නෙස්ලේ සමාගම මෝල්ට් නිෂ්පාදන ධාරිතාව වැඩි කරයි | සිළුමිණ

නෙස්ලේ සමාගම මෝල්ට් නිෂ්පාදන ධාරිතාව වැඩි කරයි

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් සහ නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා ඇතුළු පිරිස

ටානියා මෝසස්,පන්නල සංචාරයකින් පසුව

නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් කරමින් ඉකුත් දා කුරුණෑගල සිය කර්මාන්තශාලාව සැරසුවේය. ඒ කුරුණෑගල කර්මාන්තශාලා පරිශ්‍රය තුළ නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් ස්ථාපිත කරමිනි. මෙම ආයෝජනයේ පරමාර්ථය නෙස්ලේ නෙස්ටමෝල්ට් සහ මයිලෝ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමය. මෙම නව නිෂ්පාදන ප්‍රවේශයත් සමඟ මෝල්ට් ආහාර නිෂ්පාදන ඒකකයේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ.

නෙස්ලේ වෙතින් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් කළ විශිෂ්ට පෝෂණ මැදිහත් වීමේ ඉතිහාසය සියවසකට එහා අතීතයකට දිවෙයි. නෙස්ලේ මෙරට ස්ථාපිත වන්නේ මීට වසර 115කට පෙරය. කුරුණෑගල පිහිටි නෙස්ලේ ලංකා කර්මාන්තශාලාව මෙහෙයුම් ආරම්භ කරන්නේ මීට වසර 38කට පෙර එනම් 1984 දීය. අද මෙරට අලෙවි කරනු ලබන නෙස්ලේ නිෂ්පාදනවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ එම කර්මාන්ත පරිශ්‍රය තුළය. මෙපමණ කාලයක් නෙස්ලේ මේ සමාජය තුළ පවතිමින් ස්ථාවරව ජන ජීවිතයේම කොටසක් බවට පත් වූයේ

ජාත්‍යන්තරය අනුදැන ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් අනුගමනය කරමින් 'යහපත් ආහාර, යහපත් ජීවිතය' (Good food, Good life) යන තේමාව මුල් කරගෙන කළ සද් ව්‍යාපාරය හේතුවෙනි.

ජාතියට කිරි ඉතිර වූ ව්‍යවසායකයකු ලෙස 25,000කට වැඩි ශ්‍රී ලාංකේය කිරි ගොවීන්ගේ ජීවිත පිබිද වූයේ නෙස්ලේ ය. ඊට අමතරව පොල් ගොවීන්ට සහ ගෙවතු වගාකරුවන්ට ද ජීවනෝපාය නිර්මාණය කර දුන්නේය. සමාගමින් උත්පාදනය කර ඇති ඍජු රැකියා ප්‍රමාණය 800කට අධික වන අතර, වඩාත් වැදගත් වන්නේ මෙම සමාගම ජාතික ආර්ථිකය විෂයෙහි දක්වන දායකත්වයයි. ඉකුත් වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලද මුළු මුදල රුපියල් බිලියන 6.6 ඉක්මවා ඇත.

නෙස්ලේ සමාගමේ අලුත් ආයෝජන ප්‍රවේශය ඔස්සේ එළි දකින Vacuum Band Daryer යන්ත්‍රය මෙරට ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ මුල් වරටය. එම යන්ත්‍රය ස්විස්ටර්ලන්තයේ නිපැයුමකි. ආහාර නිෂ්පාදනයේ නූතන තාක්ෂණික ඉලක්ක සපුරාලමින් නව යන්ත්‍රය ස්ථාපිත කිරීම ඉකුත් නොවැම්බර් 23 වැනිදා නෙස්ලේ කුරුණෑගල මාකුඳුර කර්මාන්තශාලා පරිශ්‍රයේදී සිදු විය. එම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා සමඟ නෙස්ලේ සමාගමේ නිලධාරිහු එක්ව සිටියහ.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments