දරුවන්ගේ සපත්තු - බෑග් මිලට ගන්න මවුපියන් විඳින දුකක් | Page 2 | සිළුමිණ

දරුවන්ගේ සපත්තු - බෑග් මිලට ගන්න මවුපියන් විඳින දුකක්

සපත්තු හා පාසල් බෑග් ප්‍රධාන වශයෙන් අලෙවියට ඇත්තේ මල්වත්ත පාර, ප්‍රින්ස්ප්‍රස්රීට් හා පීපල්ස් පාක් සංකීර්ණයේය. කොටුව ඉස්ටේසමට ප්‍රතිවිරුද්ධ දෙසින් මල්වත්ත පාරට ඇතුළු වූ විට මුලින්ම හමුවන බෑග් කඩේ පාසල් බෑග් ඇතුළු විවිධ බෑග් ගොඩ ගසා තිබුණි. අප එම කඩයට ඇතුළු වූ විට කඩේ හිමිකරු අපේ ඡායාරූප ශිල්පියාගේ කැමරාව දැක කලබලයට පත්විය. පාසල් බෑග් හා සපත්තු මිල වැඩි වීම ගැන කරන විශේෂාංගයකට මිල ගණන් වැඩි වීම ගැන ඔහුගෙන් විමසා සිටියෙමි.

"බොෂා මේ අලුත් ඩිසයින් තියෙනවා බලන්න නේද ආවේ. මුදලාලි එළියට ගිහින් මම අද තමා වැඩට ආවා. ඔය ඕන තරම් අයිතිකාරයෝ ඉන්න ෂොප් තියන්නේ. ඒගොල්ලන්ගෙන් අහගන්න."

ඊට යාබදව තිබූ බෑග් කඩය දෙස බැලුවෙමි. එහි එළියට පේන්න තිබුණේ බුදු පිළිමයකට පහනක් පත්තු කොට විදුලිමය හඳුන්කූරු පත්තු කළ බිත්තියකි. කඩේ නම 'රංග ස්ටෝස්'ය. ව්‍යාපාරයේ ආරම්භකයාගේ පින්තූරයක් බුදු පිළිමයට යටින් එල්ලා ප්ලාස්ටික් මල් මාලයක් ද දමා තිබුණි. ව්‍යාපාරයේ හිමිකරු වූයේ රංග කුමාරය. රංග අපට කිව්වේ මල් මාලාව දමා ඇත්තේ මිය ගිය තම පියාට බවය.

"තාත්තා බෑග් ෂොප් එක පටන් අරන් අවුරුදු තිහකටත් වැඩියි. මෙහෙම තත්ත්වයක් කවදාක්වත් තිබ්බේ නෑ. ගොඩක් අය ගණන් අහල පරණ ගණන්වලට බෑග් තියෙනවද අහනවා. ළමයි ආස ඉම්පෝට්ඩ් බෑග්වලට, චීනෙන් එන බෙන්ටෙන්, ස්කුබිඩූ, එම්බාක් බෑග් තමයි අහන්නේ. ඒ දවස්වල ඒ බෑග් එකක් රු. 1500/- විතර ඉඳන් තිබුණා. දැන් තිබුණොත් හත් අටදාහක් වෙනවා. වෙනදට මේ වෙනකොට ඉස්කෝලෙ බෑග් සීසන් එක පටන් අරන්. අපිට කන්න යන්න වෙලාවක්වත් නෑ. දැන් රු. 800/-ට විතර තිබුණ ලෝකල් බෑග් එකත් රු. 1500/-ට වැඩියි.

මේ බෑග් කඩවල පාසල් සිසුන්ට විකුණන්නට ඇති සමහර බෑග්වල ප්‍රමාණය දුටු විට අප පුදුමයට පත්වූයේ එතරම් විශාල බෑග් කරගහගෙන දරුවෙකුට පාසල් යා හැකිද යන ප්‍රශ්නය ය.

අප අසා ඇත්තේ කූඹියාට උගේ බර මෙන් දස ගුණයක බරක් ඔසවා ගමන් කළ හැකි බවය. එහෙත් පාසල් දරුවා කූඹියකු නොවේ. පාසල් දරුවාට ඉසිලිය හැකි බර ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාව මඟින් තක්සේරු කර තිබේ. එය දරුවාගේ සිරුරේ බර ප්‍රමාණයෙන් 10%කට වඩා අඩු විය යුතුය. පාසල් දරුවන්ගේ කොඳුඇට පෙළ කුදු ගැසීම සහ කශේරුකා ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු තවමත් නො විසඳුන සහ අවධානය යොමු නොවූ සමාජ අර්බුදයක් වී තිබේ. මෙම අර්බුදය මැනවින් අවබෝධ කර ගත් ඉන්දියානු රජය පාසල් සිසුන්ගේ අධි බරැති පොත් බෑගය සහ ගෙදර වැඩ නවතා දැමීමට තීරණය කරන ලද්දේ කලකට ඉහතය. ඒත් ඉතින් අපේ දරුවෝ තවමත් තඩි පොත් බෑගයක් (තමන්ගේ බරටත් වැඩි) කරගහගෙන පාසල් යාම ඛේදවාචකයක් වී තිබේ.

ඊළඟට අප ගොඩ වූයේ මල්වත්ත පාර ඒ. ආර්. ෂූ පැලස් එකටය. අප මෙසේ ගොඩ වූ පාසල් බෑග් කඩ ගණන දහයකට වැඩිය. ඒ. ආර්. ෂූ පැලස් එකේ කළමනාකරුවන් වූයේ කරිම් සහ ඉර්ෂාඩ් මෙහොමඩ්ය. හාරසීයට තිබ්බ ස්කූල් බෑග් එක එක්දහස් පන්සියයයි, 1200 තිබ්බ එක 3000යි. අලුත් ප්‍රයිස් මිනිස්සුන්ට කියන්නේ කෝමද? ඉම්පෝට් බෑග් රු. 1500ට විතර තිබ්බේ. දැන් 8000/= විතර වෙනවා. අපි අවුරුදු 10ක් තිස්සේ බිස්නස් කරනවා. රු. 500 - 600 කින් බෑග් එකක් වැඩි වුණාට කමක් නෑ. දැන් සියයට තුන්සීයකින් විතර වැඩිවෙලා තියෙනවා. රු.8/=ට තිබ්බ බෑග් සිප් එක දැන් රු.25/=යි. ඉස්සර උදේ 10 වෙනකොට රු. 30,000/=කට වැඩිය බිස්නස් තියෙනවා. දැන් ෆස්ට් බිස්නස් එක වෙනකොට සමහරදාට දවල් එකත් පනිනවා."

පිටකොටුව තොග කඩවල ඇති සමහර පාසල් බෑග් දුටු විට අපට ප්‍රශ්නයක් වූයේ ඒවා පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට කෙසේ බලපානු ඇත්ද කියාය. කලක් පාසල් සිසුන් සම්බන්ධයෙන් පැන නැඟුණු ප්‍රධානම ගැටලුවක් බවට පත්වී තිබුණේ පාසල් බෑගයයි. මේ නිසා පාසල් ශිෂ්‍යයන්ට නොයෙක් ශාරීරික ගැටලු මතු වන බව තහවුරු විය. නමුත් ඒ කුමන හේතුවක් නිසා දැයි බොහෝ දෙනෙකුට නිශ්චිත අදහසක් තිබුණේ නැත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මේ පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ලදී. ඒ අධ්‍යයනය සඳහා තෝරා ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගත්තේ, ඒ ප්‍රදේශය තුළ සියලුම සමාජ තත්ත්වයන් නිරූපණය වන නිසාය. ඒ ප්‍රදේශයේ පාසල් වර්ගීකරණය විවිධයි. එහිදී පාසල් 55ක, පන්ති කාමර 55ක සිසුන් 1607 මේ අධ්‍යයනයට භාජනය කරන ලදී.

ජාත්‍යන්තරව පිළිගත් වඩාත් සෞඛ්‍යාරක්ෂිත යැයි හඳුනා ගෙන තිබෙන්නේ උරහිස් දෙකට පටි යොදා පිටෙහි එල්ලාගෙන යන බෑග් (Back Pack) මාදිලිය වේ. අපේ රටේ ළමයින්ගෙන් 80%ක්ම පාවිච්චි කරන්නේ Back Pack මාදිලියේ බෑග් වුවත් එහි අඩුපාඩුකම් රැසක් තිබේ. එහි බර අධිිකය. නිවැරදි ක්‍රමය අනුව බෑගයේ මුළු බර සිරුරේ බරෙන් 10%ක් විය යුතුයි. නමුත් අපේ දරුවන්ගේ බෑග්වල බර 10% ඉක්මවා තිබුණා. පාසල් බෑගයේ බරින් 67%ක්ම වෙන්වී තිබුණේ පොත් වලටයි. සිසුන්ගෙන් 72%ක් පැවසුවේ බෑගය නිසා ඔවුන්ට විවිධ ශාරීරික අපහසුතා දැනෙන බවයි. සිසුන්ගෙන් 30%ක් දිගින් දිගටම මාංශ පේශි වේදනාවලින් පෙළෙන බව හෙළි වී ඇත. ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ පාසල් බෑගයයි. නමුත් අප මේ පාසල් බෑග් විකුණන කඩවලින් අලෙවි කරන පාසල් බෑග්වලට ප්‍රමිතියක් තිබේදැයි ඇසූ විට ඔවුන් ඒ ගැන දැනුම්වත් වී සිටියේ නැත. ඔවුන් පවසා සිටියේ බසාර් එකේ ඉම්පෝටඩ් බෑග් සහ ලස්සන බෑග්වලට වැඩි ඉල්ලුමක් තිබෙන බව පමණකි. අප මේ බෑග් කඩවල් අසල සැරිසරන විට බොහෝ දෙමාපියන් පැමිණ බෑග් කඩවලින් බෑග් මිල ගණන් අසමින් එළියට බැස්සේ විස්සෝප වෙමිනි. ඒත් අනෙයි අපොයි කියන්නාක් මෙන් කම්මුලට අත තබා ගනිමිනි.

අපේ ඊළඟ අරමුණ වූයේ පාසල් සිසු සිසුවියන්ගේ සපත්තු මිල ගණන් ගැන සොයා බැලීමටය.

මල්වත්ත පාර ආශ්‍රිතව පාර අයිනේ ගොඩගසා ඇති සපත්තු තට්ටු අතර සිටි අප මුලින්ම ඇමතුවේ ප්‍රියලාල් ද සිල්වාටය.

"අම්මල තාත්තල ඇවිල්ල ඉස්කෝලේ දාන සපත්තුවල ගණන් අහල පුදුම වෙනවා. සමහරු සපත්තු ගණන් අහල කියනවා මේ සැරේ ළමයා ඉස්කෝලෙ අරින්න වෙන්නේ බාටා දෙකක් දාලා තමයි කියලා. අපි පේමන්ට් එකේ අවුරුදු 15ක් අලුත් සපත්තු බිස්නස් කළා. මේ වගේ මිල වැඩි වුණේ නැහැ. සපත්තු ගණන් අහල අන්තිමට පාවිච්චි කරපු සපත්තු දෙකක් අරගෙන යනවා.

අප ඊළඟට බලා සිටියේ මල්වත්ත පාරේ සපතේරුවන් දෙසය. ඔවුන් ගජරාමෙට වැඩය. මල්වත්ත පාරේ රෝහිනි පටුමග හන්දියේ සපත්තු රෙපයාර් කරන හාදයාගේ නම චන්දදාස වුණත් කවුරුත් ඔහු ඇමතුවේ මද්දු කියාය.

"දැන් දෙමවුපියෝ ගන්නේ පරණ සපත්තු අපිට තියලා අලුත් අඩියක් ගස්සවා ගන්නවා. මේ මිලට සපත්තු ගන්න පුළුවන්ද? දැන් සපත්තු රෙපයාර් කරගන්න එන පිරිස වැඩිය. දැන් සපත්තු උස්සන් එන්නේ මවුපියෝ. රෙපයාර් කරන්න බැරි තරම් සපත්තු දෙකක් දීලා මොනවා හරි කරල දෙන්න කියල බැගෑපත් වෙනවා."

බොහෝ දෙමාපියන් A4 කොළයක ළමයාගේ කකුල තියා කකුල ඇඳගෙන විත් එම ප්‍රමාණයේ සපත්තු ගැන විමසනු අපිට දැකගත හැකි විය. මල්වත්ත පාරේ පරණ සපත්තු කඩවල දැන් පෙනෙන්නට තබා ඇති ෆුල් ඩිමාන්ඩ් බඩු වන්නේ සෙකන්ඩ් හෑන්ඩ් පාසල් සපත්තුය. එයිනුත් සිසුවියන්ගේ සපත්තු ගණන් ටිකක් වැඩිය. එම සපත්තුවල මිල මුද්‍රණය කර ඇති තැන මිල පෙනෙන්ටම කළු මාකර් එකකින් කපා ඇත. මේ බොහෝ සපත්තු අලෙවි වන්නේ මුද්‍රිත මිලටත් වඩා වැඩි මිලකටය. ඒත් එහි දැන් මිලට වඩා තුන් ගුණයකටත් වඩා අඩු මිලකි.

මල්වත්ත පාරෙන් හැරී අපි ප්‍රින්ස් ස්ට්‍රීට් එකට ගියේ සපත්තු හදන හම්, අඩි, ගම් ඇත්තේ එහි කඩවල නිසාය. රුපියල් 300ට තිබුණ සපත්තු ගම් ඩප්පිය රුපියල් 900කි, රුපියල් 300ට තිබූ සපත්තු අඩිය 1200කි. සපත්තු මහන හම්වල නම් වැඩිවීම 400%ටත් වැඩිය.

කලකට ඉහත ලංකාවේ සපත්තු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූයේ චීන සපත්තු නිසාය. චීනය වැනි රටවල නව විලාසිතාවන්ට අනුව පාවහන් විශාල ප්‍රමාණයක් නිපදවයි. එම පාවහන් ටික කලක් ගිය විට ඒ රට තුළ පැරණි විලාසිතා බවට පත්වේ. එවිට එවැනි පාවහන් ඉතාම අඩු මුදලකට තොග වශයෙන් අපේ රටවලට ආනයනය කළ හැකියි. දේශීය පාවහන්වල මිලට වඩා අඩු මුදලකට විදේශීය පාවහන් මෙරට පාරිභෝගිකයනට ලබා ගත හැකි වූ යුගයේ මේ නිසා මෙරට පාවහන් කර්මාන්තය දිනෙන් දින විනාශයට පත්වීමේ මාර්ගයට යොමු වූයේ දැඩි අවධානමක් දේශීය සපත්තු නිෂ්පාදකයන්ට ඇති කරමිනි.

අප ප්‍රින්ස් ස්ට්‍රීට් එක හරහා ගියේ එදා ලංකාවේ හදපු හොඳම සපත්තු හදපු ආණ්ඩුවේ කොම්පැනිය DI කොම්පැනියෙ ශාඛාවක් එම මාර්ගයේ තිබුණ නිසාය. සුද්දාගේ කාලෙ 1932 වසරේදී සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගම හෙවත් ලංකා සම් භාණ්ඩ නිෂ්පාදන සංස්ථාව ආරම්භ කිරීමේ අරමුණ වූයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය සපත්තු වර්ග සහ සම්භාණ්ඩ උපාංග නිපදවීමයි.

දේශීය වෙළෙඳ පොළට පමණක් සීමාවූ DI වෙළෙඳ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට ද අපනයනය කිරීම ආරම්භ කරන ලද්දේ 1972 දීය. නමුත් අප තවමත් අඩු මිලට චීනයෙන් සපත්තු එනකම් බලාගෙන සිටිමු. අද බොහෝ දෙනා පාසල් සපත්තු මිල ඉහළ යාම ගැන දොස් කිව්වත් ලංකාව පිටරටට ද සපත්තු අපනයනය කළ රටක් බව බොහෝ දෙනාට අමතකය. ජපානය, යුරෝපය, නෙදර්ලන්තය, ඉතාලිය, ඉන්දියාව හා චීනය යන රටවල ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය ආරක්ෂක සපත්තු, බඳපටි, කාන්තා විලාසිතා සඳහා අවශ්‍ය නවීන මාදිලියේ අත්බෑග්, පසුම්බි, එක් එක් ඍතු සඳහා ගැළපෙන සපත්තු මේ ආකාරයට අපනයනය සඳහා එක්වූ ප්‍රධාන නිෂ්පාද භාණ්ඩ වූ බව ලංකා සම්භාණ්ඩ නිෂ්පාදන සංස්ථාවේ ඉතිහාසය පිරික්සූ විට පෙනේ. ලංකාවේ සපත්තු අඩු මිලට නිෂ්පාදනය ගැන අවධානයකින් සිටි පුද්ගලයකු නම් ජනපති ප්‍රේමදාසය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තය දියුණු කළ අවදියේ සපත්තු කර්මාන්තය ද මේ රටේ දියුණු කළ හැකි කර්මාන්තයක් ලෙස හඳුනාගෙන ඊට අනුග්‍රහය දැක්විණි. ලක්ෂ්මන් ආර්. වටවල ආයෝජන මණ්ඩල සභාපති කාලයේ ඊට ආයෝජන මණ්ඩලය තුළ පිළිගැනීමක් ලැබිණි.

ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදනය වෘත්තීය කරගෙන සිටින පිරිස පුහුණු කිරීමට විධිමත් ක්‍රමයක් නැත. ඉන්දියාවේ නව දිල්ලියේ සම්භාණ්ඩ නිෂ්පාදනය උගන්වන වෙන පුහුණු පාසලක් තිබේ. තාක්ෂණය මෝස්තර ආදී සියලු දේ උගන්වන දියුණු පාසලක් ලෙස මෙයට ඇත්තේ විශාල පිළිගැනීමයි. හිටපු කර්මාන්ත අමාත්‍ය සී.වී. ගුණරත්න යුගයේදී ඔහුගේ උනන්දුව මත මොරටුව කාර්මික සංවර්ධන මණ්ඩලය ආශ්‍රිතව සම් භාණ්ඩ නිෂ්පාදනය පුහුණු කරන ආයතනයක් ආරම්භ විය. බණ්ඩාරනායක සම්භාණ්ඩ පුහුණු ආයතනය නම්වූ මෙමඟින් කර්මාන්තයට සෑහෙන සේවයක් සිදුවිය. දේශීය සම්භාණ්ඩ නිෂ්පාදන සමාගම් මෙන්ම පුද්ගලික නිෂ්පාදකයෝ ද මෙහි සේවය ලබා ගත්හ. රජයට මුදල් නැත කියා මෙම ආයතනය ද වසා දමා තිබීම අද පාවහන් මිල ඉහළ යාමට ඍජුව බලපා ඇත.

ලංකාවේ පාසල් සිසු සිසුවියන්ගේ සපත්තු අවශ්‍යතාවට ආනයනික තහනමත් සමඟ දේශීය සපත්තු නිෂ්පාදකයන් දෙදෙනකු අතට සමස්ත වෙ‍ෙළඳපළ දැන් කේන්ද්‍රගත වී ඇත. මේ දැවැන්ත සමාගම් දෙකින් එකක ප්‍රදර්ශනාගාරයට අප පිවිසියේ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේය. එහි කළමනාකරු ක්‍රිෂාන්ත ප්‍රනාන්දු වූ අතර ගිණුම් කටයුතු භාරව සිටියේ එරන්ද සිල්වාය.

"මේ සපත්තු මැටීරියල් ගේන්නේ ඉන්දියාවෙන් නැත්නම් චීනෙන්. ඉන්දියන් රුපියල තිබ්බේ 2.40යි. දැන් 4.78. දැන් ළමයි තුන්දෙනෙක් හිටියොත් සපත්තු ජෝඩු තුනට රුපියල් 10,000/= විතර යනවා. බෑග් තුනටයි, පොත්පත්වලටයි තුන්දෙනෙක්ට වියදම ලක්ෂයකට කිට්ටු වෙනවා. පරණ මිලට තිබ්බ ළමයින්ගේ සපත්තු අපි ඒ මිලටම සේල් දැම්මා. කවුද ෆේස්බුක් එකේ ඒ මිල ගැන post එකක් දාලා. දැන් පරණ ගානේ සපත්තු එකක්වත් නැහැ. දැන් තියෙන්නේ අලුත් මිල.

අපි ඊළඟට ගියේ ලංකාවේ අනෙක් ප්‍රධානතම සපත්තු නිෂ්පාදකයාගේ ප්‍රදර්ශනාගාරයට. පින්තූර ගැනීමටත් පෙර එහි එක් සේවකයකු අප සමඟ තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේය.

"ඕගොල්ල මේ සපත්තු මිල වැඩිවීම ගැන අහනවා. මේ සපත්තු කඩේ වැඩ කරන අපි කල්පනා කර කර ඉන්නේ ළමයි තුන්දෙනාට සපත්තු තුනක් ගන්නේ කොහොමද කියලා."

පාසල් බෑග් සහ පාසල් සපත්තු ගැන කරන ලද සමීක්ෂණයේදී අපට තහවුරු වූයේ මේවා දරාගත නොහැකි ලෙස ඉහළ යෑම අසරණ මවුපියන් ගසා කෑමේ මාෆියාවක් බවය. මේ රටේ ඇති පාරිභෝගික අධිකාරිය ඇතුළු කිසිදු රාජ්‍ය යන්ත්‍රණයක් මෙරට පාසල් සිසු දරුවන්ගේ බෑග් හා සපත්තු දරාගත නොහැකි ලෙස ඉහළ යෑමට එරෙහිව සක්‍රීයව තම විරුද්ධත්වය ප්‍රකාශ කොට මිල අඩු කළේ නැත. රාජ්‍ය ව්‍යාපාරයක් වූ DI වැනි සපත්තු නිෂ්පාදන තිබුණා නම් ජනතාවට මිල කේවල් කිරීමේ බලයක් හිමි වන්නේ නිරායාසයෙනි. අවසානයේ මේ මිල වැඩිවීමේ සාපයට ලක්වූයේ හතළිස් ලක්ෂයක් වූ සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාවමය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ අඩියක් ගසා පරණ සපත්තුව රෙපයාර් කිරීම හෝ පරණ සපත්තු දෙකක් ගෙන රෙපයාර් කරගෙන පාසල් යන්නට තරමට දෙමාපියන්ගේ ද්‍රවශීලතාව පහත් අඩියට ඇද වැටීමය. මෙහෙම ගියොත් පහසු ගෙවීමේ ක්‍රමයට පාසල් බෑග් - සපත්තු මිලදී ගන්නට ෆිනෑන්ස් පහසුකම් සපයාගත යුතු යුගයක් එළඹෙන බව නම් නිසැකය.

ඡායාරූප - රංජිත් අසංක

Comments