කැලේ තිබී හමු වූ සෝමදාසගේ සිරුරේ තුවාල හෙළි කළ රහස | Page 2 | සිළුමිණ

කැලේ තිබී හමු වූ සෝමදාසගේ සිරුරේ තුවාල හෙළි කළ රහස

 

සෝමදාස දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහු තම දරු පවුල සමඟ රජය මඟින් ලබා දුන් ඉඩම් කැබැල්ලක පදිංචිව සිටියේය. ඒ, වැල්ලවායට නුදුරින් පිහිටි හද්දා පිටිසර ගම්මානයකය. සෝමදාසගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වුයේ හේන් ගොවිතැන් කිරීමය. ඔහු තම දරු පවුල සමඟ එක්වී හේන් වගා කළේය. දරු පවුලේ බඩවියත රැක ගැනීම සඳහා සෝමදාස දැඩි අරගලයක නිරතව සිටියේය. සෝමදාසගේ වැඩිමහල් දියණිය එම ප්‍රදේශයේම පදිංචි අයකු සමඟ විවාහ වී සිටියේය. ඔහු කරෝලිස්ය. කරෝලිස් ද තම මාමණ්ඩිය සමඟ එක්වී හේන් ගොවිතැන් කළේය. කරෝලිස්, සෝමදාසගේ නිවසට මඳක් දුරින් මැටි ගසා ඉදි කළ කුඩා පැල්පතක පදිංචිව සිටියේය.

කරෝලිස් ස්ත්‍රී ලෝලියෙකි. කරෝලිස් මේ අතරතුරේ සෝමදාසගේ තුන්වැනි දියණිය සමඟද අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. මෙකී සම්බන්ධතාව ඉතා රහසිගතව පවත්වාගෙන යාමට ඔහු වග බලාගෙන තිබුණේය. එහෙත් මේ සම්බන්ධය රහසක් වශයෙන් වැඩි දිනක් පවත්වාගෙන යාමට කරෝලිස්ට හැකි වූයේ නැත. මෙය සෝමදාසටද ආරංචි විය. මේ සම්බන්ධය නිසා සෝමදාස, කරෝලිස් සමඟ සිටියේ එතරම් හිත හොඳකින් නොවේ. මෙම ප්‍රශ්නය මුල් කරගෙන බෑණා සහ මාමා අතර නිතර නිතර ගැටුම් ඇති විය. සෝමදාසට, කරෝලිස් රිස්සුවේ නැත. ටික දිනක් යන විට සෝමදාසගේ තුන්වැනි දියණිය ගැබ් ගත්තාය. මේ බව දැන ගැනීමෙන් පසු සෝමදාස, කරෝලිස් සමඟ පසු වූයේ දැඩි වෛරයෙනි. සෝමදාස සැමවිටම කරෝලිස්ට බැණ වැදුණේය. මේ අතරතුරේ සෝමදාසගේ තුන්වැනි දියණිය කරෝලිස්ට දාව දරුවකුද බිහි කළාය.

මේ නිසා කරෝලිස්ගේ පවුලේද නොයෙකුත් ගැටුම් ඇති විය. තමන්ගේ තුන්වැනි දියණියට වූ මෙම අකරතැබ්බය ගැන සෝමදාස සිටියේ දැඩි කලකිරීමෙනි. එක් දිනක් හේනට යන බව පවසා නිවසින් පිටත්ව ගිය සෝමදාස යළි නිවසට පැමිණියේ නැත. කරෝලිස් මෙන්ම සෝමදාසගේ පවුලේ අය ඔහු හැම තැනම සෙව්වේය. දින ගණනක් ගත වුවද සෝමදාස ගැන කිසිම තොරතුරක් දැන ගන්නට නොවීය. මේ නිසා කරෝලිස් තම මාමණ්ඩියගේ අතුරුදන් වීම ගැන පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කළේය.

මේ අතර සෝමදාසගේ අතුරුදන් වීම ගැන ගම්මුන් අතර නොයෙකුත් කටකතා පැතිර ගියේය. සති දෙක තුනක් ගත විය. ගන කැලෑවක දැඩි ලෙස නරක් වී තිබු මළ සිරුරක් හමු විය. මෙය සෝමදාසගේ පවුලේ අයටද ආරංචි වී තිබුණේය. කැලෑවේ තිබි හමු වූ මළ සිරුර කරෝලිස් විසින් තම මාමණ්ඩියගේ බවට හඳුනා ගත්තේය.

පසුව පොලිසිය විසින් මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කළේය. ඒ මිට වසර පහළොවකට පමණ ඉහතදීය.

අදාළ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව මළ සිරුර රැගෙනවිත් තිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව, මරණය සිදුවී ඇති ආකාරය පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කොට තිබුණි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. සී.පී. පෙරේරාය. රෝහලට රැගෙන එන විටත් මෙකී මළ සිරුරේ විශාල කොටසක් අස්ථි බවට පත්ව තිබුණි. දකුණු අත, කලව, දකුණු කකුල, පපුවේ කොටස් අස්ථි බවට පත්ව තිබුණේය. මළ සිරුරේ වම් අත සහ පාදය නොතිබු අතර මළ සිරුර දැඩි ලෙස නරක් වී තිබුණි.

මළ සිරුරක් නරක් වීම නැතහොත් ප්‍රතිභවනය වීම කෙනෙකු මියගිය පසු සිදුවන සංකීර්ණ ක්‍රියාවලියකි. කෙනෙකු මියගිය පසු සංකීර්ණ ප්‍රෝටින් සරල සංඝටකයක් බවට සංජනය වීම මළ සිරුරක් කුණු වීමට හේතුවයි. පාරිසරික සාධක, භුගෝලිය සාධක, පුද්ගල ස්වභාවය ආදි බෝහෝ හේතු මත මළ සිරුරක කුණු වීමේ ක්‍රියාවලිය වෙනස් වේ. සිරුරේ උදරයේ දකුණු පසින් සම කොළ පැහැති වී දුගඳක් හැමීම කුණු වීමේ ක්‍රියාවලියේ ප්‍රථම ලක්ෂණයයි. උදරයේ දකුණු පසින් පටන් ගන්නා කුණු වීමේ ක්‍රියාවලිය ආහර මාර්ගය, උණ්ඩුක පුච්චය ඔස්සේ මුළු සිරුර පුරාම පැතිරි යයි.

කැලෑවක, හේනක, ජලයේ වැනි අනාරක්ෂිත ස්ථානවල තිබී හමුවන මළ සිරුර බොහෝ විට මාංස භක්ෂක සතුන් විසින් කා දමනු ලැබේ. සතුන් විසින් කා දමන ලද එවැනි ස්ථානවල මරණයට පෙර වූ තුවාල ඇතැම් විට සැක කිරීමට ද පුළුවන. මෙම මළ සිරුර විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ දැඩි පරීක්ෂාවට ලක්විය. මළ සිරුර කබරගොයි, නරින් වැනි සතුන් විසින් කා දමා තිබු සලකුණු මළ සිරුරේ දක්නට විය. ඉක්බිති අධිකරණ වෛද්‍යවරයා විසින් මළ සිරුර එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කළේය. ඒ මොහු මියගොස් ඇත්තෙ වෙඩි තැබීමෙන්ද, කපා කොටා හෝ ගෙල මිරිකීමෙන්ද නැතහොත් මොට ආයුධයකින් පහරදීමෙන්ද යන්න ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීම සඳහාය. වෙඩි උණ්ඩ හෝ මුනිස්සම්වල ඡායා අස්ථිවල කැපුම් තුවාල අස්ථි භග්නය වීම් කිසිවක් එක්ස් කිරණ සේයා පටවල දක්නට නොවීය. ඒ අනුව මොහු වෙඩි තබා කපාකොටා, ගෙල මිරිකා මරා දමා නොමැති බව එක්ස් කිරණ පරීක්ෂාවෙන් තහවුරු විය. පසුව අධිකරණ වෛද්‍යවරයා මළ සිරුර ඉතා සියුම් ලෙස බාහිරව පරීක්ෂා කරන ලදී. එම පරීක්ෂාවේදී පපු ප්‍රදේශයේ ඉදිරිපස හා පපුවේ පිටුපස ඇනුම් තුවාලයක් ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

එය දික්වූ සිදුරකි. එම තුවාලයේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා දිග අඟලක් වූ අතර එහි මැද කොටසේ පළල නූල් දෙකක් විය. තුවාලයේ දාර දෙකම තියුණු ලෙස කැපී තිබුණි. සෝමදාසගේ කලවෙහිද ඇනුම් තුවාලයක් දක්නට විය. යම් අයකුගේ පපුවට හෝ උදරයට පිහියෙන් ඇනීමෙන් එම තැනැත්තා අවම වශයෙන් පැය භාගයක්වත් ජීවත්ව සිටියේ නම් උදර කුහරයට රුධිරය වහනය වූ විට රුධිරයේ කැටි ගැසීමක් සිදුවේ. ඒ සෝමදාසගේ පපු ප්‍රදේශයට උල් පිහියකින් ඇනීමෙන් හෘදය වස්තුවට සිදුවූ තුවාල නිසා මරණය වී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය.

ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා සෝමදාසගේ මළ සිරුර හමුවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ගියේය. මක් නිසාදයත් අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේදී අපරාධය වූ ස්ථානය පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම ප්‍රමාද වී හමුවන මළ සිරුරු කුණු වී ගිය මළ සිරුර සැක සහිත සිද්ධියක පෙර නිමිති විය හැකි බැවිණි. ඒ අනුව මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.

සෝමදාස මෙලොවින් තුරන් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරනු ලැබුවේ වෙන කිසිවෙක් නොව කරෝලිස්ය. ඔහු ඒ සඳහා තෝරා ගනු ලැබුවේ කිසිවෙකුටවත් සැක නොසිතන පුද්ගලයෙකි. හේ කට්ටඩියෙකි. මොහු සෝමදාසගේ ද හිතවතෙකු වුයේය. මේ කට්ටඩියා දිනක් සෝමදාස හමු වූයේය. "සෝමේ අයියේ ඔයාගේ පවුලට කොඩිවිනයක් කරලා තියෙනවා. ඒක තමයි මේ පවුලේ ප්‍රශ්න. ඒ විතරක් නෙවෙයි ඔයාට අයිති විය යුතු නිධානයක් හිමි වීම වැළැක්වීමටත් ගුරුකමක් කරලා තියෙනවා“ යැයි කට්ටඩියා සෝමදාසට කීවේය.

සෝමදාසද කට්ටඩියා කියු දේ සියල්ල විශ්වාස කළේය. “අපි මේකට මොනව හරි කරන්න ඕන. මා ළඟ ඔය කොඩිවිනය කැපීමට බලගතු යන්ත්‍ර මන්ත්‍ර තියෙනවා. අපට නැවත ඒ නිධානය ලබා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපි දෙන්නාම ගොඩ“ කට්ටඩියා කීවේය. අාර්ථික ගැටලුවලින් මිරිකී සිටි සෝමදාස තමන්ට හොඳ කලක් උදාවී ඇති බවට විශ්වාස කළේය.

“ඕකට තමයි දෙන දෙයියෝ ගෙදරටම ගෙනවිත් දෙන්නේ“ කට්ටඩියා කීවේය.

කරෝලිස්ගේ උපදෙස්වලට අනුව සියල්ල කට්ටඩියා විසින් සැලසුම් කළේය. එක් දිනක් සෝමදාස කට්ටඩියා සොයාගෙන ඔහුගේ නිවසට පැමිණියේය. "ඉතින් මේ නිධානය ගන්නේ කොහොමද?" සෝමදාස කට්ටඩියාගෙන් ඇසුවේය.

“සෝමේ අයියේ කිසි දෙයකට බය වෙන්න එපා. ඒක සුළු දෙයක්. අවශ්‍ය සියලු අඩුම කුඩුම මම සොයා ගන්නම්. ගන කැලෑවේ තමයි නිධානය තියෙන්නේ. දැන් තියෙන්නේ නිධානය හාරන්න විතරයි. අපි සුබ දිනයක් වේලාවක් බලා වැඩේ පටන් ගමු“ කට්ටඩි තැන කීවේය. කට්ටඩියාගේ උපදෙස්වලට අනුව එක්තරා දිනයක අලුයම තුනට පමණ නිධානය හැරීම සඳහා කට්ටඩියා සමඟ සෝමදාස ගියේය. සෝමදාස මේ කිසි දෙයක් පවුලේ අයට කියා තිබුණේ නැත. හේනට යන බව ඔහු පවුලේ අයට කියා තිබුණි. කරෝලිස් විසින් සැලසුම අකුරටම ක්‍රියාත්මක කොට තිබුණි. කරෝලිස් ද ඊට ටික වේලාවකට පසු වත්ත පහළට යන බව පවසමින් නිවසින් පිට වුයේය. කරෝලිස් අත උල් පිහියක්ද විය.

කරෝලිස් සෝමදාසලාගේ පසුපසින්ම ගියේය. සෝමදාසට වැඩි දුරක් යාමට හැකි වූයේ නැත. තම අත තිබු උල් පිහියෙන් කරෝලිස්, සෝමදාසගේ පපුවට ඇනගෙන ගියේය. සෝමදාසගේ මළ සිරුර කැලෑ රොදකට දමා කරෝලිස් කට්ටඩියා සමඟ යළි පැමිණියේය. කට්ටඩියා සහ කරෝලිස් පොලිස් අත්අඩංගුවට පත් වුයේ මේ සියලු කරුණු කාරණා අනාවරණය වීමත් සමඟය.

 

 

රුහුණු වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යූ.සී.පී. පෙරේරා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

 

Comments