මහවෙල පෝර උරේ කතගේ මාරයා කොටු වේ | සිළුමිණ

මහවෙල පෝර උරේ කතගේ මාරයා කොටු වේ

අසරණ අහිංසක කාන්තාවන් ඝාතනය කර සිරුරු ගෝණිවල බහා තැන තැන දමා යාමේ සිදුවීම් කීපයක් පසුගිය කාලයේ වාර්තා විය. මරදානේ නවාතැන්පොළකදී කාන්තාවක ඝාතනය කර සිරුර විශාල ගමන් බෑගයක දමා තිබුණු අයුරුත් පිටකොටුව වේල්ල වීදියේදී හිස සුන් කතකගේ සිරුරක් ගමන් බෑගයක තිබී සොයා ගත් අයුරුත් මෙරට ජනතාවට තවමත් අමතක නැත්තේ ඒ සිදුවීම් සමාජයේ දැඩි කතාබහට ලක්වීම නිසාය. එවැනිම සිදුවීමක් මාතලේ දිසාවේ මහවෙල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

පොලොස් ගෙඩියක් කඩන්නට ගිය 55 හැවිරිදි කාන්තාවක ඝාතනය කර ඇගේ සිරුර ගෝණියක බහා තිබියදී සොයා ගැනීමට හැකි වූයේ පසුගිය 27 වැනිදාය. මහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පොල් වත්තක තිබී මේ කතගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය පෝර උරයක බහා තිබූ බව මහවෙල පොලිසිය සඳහන් කළේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ 55 හැවිරිදි ආර්. පී. රත්නාවතී නමැති කාන්තාවය. ඇය මහවෙල පල්ලෙපොළ, මානින්ගමුවේ පදිංචිකාරියකි.

මේ සිද්ධිය ආරංචි වීමත් සමඟ මානින්ගමුව ගම්වාසීන් රත්නාවතී මාතාවගේ මළ සිරුර තිබුණු පොල් වත්තට පැමිණෙන්නට පටන්ගෙන තිබුණේ වැල නොකැඩීය. මේ සිද්ධියෙන් ප්‍රදේශවාසීන් කම්පාවට පත්ව සිටි අතර මෙවැනි අපරාධයක් මතක ඇති කාලයක එම ප්‍රදේශයේ සිදු වී නැති බව ඔවුන්ගේ අදහස විය.

රත්නාවතී මාතාවගේ මළ සිරුර තිබූ පොල් වත්ත නීතිඥවරයකුට අයත් එකකි.

ඇයට මේ අපරාධය සිදු කළේ කවුද? ප්‍රදේශවාසීන් මෙන්ම පොලිසියද පිළිතුරු සොයන ප්‍රධාන ප්‍රශ්නය එයයි. ආර්. පී. රත්නාවතී අවිවාහකය. ඇය මානින්ගමුව ප්‍රදේශයේ පොල් වත්තක් බලා කියා ගන්නේ කලක සිටය.

26 දා සවසද රත්නාවතී මාතාව මේ පොල් වත්තේ 'කරක්' ගැසුවාය. ඉන් අනතුරුව ඇය පොලොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා යමින් සිටියදී මෙසේ ඝාතනය වී ඇති බවට සැක කෙරේ.

රත්නාවතී මාතාවගේ සහෝදරයකු වන ආර්. පී. ගයාන් වික්‍රමපාලද පොලිසියට මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දී ඇත.

රත්නාවතී මාතාව 26 රාත්‍රියේ සිය නිවෙසට නොපැමිණීම නිසා ප්‍රදේශවාසීන් ඇය සෙවීම සඳහා එම ප්‍රදේශය පරීක්ෂා කර ඇත. එහෙත් පැය කීපයක් යනතුරු ඇය සොයා ගැනීමට නොහැකි වූ තැන ප්‍රදේශවාසීන් කණ්ඩායම් කීපයකට බෙදී ප්‍රදේශයේ සෙසු පොල් වතු සහ කැලබද ස්ථාන සෝදිසි කර ඇත.

එහිදී නීතිඥවරයකුට අයත් බව කියන අදාළ පොල් වත්තේ පොහොර උරයක බහා තිබුණු ඇගේ නිරුවත් සිරුර සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි විය.

අදාළ ස්ථානයේ තිබුණු කාන්තා ඇඳුම් සහ දුම්වැටි පැකට්ටුවක කොටස් ඇතුළු භාණ්ඩ කීපයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න ඇතුළු කණ්ඩායම් දෙකක් විමර්ශන සඳහා රත්නාවතී මාතාවගේ සිරුර තිබුණු පොල් වත්තට පැමිණෙන්නේ මාතලේ දිසාවේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධරයන්ගේ උපදෙස් අනුවය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නාවුල මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කැරිණි. අනතුරුව මාතලේ කොට්ඨාස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත මහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාතලේ අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධරයෝ මෙන්ම නිල සුනඛයන්ද ගෙන්වා රත්නාවතී මාතාවගේ සිරුර තිබුණු ස්ථානයෙහි පැමිණ වැඩිදුර විමර්ශන සිදු කළහ.

රත්නාවතී මාතාව ආගමික කටයුතුවලට ළැදි ජීවිතයක් ගත කළ බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. ඇය ගමේ කා සමඟත් හිතවත්ය. ගමේ හැම දෙනාගේම සිත් ගත් 'චරිතයකි'.

රත්නාවතී මාතාවගේ ඝාතනය ගැන තොරතුරු සොයන පොලිසිය ඇය 26 දා පොල් වත්තට ගමන් කළ අවස්ථාවේදී හමු වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ද ප්‍රශ්න කර ඇත. එම දෙදෙනාගෙන් ලබා ගත් තොරතුරුවලට අනුව තවත් පුද්ගලයකු ගැන තොරතුරු හෙළිකර ගෙන ඇති අතර ඔහු සොයා මේ වන විට විමර්ශන ආරම්භ කෙරිණි.

මේ අතර රත්නාවතී මාතාවගේ ඝාතනය සිදුකළ බවට සැකපිට මොරගොල්ලාගම, කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේ විමර්ශන සිදුකළ මහවෙල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි. පසුගිය 28 වැනිදා සවස් යාමයේ එකී සැකකරු අත්අඩංගුවට ගැනුණේ කැකිරාව ප්‍රදේශයේ සිටියදීය. සැකකරු කැකිරාව ප්‍ර දේශයේ සිට මානින්ගමුව ප්‍රදේශයට පැමිණ එහි නවාතැන් ගෙන කුලී වැඩවල යෙදී සිටි තැනැත්තෙකි.

සැකකරු පසුගිය 29 වැනිදා නාඋල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර මහවෙල පොලිසිය සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටියේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමටයි. මාතලේ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත මහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

Comments