මනෝ-දිගා-රිෂාඩ් සජිත්ට දැමූ කොන්දේසිය | සිළුමිණ

මනෝ-දිගා-රිෂාඩ් සජිත්ට දැමූ කොන්දේසිය

සුගිය 02 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණේ වනජීවි හා වන සම්පත් අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශය දෙකක වැය ශීර්ෂයයි.

විරුද්ධ පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරන ලද්දේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

ඔහු වන ජීවින් සහ වන සම්පත් පිළිබඳව කතා කරන අතරතුර අරගලය පිළිබඳවද කතා කිරීමට අමතක නොකළේය.

“පසුගිය දිනවල ගෝල්ෆේස් එකට විරෝධතා කරන්න මිනිස්සු ආවම ගහලා එලවනවා. එහෙම කරන්න එපා” යනුවෙන් සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන විටම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එම ප්‍රකාශයට දැඩි විරෝධයක් එල්ල වීම නිසා මැති සබය තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.

“ඒ ආවේ රටට එරෙහි අරගලකරුවන්. ඒ ගොල්ලන් පොලඹවලා රට අරාජික කිරීමට ඔබ කටයුතු කිරීම වැරදියි” යනුවෙන් කියමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කෑගැසුහ.

ඊට සරත් ෆොන්සේකා නමත් ප්‍රකාශ කළ අතර දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ප්‍රතිචාර දැන්වීම සමඟම තත්ත්වය තවත් උණුසුම්කාරී විය. 

පක්ෂ නායකයන් කිහිපදෙනකුට සජිත් සමඟ තද වූයේ ඇයි?

2023 අය - වැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

සමගි ජනබලවේග‍ය අය -වැයට විරුද්ධ වීමට තීරණය කර තිබුණ ද එදින දහවල් වන විට සමගි සන්ධානයේ පක්ෂ නායකයන් කිහිපදෙනෙකුම සිටියේ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ යම් නෝක්කාඩුවකිනි.

ඊට‍ හේතුව එම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් කිහිපදෙනකුම සමගි ජනබලවේගයට බඳවා ගැනීමේ සූදානමක් පිළිබඳව එම පක්ෂ නායකයන්ට තොරතුරු ලැබී තිබීම නිසාය.

“මේක මෙහෙම වෙන්න දෙන්න බැහැ. මගේ පක්ෂයේ කට්ටිය කිහිපදෙනකුම කතා කරලා. ඒ විතරක් නොවෙයි. මාව මරන්න හදපු තරහ කාරයකුටත් කතා කරලා. මෙහෙම අපේ දේශපාලන පක්ෂ විනාශ කරන්න දෙන්න බැහැ. අදම මේක කතා කරලා විසඳ ගමු” යනුවෙන් මනෝ ගනේෂන් දැඩි ලෙස කීවේය.

“ඔව්. ඔව්. ඒක ඇත්ත. අපේ පක්ෂයේ කට්ටියකුත් ඒ ගොල්ලන්ට බඳවා ගන්න කතා කරගෙන. එහෙම කරන්න දෙන්න බැහැ” යනුවෙන් කතාවට එක්වූයේ පලනි දිගම්බරම්ය.

රිෂාඩ් බදියුදීන් ,රවුෆ් හකීම්, පී. රාධක්‍රිෂ්ණන් යන දේශපාලන පක්ෂ නායකයන් ද කීවේ ඊට සමාන කතාවකි.

ඒ අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිසබයේ සිට පාර්ලිමේන්තු ආලින්දය දෙසින් පැමිණියේ විපක්ෂ නායක කාර්යාලය වෙත යෑමටය. සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද ඒ සමඟ පැමිණියේය.

“විපක්ෂ නායකතුමා මේ ගැන කතාකරන්න අපි හිටියේ. අපේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් ඔබතුමාගේ සමගි ජනබලවේගයට බඳවා ගන්න කටයුතු කරගෙන යනවා. එහෙම කරන්න එපා. අපි සන්ධානගත වුණාට අපේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන්, පක්ෂ සාමාජිකයන් ඔබතුමාගේ දේශපාලන පක්ෂයට බඳවා ගන්න එක වැරදියි.” යනුවෙන් මනෝ ගනේෂන් තරමක ආවේගාත්මකව ඔවුන්ගේ අවනඩුව ඉදිරිපත් කළේය.

“විපක්ෂ නායකතුමා මේ වැඩේ වෙන්න දෙන්න එපා. මේක ඔබතුමා‍ටත් හොඳ නැහැ. සමගි ජනබලවේගයටත් හොඳ නැහැ. දිගටම මෙහෙම වෙනවා නම් අපිටත් තීරණයක් ගන්න වෙනවා” යනුවෙන් පැවසුවේ පලනි දිගම්බරම්ය.

“ විපක්ෂ නායකතුමා, මේ දේශපාලන පක්ෂවල ගැටලුව විසඳන්න. එහෙම වෙන්නේ නැත්නම් අද අය - වැය දෙවනවර කියැවීමේ ඡන්දයේදී විරුද්ධ ඡන්දය නොදී ඡන්දය දීමෙන් වැළකී සිටිනවා.” යනුවෙන් තරමක බරපතළ ආකාරයකින් මනෝ ගනේෂන් කියා සිටියේය.

ඒ සමඟම ප්‍රශ්නය ඉතා බරපතළ බව තේරුම් ගැනීමට සජිත් ප්‍රේමදාසට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“බය වෙන්න එපා. අපි අය - වැයට පක්ෂව ඡන්දෙ දෙන්නේ නැහැ. අපි අය - වැයට ඡන්දය දීමෙන් වැළකී ඉන්නවා” යනුවෙන් මනෝ ගනේෂන් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමෙන් අය - වැය දෙවන වර කියැවීමේ ඡන්දයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, පී. රාධක්‍රිෂ්ණන් ඇතුළු සමඟි ජන සන්ධානයේ පක්ෂ නායකයෝ අවසානයේ තීරණය කළහ.

සුදර්ශනීගෙන් ජනපති රනිල්ට සහතිකයක්

ජනපති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්ට දුරකතන ඇමතුමක් දුන්නේ නව අගමැති ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතීමටය. දෙවරක් මැලේසියාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ අන්වර් ඉබ්‍රාහීම් ඇමති ධූර කිහිපයක් ද උසුලා තිබුණි. ජනපති රනිල් ද ඇමතිධූර දැරූ අවදියේ මෙන්ම අගමැති ධූරය දැරූ අවදියේ පවා මොහුව දැන හඳුනන මිත්‍රයෙකි.

දුරකතනයට සම්බන්ධ කර ගැනීමෙන් පසු මුලින්ම ඔවුන් කතා බහ කළේ පැරණි මිතුදම ගැනය. අගමැති ධූරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කළ ජනපති රනිල් පසුව දෙරට අතර ආර්ථික සම්බන්ධතා ගැන ද කතා බහ කළේය. සාර්ථක සාකච්ඡාවක් නිම කළ ජනපතිවරයා කෙළින්ම ගියේ සිය සමීප මිතුරකු වූ අභාවප්‍රාප්ත ලලීන් ප්‍රනාන්දුට අවසන් ගෞරව දැක්වීමටය.

එය නිමවා පාර්ලිමේන්තුවට පැමිණෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මන්ත්‍රීවරියන් සුදානම්ව සිටියේ තැඹිලි පැහැති අත් පලඳනාවක් ජනපතිගේ අතට පැලැඳීමටය. ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ජනපතිව කාන්තා මන්ත්‍රීවරියන් අසලට කැඳවා ගෙන ගියේ ඔවුන්ගේ උත්සවයට සම්බන්ධ කරවීමටය.

“සර්ට අද උදෙන්ම සුබ කටයුත්තක් තියෙනවා,“ ආශු කියද්දී “ආ මේ කට්ටියම ඉන්නේ තැඹිලි පාටින් බැබළිලා.“ ජනපති කියද්දී සැවොම කොක් හැඬලූහ.

“මේ අමාත්‍යාංශය සර් යටතේ තියන නිසා තමයි අපට මේ තරම් ඉදිරියට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක නිසා මේක අතහරින්න එපා.“ යැයි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී කියද්දී එහි සිටි අනෙක් මන්ත්‍රීවරියන් ද එය එක හෙළා අනුමත කළහ.

ජනපති ඒ අසලට පැමිණි පසු කාන්තා මන්ත්‍රී සංසදයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ විසින් ජනපතිට අත්පලදනාවක් පැලඳුවාය. වෛද්‍ය සීතා අරඹෙපොල ඇමතිනිය කාන්තාවන් හා දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් සැකසූ විශේෂ වාර්තාවක් ඉන් පසු ජනපතිට පිළිගැන්වූවාය.

කාන්තා හිංසනය පිටුදැකීමේ දින 16 ක ජාත්‍යන්තර වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරින්ගේ සංසදය ද විශේෂ වැඩසටහනක් සංවිධානය කළ අතර එහි එක් පියවරක් ලෙස අත් පලඳනා පැළඳවීමේ උත්සවයක් පාර්ලිමේන්තුවේදි පැවැත්විණි. එම උත්සවයට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් සියලු දෙනා පැමිණ සිටියේ තැඹිලි පැහැ සාරිවලින් සැරසීය.

පෞද්ගලික විශ්වවිද්‍යාල කඩිනම් කරන ලෙස ඉල්ලීම්

පාර්ලිමේන්තුව තුළට ගිය ජනපතිවරයා ප්‍රතිශතාත්මකව කාන්තා නියෝජනයේ අඩුව ගැන පෙන්වා දුන්නේ ඉතිහාසය ද සිහිපත් කරවමිනි. එසේම රාජ්‍ය අධ්‍යාපන ආයතන ගැන මෙන්ම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ගැන කතා කළ ජනපති රනිල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්ව එක මතයකට ගැනීමට කටයුතු කළේය.

සභාවෙන් පිටත පාර්ලිමේන්තු ලොබියේදී ද බොහෝමයක් මන්ත්‍රීවරු ජනපතිගේ කතාව අගය කරමින් ඉක්මණින් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

“බිලියන 3 ක් විතර මුදල් ලංකාවෙන් පිටතට යන්නේ අධ්‍යාපනය වෙනුවෙන්. මෙරට විශ්වවිද්‍යාලවලට යන්න බැරි දරුවෝ පිටරට යනවා. ඒක ඉක්මණින්ම නවත්වන්න ඕනේ“ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කියූ පොදු කරුණ එයය.

“අපි ඔක්කොමලා එකතු වෙලා මේ වැඩේ කරමු.“ ජනපති පිළිතුරු දුන්නේය.

ජලනි ගැන ඩයනා කියපු කතාව

පාර්ලිමේන්තුවේ නිල මැදිරියට පැමිණි ඩයනා ගමගේ මන්ත්‍රීනිය ජනපතිට කරුණක් සිහිපත් කළාය. එම අවස්ථාවේ එහි තවත් මැති ඇමතිවරු පිරිසක් ද වූහ.

“සර් මේ දවස් දෙකේ පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තිස් දෙනෙකුට වඩා කතා කළේ විපක්ෂ නායකතුමාගේ නෝනා ගැන. රටේ ප්‍රශ්නවලට වඩා එයා ගැන තමයි කතා කළේ.“ ඩයනා කීවාය.

“කාරක සභා අවස්ථාව කියන්නේ විපක්ෂයේ විවාදය. විපක්ෂයට තමයි විවාදයේ වැඩි කාලයක් හම්බ වෙන්නේ. මේ වෙලාවේ අපි විපක්ෂයේ හිටියා නම් පාර්ලිමේන්තුව හොල්ලනවා.“ ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා කීවේ නිල මැදිරිය ද දෙදරවන හඬිනි.

නායක හිමිවරුන්ගෙන් ජනපතිට ප්‍රශංසා

සති අන්තයේ ද කොළඹ රැඳී සිටි රනිල් සඳුදා ජනපති ලේකම් කාර්යාලයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වූයේය. සවස ඇමති මණ්ඩල රැස්වීමට විශේෂ පනත් දෙකක් ඉදිරිපත් වූයේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා මතය. ඒ ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත හා විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කෙරෙන පනත් කෙටුම්පතය.

එම පනත් දෙක ගැන මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් අනතුරුව මහනායක හිමිවරුන් කිහිප දෙනකු හා සංඝ සභාවන් නියෝජනය කරන නායක හිමිවරුන් කිහිප දෙනකුගෙන් ජනපතිට දුරකතන ඇමතුම් ලැබී තිබුණේ ශාසන ප්‍රතිශෝධනය වෙනුවෙන් කරනා සේවය අගය කරමිනි.

ජනපති අඟහරුවාදා පාර්ලිමේන්තුවමට පැමිණ විපක්ෂ නායක කර තිබූ චෝදනාවකට පිළිතුරු දුන්නේ පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස මහාසංඝරත්නය ගැන නොවන බව කියමිනි. එදින පෙරවරුවේ ජනපති ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී මත්ද්‍රව්‍ය නිවාරණය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඊට අදාළව නීති අලුත් කිරීම ගැන පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගන්නා බව ජනපති රනිල් අදාළ ආරක්ෂක අංශ දැනුම්වත් කළේය. එහි ඉදිරි කටයුතු ජනපති ආරක්ෂක ජ්‍යේෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරුවේය.

සැබෑ සතුරා ගැන ජනපති කීවේ කුමක්ද?

වසර අවසානය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් විසින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සඳහා පසුගිය බදාදා අරලියගහ මන්දිරයේදී සාදයක් පැවැත්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මේ සඳහා සහභාගී විය.

මෙම සාදය පස්වරු 7.00ට පමණ ආරම්භ වූ අතර මැදියම දක්වා ඇදී ගියේ ගී ගායනා, අතීත රස කතා හා ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ගැන ද සීරුමාරුවට සාකච්ඡා වෙමිනි.

" රනිල් ජනාධිපතිතුමාට විතරයි මේ අර්බුදයෙන් රට බේර ගන්න පුළුවන්.අපි එතුමා උපරිම සහය දෙන්න ඕන"

ජනාධිපතිවරයා මුරුංගා අත්තේ තබා එලෙස කතා කළේ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේය.

ඒ සියල්ලම සිනාමුසු මුහුණින් අසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපූරු උදාහරණයක් කීය.

" සැබෑ සතුරා එන්නෙ ඉස්සරහින් නෙමෙයි පිටු පස්සෙන්"

ජනාධිපතිවරයා කීය.

තිස්ස කුට්ටිආරච්චිටත් රාජ්‍ය ඇමතිකමක්?

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සාදයට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට ඔහු ජනාධිපති රනිල් සමඟ එකට සිටි තරමක් පැරණි ඡායාරූපයක් පෙන්වන්නට විය. තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කලකට ඉහත එ.ජා.ප පාක්ෂිකයෙකි. ඔහු එම පක්ෂයෙන් මැතිවරණවලට ද ඉදිරිපත් විය.

" මේක තමයි මම ඊළඟ ඡන්දයට පාවිච්චි කරන ෆොටෝ එක"

තිස්ස කුට්ටිආරච්චි ප්‍රසිද්ධියේම කීය.

" අයියෝ කුට්ටි ඕක කලින් පෙන්නන්න ඕන එකක්. ළඟදී රාජ්‍ය ඇමතිකම් දෙන්නෙ නෑ."

එය දුටු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත ඇතුළු පිරිසක් විහිළු කළේය.

" රාජ්‍ය ඇමතිකමක් දුන්නොත් මම එපා කියන්නේත් නෑ"

තිස්ස කුට්ටිආරච්චි ඇඟට නොදැනී කීය.

අය වැයෙන් පසුව ජනපති වේවැල අතට ගනී

ජනාධිපතිවරයා අනාගත වැඩපිළිවෙළ ගැන ද මෙහිදී කෙටියෙන් කතා කළේය.

" සර් විපක්ෂෙ ඡන්දයක් ඉල්ලනවා" මන්ත්‍රීවරයකු කීය.

" ඒ ගැන කලබල වෙන්න එපා"

ජනපති ඒ පැනයට දුන්නේ කෙටි පිළිතුරකි.

" සාමාන්‍යයෙන් අලුත් ජනාධිපති කෙනෙක් ආවම අමාත්‍යංශවල ලේකම්වරුන් වෙනස් කරනවා.ඒත් මම එහෙම කළේ නෑ. ආණ්ඩුවේ වේගයට දුවන්න බැරි නම් මට සමහරු ගැන තීන්දුවක් ගන්න වෙනවා."

" සර්... සමහර රාජ්‍ය ආයතනවල ගැටලු තියෙනවා. ඒවයි ලොක්කො අපි කියන දේවල් අහන්නෙ නෑ" කිසිවකු කීය.

"බජට් එකෙන් පස්සෙ ඒව ඔක්කොම ක්ලියර් කරගෙන අලුත් ගමනක් යමු."

ජනපති කීවේ තිර හඬිනි.

එයට මැති ඇමතිවරුන්ගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ඇමති ප්‍රසන්නට කාන්තා ප්‍රශ්නයක් ?

අය වැය විවාදයට අදාළව පසුගිය බ්‍රහස්පතින්දා පැවතියේ කාන්තා කටයුතු හා අධ්‍යාපන වැනි අමාත්‍යංශවලට අදාළ විවාදයන්ය.

ඒ නිමිත්තෙන් මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම දෙනාගේ අතෙහි රබර් පලඳනාවක් පැලඳවීමට පාර්ලිමේන්තු සේවක සේවිකාවන් කටයුතු කර තිබුණි.

එම රබර් පලඳනාවේ සඳහන් වූයේ " කාන්තා හිංසනයට එරෙහි වෙමු" යන්නයි.

" කාන්තා හිංසනයට එරෙහි වෙමු කියල බෑන්ඩ් එක අතට දාන්නෙ පිරිමියෙක්"

ඇමති විදුර වික්‍රමනායක මහ හඬින් කීය.

අනතුරුව පැමිණියේ ඇමති ප්‍රසන්නය. ඔහු එම පලඳනාව ඉල්ලා ගෙන එහි සඳහන් වැකිය කියවන්නට විය.

" මම කාන්තා හිංසනයට කොහොමත් විරුද්ධවයි" ඇමතිවරයා කීය.

"ඒත් කාන්තාවන්ගෙන් අපිට වෙන ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද ?"

ඇමතිවරයා කී කතාවට අවට ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට සිනා නොවී සිටිය නොහැකි විය.

මහින්දගේ අත්සන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණි පසු මේ දිනවල පාර්ලිමේන්තුවට පැමිණෙන අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහු රැසක් හිටපු අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණෙති.

පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූණේ ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය ඇතුළු තවත් අමාත්‍යාංශය කිහිපකය වැය ශීර්ෂයයි.

එදින දිවා ආහාරය ලබාගත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනකු පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ ආලින්දයේ සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තුරුය.

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ කතා බස් කළ එම නිලධාරිහු හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ එතන තිබූ කාර්යාලය ගියේ තවදුරටත් ඔහු සමඟ කතාබස් කිරීමටය.

ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිමි තැපැල් මුද්දර ලබාදීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ සේවය කරන උපාලි ගමගේ පැමිණියේය.

උපාලි ගමගේ මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ වසර ගණනාවක්ම සේවය කර තිබු නිලධාරියෙකි.

“සර් මේ මුද්දර ගන්න අත්සන් කරන්න” යනුවෙන් උපාලි ගමගේ පැවසුවේය.

සර්ගේ අත්සන මට ගහන්නත් පුළුවන්” යනුවෙන් උපාලි පැවසුවේ විහිළුවට මෙනි.

“ඔව්.ඔව්. මාත් එක්ක වැඩ කරන කට්ටියට මගේ අත්සන ගහන්න පුළුවන්. පසුගිය දවස්වල උදිත් මගේ අත්සන ගහලා තිබුණා. මීට අවුරුදු ගණනාවකට කලින් නිමල් කියලා නීතිඥවරයකුත් මගේ අත්සන ගහලා තිබුණා.” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.

සජිත්ලා 11 වැනිදා කරන්න හදන වැඩේ

සමගි ජන බලවේගය මේ දිනවල සූදානම් වන්නේ සිය සංවත්සර කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් ය.

විධිමත් ආකර්ෂණය සහ ඉදිරි දැක්මක් සහිත සම්මේලනයක් පැවැත්වීමට ඔවුන් වෙහෙසමින් සිටී. ඒ ගැන සාකච්ජා පසුගිය දිනවල පැවැත්විණි.

සම්මේලනය කැම්බල් පිටියේ ලබන 11 පැවැත්වේ.

"සමහරු දැනටම බය වෙලා. සම්මේලනය කරන හැටි බලමුකෝ කියලා ආණ්ඩුවේ හෙංචයියෝ කියනවා"

එහෙම කීවේ මරික්කාර් ය.

"පොහොට්ටුව සීසීකඩ කැඩිලා. එක්සත් ජාතික පක්ෂය කියලා එකක් නෑ. ඒ දෙකම එකයි. ශ්‍රී ලංකා එකෙත් සෑහෙන්න ප්‍රශ්න. මේ වෙනකොට රටේ තියෙන දැවැන්තම දේශපාලන ප්‍රවාහය තමයි සමගි ජන බලවේගය. ඒ නිසා සම්මේලනය සාර්ථකව කරන්න ඕන"

මහ ලේකම් රංජිත් උපදෙස් දුන්නේය.

"මේක අපේ පක්ෂ සම්මේලනය. එවගේම ඊළඟට බලය ලබා ගන්නේ ඉන්න පක්ෂයේ සම්මේලනය. ඒ නිසා හැම අතින්ම සාර්ථක වෙන්න ඕන."

සජිත් කීවේය.

"ජනාධිපති දැන් පාර්ලිමේන්තු එන්නේ "මං පොර" නාට්‍ය රඟපාන්න. එතුමා හැසිරෙන්නේ දේපළ වෙළඳාම් සමාගමක අයිතිකාරයා වගේ. එතුමා හිතනවා රටේ තියෙන දේ දේවල් ටික සේරම වික්කම - සිංහයෙක්" වෙන්න පුළුවන් කියලා." නලින් බණ්ඩාර කීවේය.

"තමන්ගේ කැත අරමුණ ඉටු කරගන්න එතුමා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ නමත් ඇද ගන්නවා. එතුමා කියනවා පෞද්ගලිකකරණය පටන් ගත්තෙ ප්‍රේමදාස ජනාධිපතිතුමාලු. එතුමට කවදාවත් රටේ සම්පත් විකුණල සිංහයෙක් වෙන්න ඕන කමක් තිබුණේ නැහැ

අදටත් මේ රටේ තරුණ තරුණියන් දහස් ගණනක් රස්සා කරන, මේ රටට අදටත් විදේශ විනිමය ගේන ඇඟලුම් කම්හල් ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා."

එහෙම කීවේ අශෝක් අබේසිංහ ය.

"ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කීවේ සජිත් ප්‍රේමදාස මහත්තයා මහින්ද රාජපක්ෂ ගේ මතය නියෝජනය කරනවා කියලා මුජිබර් කීවේය.

රාජපක්ෂලාව ආරක්ෂා කරන යතුර අතේ තියාගෙන ජනාධිපති කියනවා, මේ සජිත් ප්‍රේමදාසත් මහින්ද රාජපක්ෂ ගේ මතය නියෝජනය කරනවා කියලා. රාජපක්ෂලාගේ මතය නියෝජනය කරන්නේ කවුද කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවනම් හරි"

චමින්ද විජේසිරි එහෙම කීවේය.

රූපවාහිනියෙන් එළියට බැස්ස වජිරට එක දිගට ඇමතුම්

පසුගිය බදාදා රාත්‍රි 10.00ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ මහජන දිනය වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගී විය.

මෙම රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමින් වජිර අබේවර්ධන ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ රට ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ගෙන යන දූරදර්ශී වැඩපිළිවෙල සම්බන්ධව පළ කළ අදහස් දේශීය මෙන්ම ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ද ඇගයීමට ලක් විය.

වජිරට සෙරෙප්පු ප්‍රශ්නයක්

එම සජීවී රූපවාහිනී වැඩසටහනේදී වජිර අබේවර්ධන පෙන්වා දුන්නේ බංකොළොත් වශයෙන් හැඳින් වූ රටක කිසිම පුද්ගලයකුට සෙරෙප්පු, සපත්තු ද පැලඳවීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

“එදා තිබුණු නීතිය අනුව බංකොළොත් වුණු කිසිම පුද්ගලයකුට සෙරෙප්පු, සපත්තු දාන්න බැහැ. පාට ඇඳුම් අඳින්න බැහැ. සුදු පාට ඇඳුම් විතරයි අඳින්න පුළුවන්. ඒ නිසා මේ රට බංකොළොත් කියලා ප්‍රකාශ වීමෙන් පසුව මටවත් කාටවත් සෙරෙප්පු දාන්න බැහැ. ඒකයි ඒ කාලේ තිබුණු නීතිය.” යනුවෙන් වජිර අබේවර්ධන කරපු කතාව ගැන බොහෝදෙනෙක් විමසන්න වූහ.

ඉන්දියානු මහකොමසාරිස් නියෝජ්‍ය කථානායකට කිව්වේ මොනවාද?

ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර හා සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වැඩසටහන සඳහා ද උපරිම සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපල් බග්ලේ (Gopal Bagalay) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කරයි.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී පසුගියදා මෙම හමුව සිදුවූ අතර වර්තමානයේ රටවල් දෙකම මුහුණදී තිබෙන අභියෝග සහ ඊට සහයෝගීව මුහුණ දෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා වී තිබේ.

වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අඛණ්ඩවම ඉන්දියාව ආධාර ලබා දෙන බවත් මීට අමතරව උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද ඉන්දියානු ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් පෙන්වා දෙන ලදී.

තොරතුරු තාක්ෂණ (IT) යොදාගෙන ඉන්දියාවේ තරුණ ව්‍යවසායකයන් ලෝකය සමඟ වෙළඳාම් කරමින් ලෝක ප්‍රකට සමාගම්කරුවන් අතරට යන බවත් එම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව උපරිම සහාය ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් සඳහන් කරන ලදී.

කලාපීය අසල්වැසියා විදිහට ඉන්දියාව එදා සිටම ශ්‍රී ලංකාවට සුවිශේෂී සහයෝගයක් ලබා දෙන බවත් ඉදිරියට ද එම සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් තමා ඉන්දියානු ජනතාවට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණ (IT) යොදාගනිමින් මෙරට තරුණ ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන ගොස් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩසටහනට ඉන්දියාවේ සහාය සහ විශේෂඥ උපදෙස් අනිවාර්යෙන් අවශ්‍ය බවත් එම සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මෙහිදී කියා සිටියේය.

මීට අමතරව යාපනය සහ ඉන්දියාව අතර මුහුදු මාර්ගයෙන් මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට තිබෙන හැකියාව සහ එය කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව යන කාරණා ද මෙහිදී සාකච්ජා වී තිබේ.

ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර විතානගේ, ප්‍රදීප් උඳුගොඩ, සුදර්ශන දෙනිපිටිය, සම්පත් අතුකෝරාළ, චින්තක මායාදුන්නේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Comments