෙර රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දාහක මුදලකට මිලදී ගත් අලුත්ම යතුරුපැදි දෙකක්ද තිබී හමුවූ බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

කලක සිට සූක්ෂ්මව සිදුකළ තවත් ජවාරමක සුල මුල වැල්ලවාය පොලිසිය සොයා ගත්තේ ඒ ආකාරයටය.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි, සැරයන්වරුන් වන සම්පත් (37979), ගුණසිරි (41973), කොස්තාපල් ලලිත් (70026), සමන්ත (70026), රණසිංහ (1509), කොස්තාපල් රියැදුරු බණ්ඩාර (80850) යන නිලධාරිහු සිදු කළහ.

Comments