බදු කියන්නේ ගලේ කෙටූ අකුරක් නෙමෙයි; හැකි මුල් අවස්ථාවේදීම ජනතාව නිදහස් කරනවා | සිළුමිණ

බදු කියන්නේ ගලේ කෙටූ අකුරක් නෙමෙයි; හැකි මුල් අවස්ථාවේදීම ජනතාව නිදහස් කරනවා

- පහළට වැටීමේ වේගය දැන් අඩු වෙලා 
- බදු දැලින් මි‍දෙන අයට විරුද්ධව නවීන තාක්ෂණය යොදා ගන්නවා
- ළඟදීම සෑම කෙනකුටම බදු ගොනුවක්
- මේ අර්බුදයට කරගහපු අය රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය වෙනවා
- මෙවර අය වැය සම්මත වීම පිළිබඳ මුල සිටම විවිධ ගැටලු මතු වුණා. නමුත් වැඩි ඡන්දයෙන් අය වැය සම්මත වුණා
- අපි ලෙඩ වී, ඔත්පළ වූ ශ්‍රී ලංකා දේහය කරපිට තියාගෙන උඩුගම් බලා පිහිනීමක් කරනවා

අසීරු අවස්ථාවේ ඉදිරිපත් කළ මේ අය වැය පැරැද්දීමට විපක්ෂයට විශාල උවමනාවක් තිබුණ ද?

මේ වන විට රටේ පවතින ගින්න ටිකෙන් ටික නිවීගෙන යනවා. ධනාත්මක දේවල් ඇති වෙමින් තිබෙනවා. මේ අයට බයක් තියෙනවා තමන්ට බලයට ඒමේ සිහිනය කල් යයි කියලා. ඡන්දයකට සුදුසු ආර්ථික වාතාවරණයක් නැති අවස්ථාවක ඡන්දයක් ඉල්ලන්නේ ඒ නිසයි. රටේ ආර්ථික ප්‍රශ්න කෙසේ වෙතත් මේ අවස්ථාවේ හෝ තම අභිමතාර්ථය ඉටු කරගත යුතුය යන පෘතග්ජන හැඟීමෙන් තමයි මේ අය කටයුතු කරන්නේ.

නමුත් වර්තමාන ආර්ථික තත්ත්වයෙන් ගොඩගත හැකි එකම සුදුස්සා ජනපති රනිල් බව ඒ අයත් පිළිගන්නවා නේද? 

දැනට සිටින නායකයන් අතර රනිල් වික්‍රමසිංහයන්ගේ ඉගෙනීම, පළපුරුද්ද, තීරණ ගැනීමේ හැකියාව ජාත්‍යන්තර සම්බන්ධතා යන කරුණු කාරණා මත ඔහු වැඩිපුර ලකුණු ලබා ගන්නවා. සාපේක්ෂව මේ අවස්ථාවේ මීට මුහුණ දිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහයන් බව ගමේ ගොඩේ වාමාංශිකයන් පවා පිළිගන්නා සත්‍යයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් අය වැයට විරුද්ධව සහය දුන්නා. ඔබත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක්...?

මම මේ පක්ෂයේ හිටපු ජ්‍යේෂ්ඨයෙක්. මෙතැන ඇත්තේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙමෙයි. මුලදි ජාතික රජයකට යමුයි කියන පොදු තීරණයකට ආවා. පසුව ‍මේ අය සිය තීරණය වෙනස් කර ගත්තා. නමුත් යුතුකම වන්නේ මේ රජයට උදවු කිරීම. සමහර අයට තියෙන්නේ තනි පුද්ගල මත. මේ රටේ ඩොලර් ආදායම අඩු වූ ප්‍රධානම කරුණ සංචාරක ව්‍යාපාරය කඩා වැටීමයි. 2018 සංචාරකයන් ලක්ෂ 23ක් ආවත්, 2021 ආවේ ලක්ෂයක් පමණයි. නමුත් මේ වසරේ මුල් මාස 10 පමණක් ලක්ෂ 5ක් සංචාරකයන් ආවා. ඒ අතරේ දැන උගත් මේ ප්‍රබුද්ධ පක්ෂ පාරේ උද්ඝෝෂණය කරන්න යනවා. එයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා. ඒ අනුව ඔවුන්ගේ අරමුණ අපිට පැහැදිලියිනේ.

මෙවර අය වැය ජනතාවට බදු ගහන, කිසිදු සහනයක් නැති අය වැයක් බවට විවිධ චෝදනා නැඟෙනවා?

අපි ලොව අඩුම රාජ්‍ය ආදායමක් ඇති රටක්. ඒ 2019 ගත් තීරණත් සමඟයි. මේ නිසයි අපිට අඛණ්ඩව මුදල් අච්චු ගහන්න සිදු වුණේ. 2021 අපේ ආදායමයි වියදමයි අතර වෙනස 240% යි. මේ තත්ත්වය වැඩි කර ගැනීමට අපිට තියෙන එකම ක්‍රමවේදය බදු අය කර ගැනීමයි. ලොව අනිකුත් රටවල් පවා මුහුණ දෙන්නේ ඒ විදියටයි. මේ නිසයි අපිට නව බදු හඳුන්වා දීමට සිදු වුණේ. 2018 වන විට අපි දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 11% ක් තිබුණා. නමුත් දැන් ඉන්නේ 8%ක. මේ නිසා 11% කට යන්නත් තවත් රුපියල් බිලියන 400ක් සොයා ගත යුතුයි. බදු එකතු කර ගැනීමේදි කාටත් අමාරුයි. අපි එය පිළිගන්නවා. අමාරු තීන්දු පවා අපි ගත යුතුයි. කවුරු හෝ මේ අමාරු තීන්දු අරගෙන බැණුම් ඇසිය යුතුයි. මේ වෙලාවෙදි අපිට ජනප්‍රිය වෙන්න බැහැ වගේම අය වැයත් ජනප්‍රිය වෙන්නේ නැහැ.

අද වන විට 60% ක් ජිවත් වීමට උදවු ඉල්ලනවා. මොනවද අය වැයෙන් ඒ පිරිසට ලබා දුන්නේ?

අපි අය වැයෙන් උත්සාහ කළේ ලක්ෂ 58ක ජනතාව අතරින් ලක්ෂ 34 කට ජීවත් වෙන්න උදවු කිරීමයි. මේ වන විට මේ උදවු කළ යුතු පිරිස තෝරා බේරා ගන්නා තුරු සමෘද්ධිලාභීන් ලක්ෂ 17කට රුපියල් 7500ක් දෙනවා. පොරොත්තු ලේඛනයේ ඉන්න ලක්ෂ 7.5කට 5000ක් දෙනවා. වකුගඩු, ආබාධිත ආදි දීමනාලාභීන් ලක්ෂ 5කට ආධාර දෙනවා. අපේ රටේ මුළු වියදම ලබන වසරට රුපියල් බිලියන 7500ක්. එයින් 10%ක් වෙන් කරලා තියෙන්නේ සමාජ සුබසාධනයට. අධ්‍යාපන, සෞඛ්‍ය එකතු වුණහම තවත් රුපියල් බිලියන 1000ක් යනවා. අපි දැවැන්ත උත්සාහයක යෙදෙන්නේ මිනිසුන් ජීවත් කරන්න. සමහරු කියනවා මේ අමාරු අවස්ථාවේ අපි පාරවල් හදනවා කියලා. නැහැ; බිලියන සිය දහස් ගණනක් පරණ වියදම් අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා. සමහර කම්කරුවන්ටත් වැටුප් ගෙවලා නැහැ.

මීට බදු ගහනවා හැර වෙනත් කිසිදු විකල්පයක් නැති බවද කියන්නේ..?

බදු නොගහනවා නම් පරණ සමාජවාදී ක්‍රමයට අපි යා යුතුයි. මේ බදු ජනතාවට බරක් බව අපි දන්නවා. නමුත් අලුතෙන් හඳුන්වා දුන් සමහර බදුවල දුර්වල බදු තියෙනවා. මේවා සංශෝධනය කරමින් ලැබෙන මුල් අවස්ථාවේදීම අපි ජනතාව මේ බදුවලින් නිදහස් කරනවා. බදු කියන්නේ ගලේ කෙටූ අකුරක් නෙමෙයි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට කරන මේ බදු අය කර ගැනීමේ පීඩනය තව කොපමණ කාලයක් ජනතාවට විදින්නට සිදුවේවිද?

අපේ ආර්ථිකය - 8.3%ක ආර්ථිකයක්. ලබන වසරේ එය -3%ක මට්ටමකට ගෙන ආ හැකි වෙනවා. ජනාධිපති, මහ බැංකුව හා මම විශ්වාස කරන්නේ මේ ඉලක්ක සමඟ ගියොත් 2023 අවසානය පොලී අනුපාත අඩු කරන්න, බදු අඩු කරන්න හැකිවෙතැයි කියා. නමුත් මහා ප්‍රාතිහාර්ය පාන්නට බැහැ. අද රාජ්‍ය සේවකයාට, ස්ථිර වැටුප්ලාභීන්ට පවා ජීවත් වන්නට අමාරුයි. අපේ ජනතාව වියදම් කරන්න පෙලඹෙව්වා. ස්ථීර ආදායම් ගන්න කෙනාත් ආදායමට සරිලන්න වියදම හදාගෙන ඉන්නේ. සමහරු හිතාගෙන හිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් භාගයක් හෝ අය වැයෙන් කපයි කියලා. ඒත් ඒවා කළේ නැහැ. ජනාධිපතිතුමාට පවා මේ අමාරු තත්ත්වය තේරෙනවා. 2023 අවසානයේ අනිකුත් අයටත් යමක් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට පිළියම් ගත්තා සේම රාජ්‍ය වියදම් පාලනයට මෙවර අය වැයෙන් ගත් පියවර මොනවාද?

වෙනමම සදහන් නොකළත් වියදම් දැඩි ලෙස පාලනයක් කර තියෙනවා. කළ යුතු සංවර්ධන කටයුතු සිදුවුණත් ඒවා පාලනයකින් යුතුවයි කරන්නේ. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් දෙන්න රුපියල් මිලියන 200ක් ඇත්ද කියලා චෝදනා කරනවා. නමුත් මේ මුදල මදි වුණත් අපි මෙයට ආරම්භයක් සපයනවා. අපි ගාව සල්ලි නැති වුණත් රුපියල් මිලියන 200න් ආරම්භයක් සැලසිය හැකියි. අත්‍යවශ්‍ය දෙයට පමණයි වියදම් කරන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා වගේ මේක අයිසිං සීනි දාපු ජනප්‍රිය අය වැයක් නෙමෙයි. 

උපයන විට බදු අය කර ගැනීම මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්වෙලා. මසකට ලක්ෂයේ සීමාවේ වැටුපක් ගන්නා කෙනා පවා මේ බදු ගෙවීමට යටත්...?

ලක්ෂ එකහමාරක වැටුප් ගන්න කෙනාට ලක්ෂයකට නෙමෙයි පනස් දහසට 6% ක බද්දක් පැනවෙනවා. එක්ලක්ෂ පනස්දාහක් ගන්න කෙනාට ඒ අනුව රුපියල් 3000 ක් රජයට ගෙවීමට සිදු වෙනවා. එයාටත් එය බරක්. මොකද ඔහු ඒ ආදායමට සරිලන ලෙස වියදම සකස් කරගෙන තියෙන නිසා. මේ බදු 6% සිට වැටුප අනුව වැඩිවේගන යනවා. පවුල් 34 ලක්ෂයට අපි යමක් කරන්න ඕනේ, මේ තියෙන අයගෙනුයි. සාපේක්ෂව ලක්ෂයට එහා වැටුප් ගන්නා අය, යම් කිසි ශක්තියක් ඇති අයෙක්. අපේ රටේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15 ක් ඉන්නවා. ලක්ෂ 15 ක් ස්ථීර සමාගම්වල සේවය කරන අය මේ ලක්ෂ 30 න් රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නා අය ඉන්නේ 109,000 යි. එනම් 3.6%යි. මේ අයගෙන්වත් යමක් හොයා ගන්න බැරි වුණොත් කරන්න සිදු වන්නේ මුදල් අච්චු ගහන්න. විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියනවා ඔවුන් බලයට පත්වුණොත් උදවු කරන බව. මේවා එහෙම කරන්න පුළුවන් විදිහේ වගකිව යුතු කතාද?

ඔබ එසේ කීවත් බොහෝ පිරිස් අද බදු දැලින් මිදි පලා යනවා. එය ශක්තිමත් කිරීමට මේ හිල් වැසිය යුතුයි නේද?

උපයන විට බද්දෙන් එසේ ගැලවී යන්නට බැහැ. ස්වයං තීරණ බදු ක්‍රමයක් නිසා ආදායම් බදුවලින් සමහරු ගැලවෙනවා. සමහරු බදු උපදේශකයෙක් ගාවට ගිහින් තමන්ට ගෙවන්න තියෙන බදු මුදලට වඩා විශාල මුදලක් ඒ අයට ගෙවා එනවා. විවිධාකාරයේ බදුවලින් පනින අයට අපි මේ වන විට වැට බැඳලා තියෙන්නේ. නවීන තොරතුරු තාක්ෂණය අපි බදු සඳහා යොදා ගෙන තියෙනවා. රැමිස් කියන ව්‍යාපෘතිය අපි මේ වෙනුවෙන් පසුගිය කාලයේ කරගෙන ආවත් ඩොලර් මිලියන 9 ක ප්‍රශ්නයකට අපිට මෙය නතර කරන්න සිදු වුණා. නමුත් පසුව ජනාධිපතිතුමාට මේ ගැන කරුණු පහදා දී රුපියල් මිලියන දෙකක් ලබා දී ඉතුරු මුදල ලබා දෙනකම් යළිත් දැන් එය ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම ඉදිරියේදී සෑම කෙනාටමත් බදු ලිපි ගොනුවක් ලබා දෙනවා. එයින් අදහස් වන්නේ නැහැ සෑම කෙනෙක්ගෙන්ම බදු ගන්න බවට. බදු ගන්නවා වගේම අවශ්‍ය අයට සහන දීමත් මේ හරහා කරනවා.

රජය මේ වසරේ බදු ඉලක්ක සම්පූර්ණ කර ගෙන තියෙනවාද?

අපි මේ වන විට බදු ඉලක්කය කරා ළඟා වෙමින් තියෙනවා. දේශීය ආදායම්, සුරාබදු රේගු ආදී අපේ රටේ ප්‍රධාන බදු ආදායම් ඉලක්කය කරා ළඟාවෙමින් තියෙනවා.

මේ බදු හේතුවෙන් ඉදිරියේදී රටට එන ආයෝජන, ව්‍යවසායන් කඩා වැටීමේ දැඩි අනතුරක් පවතිනවා නේද?

අපි මේවා නිතිපතා සමාලෝචනය කරනවා. මහ බැංකුව පවා තමන්ගේ ණයකරුවන් ගැන නිතිපතා සොයා බලනවා. නමුත් අංක එක බැංකුවේ ස්ථායිතාව රඳවා ගැනීම. අපි මේ වන විට ඉන්නේ ප්‍රශ්නයක හෝ ප්‍රශ්නාවලියක නොවන බව මුලින්ම තේරුම් ගත යුතුයි. අපි ඉන්නේ අර්බුදයක. මෙයට මම පිළිතුරක් දුන්නොත් තවත් පැත්තකින් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. අපි ලෙඩ වී, ඔත්පළ වූ ශ්‍රී ලංකා දේහය කරපිට තියාගෙන උඩුගම් බලා පිහිනීමක් කරනවා. වටේ ඉන්න අයට විවිධ චෝදනා තියෙනව. මේ අර්බුදයට කර ගහපු අය තමයි ඇත්තටම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය. මේවා ඊළඟ මැතිවරණ අරමුණු කරගෙන ගත් ජනප්‍රිය තින්දු තීරණ නෙමෙයි. ආසියාවේ මේ ශතවර්ෂ භාගය තුළ මෙවැනි අර්බුධයකට මුහුණ දුන් පළමුවැනි අවස්ථාව.

රට තවමත් කඩා වැටෙනවාද? නැතිනම් නැවතී ඇත්ද? මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ඔබට වගකීමෙන් පැවැසිය හැක්කේ කුමක්ද?

අපිට දැන් මෙහි පතුල පෙනෙනවා. 100% ක් වූ ආහාර උද්ධමනයේ වේගය පවා දැන් අඩු වෙලා. අපි වළපල්ලට වැටීමේ වේගය අඩු වෙලා. හානිය අඩු වෙලා. දැන් ආගාධයේ සිට අපි අහස ටික ටික දකිනවා. මේ නිසා අපි හෙමින් හෙමින් ඉහළට යා යුතුයි.

2023 ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණින් මෙවර අය වැය සකස් වුවත්, ඉදිරියට මීට වඩා අමාරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වන බවට ආණ්ඩුව පැත්තෙන්ම මත පළ වෙනවා...?

වැටීමේ වේගය අඩු වුණාට අපි තාමත් වැටිලා ඉවර නැහැ කියලා මම කිව්වේ ඒ නිසයි. අපිට හමුවන පළමුවැනි ඩොලර් එකම අපි වියදම් කරන්නේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දේට. එවැනි වැඩ පිළිවෙළක් හැදූ නිසයි අද තෙල්,ගෑස් පෝලිම් නැත්තේ. මේ නිසා අපිට හමුවන හැම ඩොලර් එකක්ම වියදම් කළ යුතු ආකාරය ගැන අපි අනුපිළිවෙළක් සකසා තියෙනවා.

නමුත් අපි තවමත් ඉහළට යන්න පටන් ගත්තේ නැති එක ගැන හැමෝම අවබෝධයෙන් සිටිය යුතුයි. මේ නිසා අපි කුමන මට්ටමේ සිටියත් මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න අපිට සෑහෙන කැපකිරීම් සිදු කළ යුතු වෙනවා. සමහරු ප්‍රශ්න කරන්නේ මුකුත්ම සිදු නොවූ ආකාරයෙන්. ඒ වගේම ජනතාවට පවා අපි සිටින තැන අමතක වෙනවා.

සෙස් බද්ද සම්බන්ධයෙන් දැඩි චෝදනා මතු වෙනවා. හොඳම උදාහරණය පාසල් උපකරණ අධික ලෙස මිල ඉහළ යෑම. ලක්ෂ 40ක් වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනයටයි මේ බලපෑම?

මේ රටේ නිෂ්පාදිත දෙයක් හා එයට සමාන දෙයක් විදේශයකින් ගේනවා නම් සෙස් බද්දක් අය කරනවා. මෙවිට පාරිභෝගිකයා ලංකාවේ දේ ගන්න පෙලඹෙනවා. මෙසේ ගන්න බද්දෙන් රජය ගන්නේ ඒ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන්මයි. නමුත් පසුගියදා සෙස් බද්ද ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ගැළපුවා. නමුත් දරුවන්ගේ අධ්‍යාපන භාණ්ඩවලට මේ ගැළපීම කළේ නැහැ. ලංකාවේ හදන මේ වර්ගයේ භාණ්ඩ කිසිසේත් වැඩි වීමක් සිදුවිය යුතු නැහැ. නමුත් මෙතැන තියෙන ප්‍රශ්නය අපි සෙවිය යුතුයි. යම් හෙයකින් මේ වැඩි වීමට මේ සෙස් බද්ද හේතු වුණාද කියා සොයන්න, එය ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු කරන්න වෙනමම කණ්ඩායමක් යොමු කළා. පසුගිය කාලයේ සියලු භාණ්ඩ මිල වැඩි වුණා. කඩදාසි මිල ඉහළ ගියා. ඒත් අය වැයෙන් පසු සෙස් බදු ගැළපීම වැඩිවීමට කිසිසේත් හේතුවක් නැහැ. මේ නිසා මිල පාලන අංශයත් වැඩි වැඩියෙන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියා මම ඉල්ලා සිටිනවා.

ඉදිරි මාස දරුවන්ගේ පාසල් පොත් ගන්න කාලයයි. ඒ නිසා කලදුටු කල වළ ඉහගන්නා මෙවැනි අය පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි.

ජනතාව පීඩාවට පත්කරමින් භාණ්ඩ මිල හිතුමනාපෙට වැඩි කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු කටයුත්තක් සිදු නොකරන බව පේනවා. ඇයි මිල නියාමනයක් කරන්න බැරි?

අපේ රටේ හොඳ පාරිභෝගික සේවා අධිකාරියක් තියෙනවා. ඔවුන්ගේ සේවය මේ අවස්ථාවේ අත්‍යවශ­්‍යයි. ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයන්ට මෙය හොඳ අවස්ථාවක්. හිටි හැටියේ ගණන් වැඩි කළත් රටේ හැටි කියලා ණය වෙලා හෝ භාණ්ඩ ගන්නවා. නමුත් මෙය පාලනය කරන්නට ඒ අයට වගකීමක් තියෙනවා. ඒ වගේම මේ අර්බුදකාරී අවස්ථාවක, බඩු හිඟයක් ඇති විට සාමාන්‍ය ක්‍රමයට ගිහින් මේ කටයුතු කිරීමට ඔවුන්ට බැරි වෙන්න පුළුවන්. අපි විදේශයෙන් ගේන භාණ්ඩ 2000 ක් එකවර නැවැත්වුවා. එසේ වූ පමණින් විශාල කළු කඩයක් නිර්මාණය වන බව අපි දන්නවා. මේ කළු කඩය හැදෙන්නේ ගෙයි පිළිකන්නේ. මෙය සාමාන්‍ය කාලයක මෙන් පාලනය කරන්න අමාරුයි. මේ නිසා හැම කෙනකුටම මේ අර්බුදයත් එක්ක ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා.

ඉදිරියේදි යළිත් කිරිපිටි, තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වන බවට රාවයක් පැතිර යනවා?

ඒක බොරු කතාවක්. අපේ දේශපාලඥයන්, මාධ්‍ය පවා අපි වැටිලා ඉන්න ව‍ෙළ් ගැඹුර තවම තේරුම් අරගෙන නැහැ. කුමන ජගතා ආවත් අනුගමනය කළ යුත්තේ එකම ක්‍රමවේදයයි.

මුලින් දෙසැම්බර් හා පසුව මාර්තු වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගත හැකි බව ප්‍රකාශ වුණා. මෙහි ප්‍රගතිය ගැන සඳහන් කළොත්?

අපි 16 වතාවක් IMF ගියේ ස්වෛරී රටක් ලෙස. 17 වැනි වතාවේ ගියේ බංකොලොත්වූ රටක් ලෙස. මේ නිසා අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මේ වන විට කාර්ය මණ්ඩල සාකච්ඡා සාර්ථකව සිදු වෙමින් තියෙනවා. IMF කාර්ය මණ්ඩල සාකච්ඡා කියන්නේ කොළ එළිය පත්තු වීමට පෙර කහ එළිය පත්තු වීමක්. දැන් කොළ ලයිට් එක පත්තු වෙන්න ආසන්නයි. ඒනිසා අනවශ්‍ය බිල්ලෝ මැවිය යුතු නැහැ.

දැනටමත් මුදල් අච්චු ගැසීමක් සිදු වෙනවාද?

ඔව්. නමුත් ඉවක් බවක් නැතුව නෙමෙයි. මුදල් අච්චු ගසා සන්දර්ශන පවත්වන්න යන්නේ නැහැ. ආර්ථික විද්‍යානුකූලව සිදු කළ හැකි සියලු ක්‍රමවේදයන් හරහායි මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නේ.

ඡායාරූප - යූ. ජී. නුවන් දුමින්ද 
(පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය)

Comments