මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරිමට විශේෂ පනත් කෙටුම්පතක් | සිළුමිණ

මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරිමට විශේෂ පනත් කෙටුම්පතක්

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීම සඳහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය විනාශ කිරීමේ අරමුණෙන් විශේෂ පනත් කෙටුම් පතක් ගෙන ඒමට රජයේ අවධානය දැන් යොමු වී ඇත. අන්තරායක ඖෂධ හා විෂ අභිං ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවට නව පනතක් මේ වෙනුවෙන්ම ගෙන ඒමට සුදුසු බවට රජයේ අදහස වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ආරක්ෂ අංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේ දී ද මෙම නව පනත ගෙන ඒම පිළිබඳ අවධානය යෙමු වී තිබුණි.

මේ පිළිබඳ කළ විමසීමේ දි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සිළුමිණට කියා සිටියේ පාසල් අසල පිහිටි ඇතැම් වෙළෙඳසැල්වල අලෙවි කරන නමක් ගමක් හෝ ලියාපදිංචිය පිළිබඳ නිසි තොරතුරක් නොමැති චොකලට් හෝ ටොෆි වර්ග සහ සැක කටයුතු රසකැවිලි පරික්ෂා කර අත්අඩංගුවට ගැනීම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවය.

පාසල් සිසුන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙසේ වැටලීම් සිදු කෙරේ. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ පාසල් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීමට පාසල් කමිටු ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Comments