මඳසරු බව නැති කර දරුවන් දෙන වෙදැදුරු දයානි | Page 2 | සිළුමිණ

මඳසරු බව නැති කර දරුවන් දෙන වෙදැදුරු දයානි

 

සීමෙවර ඉසිවර අරණ හා එක් වන්නේ කාන්තා රෝග පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරියකි. කොළඹ ආයුර්වේද මහ රෝහලේ ප්‍රසව හා නාරි කාන්තා රෝග ඒකකය ආරම්භ කරන්නේ ද ඇයගේ මූලිකත්වයෙනි. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ආයුර්වේද අංශයේ පශ්චාද් උපාධිය සහ ආචාර්ය උපාධිය ලබා ඇති දැනට ලංකාවේ සිටින එකම කාන්තාව ඇය ය. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ කථිකාචාර්යවරිය ලෙස 1985 සිට 2022 දී ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරියක ලෙස විශ්‍රාම යනතුරු වසර 37ක් සේවය කළ ඇය කණ්ඩායම් තිස් හතකට කාන්තා රෝග සම්බන්ධයෙන් ගුරුහරුකම් ලබා දී ඇත. ඇය නමින් සිරිවර්ධන ආරච්චිගේ දයානි සිරිවර්ධන ය. මේ වනවිට ඔසුකි රෝහලේ මුල් පුටුව හොබවමින් සියලු කාන්තා රෝග සඳහා ප්‍රතිකාර කරන්නීය.

බී.ඒ මුතු මැණිකේ සහ ඒ.ඒ සිරිවර්ධන යුවළට දාව 1957 මැයි 04 වැනිදා කුලියාපිටිය ග්‍රාමයේදී ඇය මෙලොව එළිය දුටුවාය. සිය දෙවැනි දියණියට සිරිවර්ධන ආරච්චිගේ දයානි යැයි ඔවුහු නම් තැබූහ. පියා පාඨශාලා පරීක්ෂකවරයකු වශයෙන් සේවය කළ නිසා වරින් වර පාසල් බොහෝමයක අධ්‍යාපනය ලැබීමට දයානිටත් ඇගේ වැඩිමහල් සොහොයුරියටත් සිදු විය. දයානිට වයස අවුරුදු දාහතරක් වන විට පවුලට තවත් සාමාජිකයකු එකතු වූ අතර මවුපියන් ප්‍රාර්ථනා කළ පරිදිම ඒ දරුවා පිරිමි දරුවකු විය. ඒ වන විට ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇය වෛද්‍ය වෘත්තියට තිබූ ආසාව නිසාම කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනයට බැඳී අධ්‍යාපනයේ නිරත වූවාය. එවක දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඩී. එම්.ආර්. බී දිසානායක විසින් නවක සිසුන් පිළිගනිමින් කළ කතාව ඇයගේ සිතට නව පණක් එක් කළාය. ආයුර්වේදය යනු කුමක් දැයි කිසිවක් නොදැන සිටි ඇයට මෙම දේශනය ඊට අත්පොත් තැබීමක් බඳු විය. එම දේශනයේදී අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ මෙම විභාගයෙන් ඉහළින්ම සමත් වන්නාට එහි ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි වන බවයි. ආසාව නිසා පැමිණි මේ ගමනේ කිසියම් කඩඉමක් ලෙස ඇය දුටුවේ ආචාර්යවරියක වීමේ සිහිනයයි. ඇය මහත් කැපවීමෙන් අධ්‍යයන කටයුතුවල නිරත විය. මෙම කැපවීම කෙතරම් වීද යත් ඇය වසර පහේදීම කණ්ඩායමේ පළමු වැනියා වූවාය.

අනතුරුව පරිවාස පුහුණව සඳහා අනුරාධපුර ආයුර්වේද මහ රෝහලට ඇතුළත් වූ දයානි, මාස තුනකට පමණ පසුව කොළඹ ආයුර්වේද මහ රෝහලට පැමිණියාය. එහි මාස නවයක් පමණ සේවය කරන ඇය එහිදී විවිධ පර්යේෂණ කටයුතුවලට දායක වූවාය. අනතුරුව ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ එවක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී.සී මහතන්තිල විසින් ඕ ඖෂධීය පැළෑටි පිළිබඳ ඉගැන් වීම සඳහා ද්‍රව්‍ය අංශයට ආචාර්යවරිය ලෙස බඳවා ගත්තේය. 1929 දී ස්වදේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ලෙස පිහිටු වූ මෙම වෛද්‍ය විද්‍යායතන ඉතිහාසයේ වසර හැටකට පසුව පැමිණි ප්‍රථම ආයුර්වේද වෛද්‍යාචාරිනිය වූයේ දයානි සිරිවර්ධනය. බොහෝ ආසාවෙන් පැළෑටි පිළිබඳ විද්‍යාර්ථීන් දැනුම්වත් කරමින් ඉතා සතුටින් ඇය එහි කාලය ගත කළාය.

ඔය අතරතුර කාන්තා රෝග සඳහා වෛද්‍යවරියක නැති අඩුව මහ ආයුර්වේද රෝහලට තදින් දැනෙන්නට පටන් ගෙන තිබුණි. ඒ වෛද්‍යාචාර්ය දයානි පශ්චාද් උපාධිය සඳහා යොමු වීමට තීරණය කළ කාලයයි.

බරණැස විශ්වවිද්‍යාලයේ කාන්තා රෝග අංශය සඳහා කාන්තාවන් පමණක් බඳවාගැනීම හේතුවෙන් ඒ සඳහා යැවීමට ආයතනය තුළ වෙනත් කාන්තා වෛද්‍යවරියක නොවූයෙන් තම කැමැත්ත, අකමැත්ත ගැන නොසිතා ඒ ගමන යෑම දයානිට අනිවාර්ය විය. ඒ වන විට ඈ කථිකාචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක සමඟ අතිනත ගෙන සිටියාය. පශ්චාත් උපාධිය සඳහා අධ්‍යක්ෂ මහතන්තිල විසින් ඔහු ශල්‍ය වෛද්‍ය අංශයට යොමු කළේය.

දයානි කාන්තා රෝග පිළිබඳ පශ්චාද් උපාධිය සඳහා ඉන්දියාවේ බරණැස විශ්වවිද්‍යාලය බලා පිටත්ව ගියාය. මේ ගමන ඇගේ දිවියේ ඉරණම තීරණය කරනු ඇතැයි ඇය සිහිනයකුදු නොසිතුවාය. එහි අධ්‍යයන කාලය වසර තුනක් විය. ඇගේ මහාචාර්යවරිය වූයේ ලෝක ප්‍රකට කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ පී.වී තිවාරි ය. ඇය සිය ජීවිතයම විද්‍යාර්ථීන්ට අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් කැප කළ තැනැත්තියක වූවාය. ඇය යටතේ අධ්‍යයන කටයුතුවල නිරතවීමට දයානි මහත් ආශාවක් දැක්වූවාය. ඒ ඇගේ කරුණාවන්ත බව හා ඉගැන්වීමේදී දැක්වූ සූරත්වය නිසාය. එහි ආයුර්වේද අධ්‍යාපනය ලංකාවේ ආයුර්වේද අධ්‍යාපනයට වඩා බෙහෙවින් වෙනස් විය. ඒ පිළිබඳ වෛද්‍ය දයානි සිරිවර්ධන මෙලෙස අදහස් දැක්වූවාය.

“වඩාත් උසස් විද්‍යාත්මක ප්‍රතිකර්ම ක්‍රම තිබෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ. ඒක මම එහිදී අත්දැක්කා. විශේෂයෙන්ම ශල්‍යකර්ම සිදු කිරීම සඳහා ශල්‍යාගාර භාවිතය ඉතාම දියුණු යුරෝපීය රටක සිදු කරන ආකාරයෙන්ම සිදු කෙරෙනවා. ඉන්දියාව ප්‍රතිකාර සඳහා මූලිකවම යොදා ගන්නේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයයි. එහි සෑම රෝහලකම ආයුර්වේද වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. අපි තාම ඉන්නේ ඒ අතින් ඉතාම පසුගාමී අදහස්වල. ඉන්දියාවේ බටහිර වෛද්‍ය විද්‍යාවට සලකන සැලකිල්ලට වඩා සැලකිල්ලක් ආයුර්වේදයට දක්වනවා. 1990දී මම පශ්චාද් උපාධිය හමාර කර ලංකාවට පැමිණීමත් සමඟ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස උසස් වීමක් ලැබුවා. ඒ ඇවිත් මගේ දැනුමත් එක්ක මොකක්ද කරන්න පුළුවන් කියලා බැලුවා. මෙහේ තත්ත්වය අහසට පොළොව වගේ. මට මේ තියෙන පහසුකම් එක්ක කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා කළ යුතු දේ පිළිබඳ කල්පනා කරමින් මම වසර දෙකක් පමණ ළමයින්ට උගන්වමින් කාලය ගත කළා. මා තීරණය කළා ආචාර්ය උපාධිය කරන්න ඒ අනුව සප්තවාර්ෂික නිවාඩු ගෙන 1996දී පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයකට ඉල්ලුම් කළා. එය උසස් ලෙස සමත් වීමත් සමඟ මට ශිෂ්‍යත්වය හිමි වුණා.

1997 වසරේ මම ඒ සඳහා පිටත්ව ගියා. මට හිමි වුණේ ගුජරාට් විශ්වවිද්‍යාලය. බරණැස වෛද්‍ය පීඨයක් වුණාට එය මුළුමනින්ම විශ්වවිද්‍යාලයක්. එය ලොව පළමු වැනි ආයුර්වේද විශ්වවිද්‍යාලය. මා බරණැසදී ලබපු දැනුම ගුජරාට් හිදී ආචාර්ය උපාධිය සඳහා යොදා ගත්තා. එහිදී ගර්භාශය හරහා ඖෂධ ඩිම්බකෝෂවලට යවන ආකාරය, ගර්භාශයේ හටගෙන ඇති ගෙඩි දිය කිරීම වැනි ගර්භාශයේ හටගන්නා රෝගී තත්ත්වයන් ශල්‍යකර්ම නොකර සුව කරන්න ප්‍රායෝගිකව ඉගෙන ගත්තා වගේම මඳසරුභාවයට ප්‍රතිකාර කරන ආකාරයත් මා එහිදී ඉගෙන ගත්තා. ශුක්‍රවස්ති ක්‍රමය ඇලපතිවලට කලින් ආයුර්වේදය මඟින් තමයි ආරම්භ කර තිබුණේ. අදින් වසර 5000කට පමණ පෙර ලියවී ඇති බවට සැලකෙන ආයුර්වේද මූල ග්‍රන්ථ ත්‍රිත්වයෙන් දෙවැන්න වූ ‘සුශ්‍රැත සංහිතා’ වේ මේ ප්‍රතිකාර ගැන සඳහන් කර තිබෙනවා. එම කෘතිය ශල්‍ය වෛද්‍ය ක්‍රමයේ පියා ලෙසයි සැලකෙන්නේ. කාය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ පියා ලෙස සැලකෙන්නේ ‘චරක සංහිතාව’ යි. මේ දෙකේ එකතුවක් ලෙස අද ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විශාල දියුණුවක් අත්කරගෙන ලෝ ප්‍රකට වී තිබෙනවා. මා මේ වෛද්‍ය ක්‍රමදෙකේම ආභාසය ලැබූ නිසා ඉතාම සාර්ථකව ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

2000දී මා ලංකාවට ආවාම මා ලබපු පුහුණුව සමඟ මගේ ප්‍රතිකාර කටයුතු සිදු කරන්න ඒ සඳහාම විශේෂිත නූතන උපකරණවලින් යුතු ශල්‍යාගාරයක් අවශ්‍ය වුණා. මොකද මේ ප්‍රතිකාර ක්‍රමය ජීවිතයත් මරණයත් අතර කරන සටනක් පොඩ්ඩ ගැස්සුණොත් ඔක්කොම ඉවරයි.”

රාජගිරිය ආයුර්වේද මහ රෝහලේ කාන්තා රෝග සායනය සහ ශල්‍යාගාර ඒකකයක් ස්ථාපිත වන්නේ ඇයගේ මඟපෙන්වීම අනුවය. ආයුර්වේද මහ රෝහලේ ස්ත්‍රී රෝග සහ දරු ප්‍රසූතිය වෙනුවෙන් සායනයක් ද ආරම්භ කිරීමට එමඟින් ඇයට හැකි විය. ඒ සඳහා ඇයට වෛද්‍ය කරුණාතිලක සහ වෛද්‍ය කමල් සේරසිංහ එකතු විය. වෛද්‍ය කරුණාතිලකට ශල්‍ය අංශය භාර වුණ අතර, උගුර කට නාසය අංශය බැලුවේ වෛද්‍ය කමල් සේරසිංහ ය. මේ ප්‍රතිකාර ක්‍රමය කෙතරම් සාර්ථක වීද යත් පාන්දර 2 සිට රෝගීහු ප්‍රතිකාර ගැනීමට පැමිණියහ. දවසට දෙසීයකට අධික පිරිසකට වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා දුන්නද ඒ සියල්ලම අතරමඟ ඇන හිටියේය. ඒ ගැන ඈ මෙසේ පැවසුවාය.

“මෙහි සාර්ථකත්වය උහුල ගන්න බැරි පිරිසක් ආයතනය තුළම නිර්මාණය වුණා. ඒ අය මට විවිධ කටකතා හැදුවා. මම ගොඩක් වෙලාවට කෑම කෑවේ හවස 4.00ට විතර. මම පෞද්ගලික රෝහල්වලට ගියේම නෑ. මොකද මට ඒවට යන්න වෙලාවක් තිබුණේ නැහැ. මං ගොඩක් නිදහස අගය කරන කෙනෙක් නිසා මට ලැබෙන සුළු විවේකය ඒ වෙනුවෙන් කැප කරන්න ඕන වුණේ නැහැ. එහෙම කැපවීමෙන් අවංකව වැඩ කරලත් මේ වගේ අවලාද අහන්න වුණාම මට ඒ ගැන කලකිරුණා. ශල්‍ය වෛද්‍ය ඒකකය අනුමත නොකළ දෙයක් මම සම්පූර්ණ වගකීම කරට අරන් එදා කළේ. කොහොමද මම එච්චර අවදානමක් ගත්තේ කියලා අද මට හිතාගන්නවත් බැහැ. බැරි වෙලාවත් රෝගියකුට මොනව හරි වුණා නම් මං ඉවරයි. මෙච්චර අමාරුවෙන් කරගෙන ආපු දේට බාධා පමුණුවනවා නම් ඒක දරාගන්න අමාරුයි. මං ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරලා විසඳුමක් දෙන්න කියලා පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියා. එතෙක් මා ඒ කටයුත්තෙන් ඈත් වන බව දැනුම් දුන්නා. නමුත් කොමසාරිස්වරයා හමුවී රෝගීන් කළ ඉල්ලීම නිසා මට ගැලවීමක් ලැබුණේ නැහැ. ඒත් ඒ ගැන පරීක්ෂණයක් සිදු වුණේ නැහැ. ශල්‍යාගාරයත් නතර වුණා. ඒ නිසා මං සිද්ධාලේප රෝහලේ අධිපති වික්ටර් හෙට්ටිගොඩ මහතාට කතා කර මට ඒ සඳහා ශල්‍යාගාරයක් සකසා දෙන මෙන් ඉල්ලා සිටියා. එතුමා ඊට බෙහෙවින් කැමැත්ත පළ කර නවීන අංගෝපාංගවලින් යුතු ශල්‍යාගාරයක් සකස් කර දුන්නා. ඒ අනුව නැවත ප්‍රතිකාර කටයුතු ආරම්භ කළා. වසර තුනක් පමණ සාර්ථකව එහි කටයුතු කරගෙන යන අතරවාරයේ ‘මනසුව’ කියල තැනක් කාසල් එක ඉදිරියේ ආරම්භ කළා. නමුත් රෝගීන් වැඩි වීමත් සමඟ වඩා වැඩි පහසුකම් සහිත ස්ථානයක් ආරම්භ කරන්න ඕන කියන අදහස ආවා. ඒ අනුව 2007 වසරේදී රාජගිරිය බුත්ගමුව පාරේ කලපලුවාවේ පිහිටි ‘ඔසුකි’ රෝහල ආරම්භ කළා. එදා සිට අද දක්වා මේ ස්ථානයේ පමණයි මා කටයුතු කරන්නේ”

මෙහිදී මා සියලුම කාන්තා රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. යෝනි මාර්ගය ආශ්‍රිත රෝග, ගර්භාශයේ හටගන්නා රෝග, පැලෝපීය නාලවල හටගන්නා රෝග, ඩිම්බකෝෂවල හටගන්නා රෝග සහ විශේෂයෙන් මඳසරු භාවය (ස්ත්‍රී/පුරුෂ), ශුක්‍රවස්තිය, ලිංගෙ­්න්ද්‍රීයගත රෝග හා ශුක්‍රනු අඩුකම (ශුක්‍රානු බිංදුවක් එන අය ගේ ශුකානු වර්ධනය කිරීම) ආදී රෝග සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ප්‍රතිකාර ලබා දෙනවා.”

ඇය පවසන ආකාරයට සෑම කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයකු මඳසරුභාවයෙන් පෙළෙන අතර බොහෝ දෙනා ඩිම්බ නොමේරීමේ තත්ත්වයෙන් (PCOS) පෙළෙයි. මඳසරුභාවයට ප්‍රධාන හේතුවක් වන්නේ මේ ඩිම්බ නොමේරීමේ තත්ත්වයයි. ඒ සඳහා ඩිම්බ කරා ඖෂධ යැවීම සිදු කරයි. මෙහිදී ස්කෑන් පරීක්ෂණ දෙකක් සිදු කරන අතර පළමුවැන්න ඖෂධ යැවීමෙන් අනතුරුව සිදු කරයි. දෙවැන්න නාලවල අවහිරතාව යථා තත්ත්වයට පත් වීද යන්න පරීක්ෂා කිරීම සඳහා සිදු කරයි. ඒ වගේම ඔසප් වීම නිසි පරිදි සිදු නොවීම, වේදනාත්මක ඔසප් වීම, අක්‍රමවත් ඔසප් වීම, ගර්භාශයේ ගෙඩි ඇති වීම , පැලෝපීය නාල අවහිර වීම ශල්‍යකර්ම නොකර ඖෂධ යැවීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

“මඳසරුභාවය සඳහා සියලු ප්‍රතිකාර සිදු කරන්නේ සිහි නැති නොකර කිසිදු වේදනාවක් නොදැනෙන ආකාරයටයි. මෙම ශල්‍යකර්මයේදී නොමේරූ ඩිම්බ ඉවත් කිරීම අවශ්‍යයි. එය ඉතා පරිස්සමෙන් කළ යුතුයි. ඒ වගේම ඩිම්බකෝෂයට ඖෂධ යැවීමේදී ඉතාම පරෙස්සම් වෙන්න ඕන. ඒ සඳහා හොඳ පුහුණුවක් හා ඉවසීමක් අවශ්‍යයි. මඳසරුභාවය නැති කරන්න උත්තර වස්ති ක්‍රමය ඉතා සාර්ථකව සිදු කරන ලංකාවේ එකම ස්ථානය මෙයයි. උත්තර වස්ති කියා අප කියන්නේ මුත්‍රාශ්‍රයට හෝ ගර්භාශයට ඖෂධ යැවීමයි. ගොඩක් අය උත්තර වස්ති කරනවා කියා යෝනි මාර්ගයට ඖෂධ යවනවා. ඒක වැරැදියි. ගර්භාශ නාල මඟින් ඖෂධ ලබා දුන්නාම ඒවා ඇතුළටම ගමන් කරනවා. එය ඉතාම නිවැරැදිව ශල්‍යාගාරයක් මඟින් කළ යුතු කටයුත්තක්. අපිරිසුදු ස්ථානයක මෙවැනි දේ සිදු කළොත් යෝනි මාර්ගය ආශ්‍රිතව නොයෙක් සංකූලතා හා රෝගී තත්ත්වයන් හට ගන්නවා පමණක් නොවෙයි ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ පළපුරුද්දක් හා දැනුමක් ඇති කෙනකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සැලකිලිමත් විය යුතු බව ද ඇය අවධාරණය කළාය.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments