තෙත ඇඳුමින් මාට්ටු වූ වයඹ හොර හරක් කල්ලිය | Page 2 | සිළුමිණ

තෙත ඇඳුමින් මාට්ටු වූ වයඹ හොර හරක් කල්ලිය

සුපිරි වෙළෙඳසල අසල නැවතු බට්ටා වෑන් රථය ගැන සැක කළ රථ වාහන පොලිස් නිලධරයන් සැකකරුවන් අල්ලන්න ගහපු ගැටේ

 

ගව සොරකම් පිළිබඳ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙද්දී පන්නල ප්‍රදේශයේ ගව සොරකම්වල වැඩි වීමක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබිණි. ඇතැම් දිනවලදී පන්නල පොලිස් පොතේ ගව සොරකම් සම්බන්ධයෙන් ලියැවුණු පැමිණිලි ගණන තුන හතර ද ඉක්ම වීය.

කලින් ලද පැමිණිලිවලට අනුව පොලිසිය කළ පරීක්ෂණවලදී සැක කටයුතු 'බට්ටා' වෑන් රථයක් පිළිබඳ තොරතුරු ලැබී තිබිණි. ඒ ගව සොරකම් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ කිහිපයකදීම සීසීටීවී කැමරා දර්ශනවල අදාළ බට්ටා වෑන් රථය නිරීක්ෂණය වීමෙනි. මේ කුඩා වෑන් රථය ගව සොරකම්වලට කුමන හෝ සම්බන්ධයක් ඇතැයි සිතූ රථ වාහන අංශයේ නිලධාරීන් රාත්‍රී කාලයේදී මෙවැනි වාහන නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන්නට වූයේ ඉන් පසුවය.

පන්නල පොලිසියේ රථ වාහන අංශයේ රාජකාරි කරන සැරයන් සමරතුංග (49239) සහ කොස්තාපල් වසන්ත (51001) යන නිලධාරීන් පසුගියදා 5 වැනිදා රාත්‍රී යතුරු පැදි මුර සංචාරයේ නිරතව සිටියේය. එදින රාත්‍රී 9.50ට පමණ පොලිසියට පැමිණෙමින් සිටියෝය. ඒ අතර එම නිලධාරීන් කුලියාපිටිය, පන්නල පාරේ පිහිටි සුපිරි වෙළෙඳසලක් අසල නවතා තිබුණු බට්ටා වෑන් රථයක් දකින්නේ ඔය අතරය. ටික දුරක් ඉදිරියට ගොස් නැවතත් යතුරුපැදිය හරවා ගත් නිලධාරීන් දෙදෙනා වෑන් රථය අසලට පැමිණෙන්නේ එම බට්ටා වෑන් රථ ගැන අවධානයෙන් පසු වූ නිසාය. වෑන් රථයේ ඉදිරිපස දොර විවෘතව තිබුණු අතර, එක් අයකු පිටත සිටියේය.

"මහත්තයල කොහෙද? මේ කොහෙ යන ගමන් ද?" එක් පොලිස් නිලධාරියකු පිටත සිටි පුද්ගලයාගෙන් විමසීය. "අපි තිහාරියෙ සර්. රෙදි බිස්නස් එකක් කරනවා. මේ රෙදි වගයක් බලන්න පන්නල හැලබඩගමට ආව ගමන්." "වෑන් එකේ පිටිපස්සෙ දොර පොඩ්ඩක් අරින්න." එක් නිලධාරියෙක් රියැදුරුට කීය. මුලින් අකමැති වුවද පසුව ඔවුන් පිටුපස දොර විවෘත කෙළේ පොලිස් අණ නොතකා සිටීමට නොහැකි නිසාය. පොලිස් නිලධාරීන් වාහනය පරීක්ෂා කළාය. පිටුපස තෙත ඇඳුම් කිහිපයක් තිබුණු අතර, ඒවායින් යම් දුර්ගන්ධයක් ද වහනය විය. හරක් මස්වලින් දැනෙන එම ගන්ධයට සමාන ගන්ධයක් එම ඇඳුම්වල ද තිබූ නිසා නිලධාරින්ගේ සැකය තව තවත් වැඩි විය. අනෙක් නිලධාරියා වාහනයේ තිබූ කාපට් ආදිය අදිමින් පරීක්ෂා කළ අතර, වම්පස කාපට් එකක් ඇතුළත තිබී සුදු පිහි කිහිපයක් හමුවන්නේ ද ඔය අතරය.

"මේ පිහි මොකටද?" පොලිස් නිලධාරින්ගේ ඊළඟ ප්‍රශ්නය වූයේ එයයි. "මේ මල්ලිලා දෙන්න වැඩ කරන්නෙ කුකුළු ෆාම් එකක සර්. එයාල ඔය මස් කපන්න ගන්න පිහි." එක් පුද්ගලයෙක් කීවේය. ඒ පිහි ද හොඳින් පරීක්ෂා කළ නිලධාරින්ට හරක් මස්වල ගන්ධයක් දැනුණ ද ඒ බව අඟවන්නට ගියේ නැත.

මේ පසුගිය කාලයේ ගව සොරකම්වලට සම්බන්ධ පුද්ගලයන් සහ බට්ටා වෑන් රථය බව තහවුරු විය. ඊළඟට මතු වූයේ මොවුන් අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්නය. කතාවෙන් කතාවෙන් එක් නිලධාරියකු වෑන් රථයේ යතුර තමා අතට ගන්නේ මොවුන් වෑන් රියෙන් පැන යෑම වළක්වාලමිනි.

"ඇයි සර් යතුර ගත්තෙ..." වාහනයේ ආ එක් පුද්ගලයකු පොලිස් නිලධරයකුගෙන් එලෙස විමසීය. "නෑ... අපිට තව ටිකක් මේ වාහනේ චෙක් කරන්න ඕනෑ..." පොලිස් නිලධරයා ඔහුට කීවේය. වෑන් රියැදුරු පොලිස් නිලධාරීන් ළඟට පැමිණියේ ඉන් පසුවය. "සර්... එහෙම කරන්න එපා... අපි යන්නම්... සර්ලට සපෝට් එකකුත් දෙන්නම්...." රියැදුරු වෑන් රියේ ඉදිරිපස දොර විවෘත කර යම් දෙයක් රැගෙන නැවත පොලිස් නිලධාරීන් වෙත පැමිණියේය. "මේක තියාගන්න සර්...."

ඒ මොනර කොළ කිහිපයකි. පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කරද්දී රියැදුරු නැවතත් වෑන් රිය ඉදිරිපස තිබූ බෑගයකින් ගත් 'තවත් මොනර කොළ' කීපයක් නිලධාරීන් අත තබන්නට උත්සාහ ගත්තේය.

පගාව දීමට උත්සාහ කිරීම නිසා දැනටමත් ඔවුන් වරදකරුවන් බවට හොඳින්ම තහවුරු වන්නකි. මුදල් ප්‍රතික්ෂේප කළ නිලධරයෝ ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගන්නා අයුරු නැවතත් කල්පනා කළෝය. මඳ වේලාවක් ගත විය. එක් නිලධාරියකු මේ අය සමඟ වෑන් රියට නැඟීමට මෙන් ගොස් එකවර තිදෙනා වෑන් රිය ඇතුළට දමා දොරවල් අගුලු දාන්නේ එක් අයකුටවත් පැන යාමට නොහැකි ලෙසටය. එම ප්‍රයත්නය සාර්ථක විය. ඒ අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධරයෝ මේ ගැන පන්නල පොලිස් ස්ථානාධිපති දැනුම්වත් කළෝය.

"හරි.. අපි දැන්ම එනවා. එතකන් කාටවත් පැනල යන්න දෙන්න එපා..." ස්ථානාධිපතිවරයා පොලිස් නිලධරයන්ට එලෙස දැනුම් දුන්නේය.

එවෙලේම පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂන් රත්නායක ඇතුළු නිලධාරීන් කීපදෙනකු එම ස්ථානයට පැමිණි අතර, ස්ථානාධිපති වෑන් රියේ දොර විවෘත කරනවාත් සමඟ එක් අයකු පිහියක් අතින් ගෙන එළියට පැන කෑ ගසන්නට විය. එම කෑ ගැසීම් සුළු මොහොතකට සීමා විය. පොලිස් නිලධාරීන් පැන තිදෙනාටම මාංචු දමා අත්අඩංගුවට ගෙන ජීප් රියට නංවා ගන්නේ ඉන් පසුවය.

පන්නල ප්‍රදේශයේ සිදු වූ ගව සොරකම් පිළිබඳ 'ඇත්ත' හෙළි වන්නේ මේ සැකකරුවන්ගෙනි. මොවුන් අත්අඩංගුවට ගත් දිනයේදී මාකඳුර එළුවිල පාරේ සිටි ගවයන් දෙදෙනකු දහවල් කාලයේ 'බැලූ' බවත් රාත්‍රී කාලයේදී උන් ඝාතනය කර මස් රැගෙන යෑමට පැමිණි බවත් පාපෝච්චාරණය කරන්නේ ඉන් පසුවය. එලෙස පැමිණි මොවුන් පොලිසියට කොටු වන්නේ දුම්වැටියක් ගැනීමට සුපිරි වෙළෙඳසල අසලට පැමිණි අවස්ථාවේදීය.

කාලයක් තිස්සේ ජයටම මේ ගව සොරකම සිදු කර ඇති බවට පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි විය. සැකකරුවන් දහවල් කාලයේදී ගවයන් සිටිනා ස්ථාන හොඳින් නිරීක්ෂණය කර රාත්‍රී කාලයේදී එම තැන්වලට ගොස් ගවයන් මරා මස් කිරීම සිදු කර තිබේ. එසේම ඉතිරි වන කොටස් එම ස්ථානවලම දමා පැමිණෙන බවත් මස් ඉටි කොළවල ඔතා පෑලියගොඩ සහ දෙමටගොඩ ගව මස් වෙළෙදුන් දෙදෙනකුට අලෙවි කරන බවත් හෙළි විය. මෙසේ රැගෙන එන ගව මස් කිලෝව රුපියල් 1200ත් - 1500ත් අතර මුදලකට විකුණා තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ නිට්ටඹුව කහටෝවිට, තලෙයි මන්නාරම සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29, 33 සහ 44 යන වයස්වල පසුවු තිදෙනෙකි. වෑන් රියේ තිබී පිහි 10ක්, කම්බි කපන අඬුවක්, පිහි මුවහත් කිරීමට යොදා ගන්නා ගිනි ගලක්, මස් ඇසුරුම් කිරීමට යොදා ගන්නා ඉටිකොළ රෝල් තුනක්, පෝර උර 15ක් සහ ඇඳුම් කීපයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්පසුව මොවුන් ගව සොරකමට භාවිත කළ තවත් වෑන් රථයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. එම වෑන් රථ දෙකම කුලී පදනම මත ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ පිරිස ගව සොරකම් පනහකට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී සොයාගෙන ඇත. දුම්මලසූරිය, හෙට්ටිපොළ, නාරම්මල, වාරියපොළ, දඹුල්ල, ගලේවෙල, කුරුණෑගල, වැල්ලව, ඉබ්බාගමුව, අලව්ව, ගිරිඋල්ල, පන්නල, ඇරෑපොළ, බෝයවලාන, නිකවැරටිය ආදි ප්‍රදේශවල ද මොවුන් විසින් ගවයන් සොරකම් කර තිබේ. සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධනගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (iii) අතුල උදයකුමාර අබේරත්නගේ අධීක්ෂණයෙන් පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිරෝෂන් රත්නායක, රථ වාහන අංශයේ සැරයන් සමරතුංග (49239), කොස්තාපල්වරුන් වන වසන්ත (51001) සහ මධුවන්ත (72069) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

Comments