පච්ච කෙටූ සුපිරි තරු | සිළුමිණ

පච්ච කෙටූ සුපිරි තරු

Tattoo එහෙමත් නැත්නම් පච්චා කියන්නේ වෙනම අනන්‍යතාවයක් තියෙන විලාසිතාවක්. නිහඬ සන්නිවේදන ක්‍රමයක් ලෙස තමන්ගේ සිතැඟි, අදහස් ලොවට පවසන්නත්, ඇතැම් වැදගත් මතකයන් සිය සම මත සදාඅනුස්මරණිය සිහිවටනයක් කරන්නත්, සිය පෙනුම තවත් ආකර්ෂණීය කරගන්නත් ආදී නොයෙක් හේතුන් සහ අරමුණු නිසා වර්තමානයේදී බොහෝ දෙනෙක් මේ පච්චාවලට යොමු වීම දකින්න පුළුවන්. අද අපි බලමු ලෝක ප්‍රසිද්ද සුපිරි තරු කිහිපයකගේ පච්චා පසුපස තියෙන බොහෝ දෙනෙක් නොදන්නා කතා කිහිපයක්.

 

ප්‍රියංකා චොප්රා

ඉන්දියානු සිනමාව දික් විජය කළ මේ රූ රැජන තමන්ගේ රංගන ප්‍රතිභාවය හොලිවුඩය දක්වාම විහිදවූ සුපිරි තරුවක්. ඇගේ දකුණු අතේ මැණික් කටුව අසල ඇති පච්චය වෙන්කර ඇත්තේ ඇගේ මියගිය පියා සිහිපත් වීම සඳහායි. ‘Daddy’s lil girl’ යනුවෙන් එය නිර්මාණය කෙරී ඇත්තේ අශෝක් චොප්රාගේ අත් අකුරින්ම වීම විශේෂත්වයයි.

ඇන්ජලිනා ජොලි

සුපිරි නිළි ඇන්ජලිනා ජොලිගේ සිරුරේ ඇති මුළු පච්චා ගණන 17ක්. ඒ සියල්ලම පාහේ ඇයව ප්‍රබෝධ කරන උත්ප්‍රේරක ලෙස සැලකිය හැකියි. ඒ මේ tomb ryder තරුව වඩාත් කැමැත්තක් දක්වන්නේ know your rights( ඔබේ අයිතීන් දැනගන්න) යන්නට බව පැවසෙනවා.

ඩේවිඩ් බෙකම්

බෙල්ලේ සිට පාදය දක්වා විවිධ ආකාරයේ පච්චාවලින් නෑවි සිටින හිටපු එංගලන්ත පාපන්දු නායකයා වඩාත් කැමැත්තක් දක්වන්නේ ඔහුගේ දකුණු අත්ල මත ඇති කුඩා දැරියකගේ සහ හදවතේ රුපයටයි. බෙකම්ට සිය ආදරය පෙන්වීම සඳහා ඔහුගේ දියණිය සිවු හැවිරිදි වියේදී නිර්මාණය කළ සිතුවමක් ඔහු මෙම පච්චය ලෙස යොදාගෙන තිබෙනවා. ජේසු තුමා, දිව්‍ය දුතයන් ආදීන්ද ඇතුළුව ඩේවිඩ්ගේ සිරුරේ ඇති සමස්ත පච්චා ගණන 40ට වැඩි වීම විශේෂත්වයයි.

විරාත් කෝලි

ක්‍රිකට් ලොව රජු ලෙස හැඳින්වෙන කෝලි පච්චා ලොවද රජෙකු බවට පත්ව සිටින්නේ ඔහුගේ සිරුර වසාගෙන සිටින අපූරු පච්චා විලාසිතා 8ක් හේතුවෙනුයි. ඔහුගේ දෙඅත්වල ඇති මකරෙකු සහ සමුරායි රණශුරයකුගේ පච්චා දෙක ඒ අතරින් වඩාත්ම ප්‍රකටයි. ශක්තිය, ආත්ම දමනය සහ ආත්ම විශ්වාසය එයින් සංකේතවත් කිරීමට අවශ්‍ය වූ බව කෝලි පවසනවා.

කන්ගනා රනවුට්

ඉන්දියානු සිනමාවේ රැඩිකල් නිළිය ලෙස හැඳින්වෙන මෙම සුරූපී නිළිය බොහෝ විට සිය අදහස් සෘජුව ප්‍රකාශ කරන්නියක් ලෙස ප්‍රකටයි. එම විප්ලවකාරිත්ව චරිත ස්වභාවය ඇය පච්චයක් කර තම ගෙල පිටුපස කොටාගෙන ඇත්තේ රණකාමි දේව දුතිකාව යන අදහසින් යුතුවයි.

එමා වොට්සන්

සිය රංගනයෙන් ලොවම වසඟ කළ එමා කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව හඬ නගන්නියක් ලෙස ප්‍රකටයි. එම අදහස ඇය සිය සිරුරේ අලුතෙන්ම කෙටූ පච්චයට ඇතුළත් කරන්නටද අමතක කර නැහැ. එමාගේ දකුණු අතේ මැණික්කටුව අසල සටහන්වී ඇත්තේ ‘times up’ යනුවෙනුයි.

ජස්ටින් බිබර්

කුකුළු කේන්තිකාරයකු වන ජස්ටින් ඒ හේතුවෙන්ම නොයෙක් විට එරට පොලිස් අත්අඩංගුවට පවා පත්වූවෙක්. ඒ හේතුවෙන්ම ඉවසිල්ල නිරතුරු සිහි කිරීම සඳහා ඔහු සිය කන අසල Patience ලෙස පච්චා කොටාගෙන ඇති බව සඳහන්. සිංහයන් ඇතුළු සතුන්ගේ රූපද සමඟින් තවත් නොයෙක් වදන්ද සහිතව ජස්ටින්ගේ සිරුරේද විවිධ ආකාරයේ පච්චා 40 පමණ තිබීම විශේෂත්වයයි.

මිලී සයිරස්

සුපිරි නිළි මිලී සයිරස් සිය ආදරය පෙන්වන්නේ පච්චාවලින් බව ප්‍රකට කරුණක්. ඇයගේ පැරණි සම්බන්ධතා සියල්ලකම මතකයන් මිලීගේ හදවතේ මෙන්ම සිරුරේද ගැඹුරින්ම කෙටි ඇත්තේ කිසිදා අමතක නොවන ලෙසිනුයි. ඇය සිය පියා සදාකාලික මතකයක් කරගෙන ඇත්තේ ඔහු වඩාත්ම ආදරය කළ යතුරුපැදියේ රුපයක් සිය අතෙහි කොටා ගනිමිනුයි. ඊට අමතරව ඇගේ පෙම්වතුන්ගේ මතකද මිලීගේ සිරුරේ බල්ලන් සහ පූසන් ලෙසද චිත්‍රය වී තිබෙනවා.

අක්ෂේ කුමාර්

සෙල්ලක්කාරයෙකු ලෙස ප්‍රකට වුවත් අක්ෂේ සිය පවුලට බොහෝ ලැදි අයෙකු බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්.ප්‍රකට නළුවා ඔහුගේ පිටෙහි සිය පුතු වන ‘ආරව්’ ගේ නම කොටාගෙන සිටින අතර ඔහුගේ දකුණු උරහිසේ ඇත්තේ ‘නිටාරා’ යන දියණියගේ නමයි. අක්ෂේගේ බිරිය වන ටිවින්කල් ‘ටීනා’ බවට පත්වී රැඳී සිටින්නේ ‘මොහ්රා’ නළුවාගේ වම් උරහිස මතයි.

බෙන් ස්ට්‍රෝක්ස්

එංගලන්තයට ක්‍රිකට් ලෝක කුසලාන දෙකක්ම දිනා දීමට දායකවූ බෙන්ගේ සිරුරේ පච්චා 13ක් අඩංගුයි. ඒ අතරින් වඩාත්ම විශේෂ වන්නේ ඔහුගේ පිටෙහි ඇති සිංහ පවුලේ රුපයයි. එය සිය පවුල සිහිපත් කරන බව බෙන් පවසනවා.

 

 ඉන්දික අතුල ප්‍රියන්ත

Comments