නමින් හෙළි වන ඔබේ චරිතය | Page 2 | සිළුමිණ

නමින් හෙළි වන ඔබේ චරිතය

ඔබේ නමට අදාළ ඉංග්‍රීසි අකුරුවලට ගැළපෙන ඉලක්කම් සියල්ල තනි අංකයක් ලැබෙන තුරු එකතු කළ පසු අවසාන වශයෙන් ලැබෙන තනි ඉලක්කම ඔබේ නාම අංකය හෙවත් ප්‍රකාශන අංකයයි. ඒ අනුව ඔබේ ප්‍රකාශන අංකය හෙවත් නාම අංකය, අංක 5 නම් මේ එයින් හෙළිවෙන ඔබේ චරිත ලක්ෂණයි.

ඔබ දෑතේ මහන්සියෙන් ජීවත් වීමේ හැකියාවක් උරුම කරගත් පුද්ගලයෙකි. බොහෝ විට කුඩා කාලයේ සිටම විදේශ සංචාර සහ එතෙර රැකියාවල යෙදීමේ වාසනාව ඇත. ඔබ යමක් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් ඒ පිළිබඳ සිතා බැලීම හොඳයි. වචන භාවිතයේදී වඩා සැලකිලිමත් වන්න.

ආහාර ගැනීමේදී මනා සැලකිල්ලක් දැක්විය යුත්තේ ඔබගේ සෞඛ්‍යය කෙරෙහිය. විවිධ අපත්‍ය ආහාර ආදිය නිසා බොහෝ ඉක්මනින් ලෙඩ රෝග වැලඳීමට ඉඩ ඇත. එමෙන්ම බෝ වෙන රෝග ආදියෙන් වඩා පරෙස්සම් වීම හොඳයි. ඉතා හොඳ චින්තන ශක්තියක් ඇති ඔබට කරුණු වහා අවබෝධ කරගැනීමේ හැකියාව ද තිබේ. ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්, මහජන සම්බන්ධතා නිලධාරීන්, නීතිඥයන්, මැති ඇමැතිවරුන් ආදී බොහෝ වැදගත් මිනිසුන් මෙම නාම අංක පහ හිමි පුද්ගලයන් අතර වෙයි. විශේෂ සහජ හැකියා, දක්ෂතා රැසක්ම ඔබ සතු වන අතර ඔවුන් කුමන ක්ෂේත්‍රයක වුණත් ඉතා ඉදිරියෙන් සිටින පුද්ගලයන්ය. කුමන හෝ ක්ෂේත්‍රයකින් ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගනියි.

අවශ්‍ය තරම් විවේක ගැනීම ද එමෙන්ම නිතරම ව්‍යායාමවලට හුරු වීම ද කෑමෙන් බීමෙන් පරෙස්සම් වීම ද ඔබ වඩා සැලකිලිමත් විය යුතු කාරණා වෙයි. එමෙන්ම ඔබ තම මතයට තනි තීරණ ගෙන වැඩ කරන ගතිය තරමක් අඩු කර නම්‍යශීලී ස්වභාවයෙන් යුතු පුද්ගලයෙක් වීම අවශ්‍ය වන අතර, තැනට ගැළපෙන ආකාරයෙන් තමන්ගේ කටයුතු වෙනස් කර ගැනීමට හුරු වීම ද මතක තබා ගත යුතු වැදගත් කාරණාවකි. ඔබට යම් තත්ත්වයකට අනුව හැඩ ගැසීමට සැලකිය යුතු තරම් කාලයක් අවශ්‍ය වෙයි.

ඔබ බොහෝ දේවල් සම්බන්ධව දැනුමක් සහ පළපුරුද්දකින් යුතු පුද්ගලයෙකි. යමක් කළ යුතු ආකාරය ඉක්මනින්ම වැටහෙයි. නිතරම ඔබේ දියුණුවට අතහිත දෙන මිනිසුන් පමණක් ඇසුරු කරන්න.ඒ තුළ ඔබේ දක්ෂතා, හැකියා වර්ධනය කර ගැනීමට දියුණු වීමට අවස්ථාව උදා කරගත හැකිය. ඔබට සෑම විටම අලුත් දෙයක් පිළිබඳ ඉගෙන ගැනීමටත් සෙවීමටත් උනන්දුවක් සහ කුතුහලයක් පවතී. එකම දෙයක් තුළ ඇලී ගැලී සිටීමට ආසා නොකරන ඔබ විවිධත්වයට සහ අලුත් දේට ඇලුම් කරයි. එමෙන්ම ස්වාධීන අදහස් ඇති ඔබ නිදහස් මතධාරියකු ලෙස ද හැඳින් විය හැකිය. ඔබේ නිදහසට කිසිවකු බාධා කරනවට කැමති නැත. තමාටම ආවේණික ගමන් මාර්ගයක ජීවිතය ගතකරන අංක පහ හිමියන් ජීවිතයේ ඉහළ සාර්ථකත්වයකට ළඟා විය හැකි පුද්ගලයන්ය.

නාම අංක 6 පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී, පාඨශාලාචාර්ය 
ඉසිවර සහන ජ්‍යෝතිෂ්‍යය සේවය

Comments