ඔස්ට්‍රේලියාවේදී මාට්ටු වුණු ක්‍රිකට් මූල්‍ය වංචාවට ලංකාවේ ලොක්කොත් හවුල්ද? | Page 2 | සිළුමිණ

ඔස්ට්‍රේලියාවේදී මාට්ටු වුණු ක්‍රිකට් මූල්‍ය වංචාවට ලංකාවේ ලොක්කොත් හවුල්ද?

නවිෂ්ට ද සිල්වා අධි­ක­ර­ණ­යේදි

ස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදු වූ ධනුෂ්ක ගුණතිලකගේ ලිංගික අතවර පළහිලව්වේ උණුසුම මැකී යෑමටත් පෙර තවත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු මෙල්බර්න් පොලිසියේ අත්අඩංගුවට පත්ව දැන් සිටින්නේ ඇප පිටය. ඊයේ පෙරේදා එරට උණුසුම් පුවතක් බවට පත් වූ මේ සිදු වීමට මුල් වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර තදාසන්න ප්‍රදේශයක් වන ඩොන්කස්ටර් පළාතේ පදිංචි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු වන නවිෂ්ට ද සිල්වා හෙවත් නව් ද සිල්වා නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සේවය කළ මල්ග්‍රේව් හි ආරක්ෂක උපකරණ අලෙවි කරන සමාගමෙහි ගිණුමෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 2,50,000ක මුදලක් වංචා සහගත සිය පෞද්ගලික බැංකු ගිණුමට බැර කරමින් එම මුදල යොදවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු සහ වර්තමානයේ ක්‍රීඩා කරන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් විස්සයි20 ප්‍රදර්ශනාත්මක තරග පැවැත්වීමය. ඒ සඳහා ඔහු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනකු වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගෙන ඇති අතර, මෙල්බර්න් නුවර එන්ඩේවියර් හිල්ස් ක්‍රිකට් සමාජය හා එක්ව ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට කටයුතු කර තිබේ. මේ මූල්‍ය වංචාවට අදාළව චෝදනා 19ක් යටතේ මීට සතියකට පෙර මෙල්බර්න් නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබුණේ මෙල්බර්න් නුවර අධිකරණයේදී පෙනී සිටීමට නියෝග කරමිනි. ඒ අනුව පසුගියදා අධිකරණයේ පෙනී සිටි නවිෂ්ට ද සිල්වා ඇප මත නිදහස් කළ අතර, නඩු විභාගය ලබන වසරේ පෙබරවාරිය දක්වා කල් දමා තිබේ.

2007 වසරේ සිට මෙල්බර්න් නුවර විවිධ ක්‍රිකට් සමාජ සඳහා ක්‍රීඩා කරන කඩුලු රකින පිතිකරුවකු වන නවිෂ්ට ද සිල්වා සේවය කළේ මෙල්බර්න් නුවර මල්ග්‍රේව් ප්‍රදේශයේ පිහිටි සීසීටීවී ඇතුළු ආරක්ෂක උපකරණ අලෙවි කරන ඔම්නි විෂන් නමැති සමාගමකය. එම සමාගමේ සේවය කරමින් සිටියදීම ඔහු ග්ලෝබල් ටැලන්ට් එන්ටර්ටේන්මන්ට් නමින් ඔහුගේම උත්සව සමාගමක් පවත්වාගෙන ගොස් ඇති අතර, සොරා ගත් මුදල් බැර කර ඇත්තේ එම සමාගමේ ගිණුමට බව මෙල්බර්න් නුවර පොලිසිය අනාවරණය කර තිබේ. ඒ සඳහා ව්‍යාජ ලෙස ලිපිලේඛන සකස් කර ඇතැයි ද, වසර 2021 මාර්තු මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා අවස්ථා 18කදී ඔස්ට්‍රේලියානු ඩොලර් 2700 සිට 36,407 දක්වා ප්‍රමාණයකින් වරින් වර එලෙස සිය බැංකු ගිණුමට බැර කරගත් මුදල් ප්‍රමාණය දෙලක්ෂ පනස්දහසකි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හය කෝටි විසිහත් ලක්ෂයකට අධිකය.

එම මුදල යොදවා ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවලින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වා විස්සයි20 ප්‍රදර්ශන තරග පැවැත්වීමෙන් අධික ලාභ ලැබීම ඔහුගේ අරමුණ වන්නට ඇත. සිය ග්ලෝබල් ටැලන්ට් එන්ටර්ටේන්මන්ට් සමාගම සමඟ එක්ව තරගාවලිය සංවිධාන කිරීමට ඔහු පළමුව යෝජනාව කර ඇත්තේ එම පළාතෙහිම පිහිටි මල්ග්‍රේව් ක්‍රිකට් සමාජයටය. එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ද ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික කෝටිපතියෙකි.

මල්ග්‍රේව් ක්‍රීඩා සමාජය වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ මට්ටමේ ක්‍රීඩා සමාජයක් නොවන අතර, එය දිස්ත්‍රික් මට්ටමේ නොව ප්‍රාදේශීය මට්ටමේ ක්‍රිකට් තරග සඳහා සහභාගි වන ඉතා කුඩා ක්‍රීඩා සමාජයකි. හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයකු වන ඩිල්ෂාන් මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර ඇත්තේ එය ඔහු පදිංචිව සිටි නිවෙස ආසන්නයේම පිහිටා තිබීම හේතුවෙනි.

තවත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එම ක්‍රීඩා සමාජයේ සාමාජිකයෝ වෙති. ඉන් වැඩි පිරිසක් මෙරට පාසල් ක්‍රිකට් පිටියෙන් ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෝ වෙති. ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කිරීමට මෙරට පළමුපෙළ තරගවලට සහභාගි වී තිබිය යුතුව ඇති බැවින් එම කොන්දේසිය ද එක් ප්‍රිමියර් ලීග් තරගයකට පමණක් ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගැසීමට ගිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් පිළිබඳ සහ අතිවිශාල මුදලකට ඔවුන් ඔස්ට්‍රේලියාවට පටවන මිනිස් ජාවාරමක තොරතුරු අනාවරණය කරමින් මේ ලියුම්කරු විසින්ම මීට පෙර ‘සිළුමිණ‘ පුවත්පතට ලියා තිබේ. මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය ඇතුළු බොහෝ ප්‍රාදේශීය ක්‍රිකට් සමාජවලට ක්‍රීඩා කරමින් සිටින්නේ එසේ ඔස්ට්‍රේලියාවට ගිය මෙරට යොවුන් ක්‍රීඩකයන් බව වාර්තා වේ.

ලෝක පූජිත හිටපු පිතිකරු සනත් ජයසූරිය ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා සමාජයක පුහුණුකරු ලෙස පත්වී ඇතැයි පසුගිය වසරේ ජූනි මාසයේදී දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ද ඉහත කී මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය පිළිබඳවය. වේගපන්දු යවන පුහුණුකරුවකු වන අනූෂ සමරනායක ද එම ක්‍රීඩා සමාජයේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන බව කියමින් මල්ග්‍රේව් ක්‍රීඩා සමාජය මේ සම්බන්ධව පුළුල් ප්‍රචාරයක් ද දී තිබිණි.

නවිෂ්ට ද සිල්වා සිය උත්සව සංවිධාන සමාගම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිටපු ක්‍රීඩකයන් ගෙන්වා විස්සයි20 තරගාවලියක් පැවැත්වීමට පළමුව යෝජනා කර ඇත්තේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයට බවත්, අතිවිශාල මුදලක් වැය වන එවැනි තරගාවලියක් සංවිධාන කිරීමට මල්ග්‍රේව් වැනි ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා සමාජයට ඇති හැකියාව විමර්ශනයට ලක් වීමේ අවදානම මත එම ක්‍රීඩා සමාජය අදහස අත්හැර දැමූ බවත් ඇතැම් තොරතුරු මඟින් අනාවරණය වී තිබේ.

ව්‍යාජ ලෙස උපයා ගත් අතිවිශාල මුදල් කන්දරාවක් ඇතැතිව සිටි නවිෂ්ට සිය අපේක්ෂාව ඉටු කරගැනීමේ අදිටනින් පසුව එන්ඩේවියර් හිල්ස් ක්‍රීඩා සමාජයට එක්වී ඇති අතර, ඔහු සමඟ තිලකරත්න ඩිල්ෂාන් ද එම ක්‍රීඩා සමාජයට එක්වී ඇතැයි වාර්තා වේ. ඒ වන විට ඔස්ට්‍රේලියාවේ නිත්‍ය පදිංචිය බලාපොරොත්තුවෙන් එහි ගොස් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න පමණක් නොව දිගු ටෙස්ට් තරග විරාමයක් ලැබීම හේතුවෙන් ඒ කාලය තුළ දෙවැනි මට්ටමේ පුහුණුකාර පාඨමාලාව හැදෑරීමට ඔස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න ද එන්ඩේවියර් හිල්ස් ක්‍රීඩා සමාජයට එක්වීම සිදුවී ඇත්තේ නවිෂ්ට හෝ ඩිල්ෂාන් හරහා විය යුතුය. පසුව තිලකරත්න ඩිල්ෂාන් එම ක්‍රීඩා සමාජයේ නායකයා සහ පුහුණුකරු ලෙසත්, තිරිමාන්න සහාය පුහුණුකරු ලෙසත් කටයුතු කරමින් සිටි බව එරට ආරංචි මාර්ග සඳහන් කළේය.

එන්ඩේවියර් හිල්ස් ක්‍රිකට් සමාජය සහ නවිෂ්ටගේ ග්ලෝබල් ටැලන්ට් එන්ටර්ටේන්මන්ට් සමාගම ඒකාබද්ධව twilight T20 ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ විස්සයි20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරග පැවැත්වීමට කටයුතු සංවිධාන කරනු ලැබුවේ ඉන් පසුවය. මේ තරග සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සමඟ පාකිස්තානයේ සොහේබ් මලික් ඇතුළු ක්‍රීඩකයන් ද, එම ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරමින් සිටි දමිත් ප්‍රියදර්ශන, සසිත් උදයන්ගම, චෙනුත වික්‍රමසිංහ, හේමන්ත ජයසුන්දර වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ ද ඇතුළත් වූහ.

ප්‍රදර්ශනාත්මක විස්සයි20 තරග දෙකක් පැවැත්වීමටත්, තරගයට පසුව ප්‍රසාංගික ඉසව්, මත්පැන් සහ ආහාර පාන සැපයීමටත් සැලසුම් කර තිබූ අතර, ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමේ ටිකට් පත් මොෂ්ටිෂ් නමැති ඔන්ලයින් ප්‍රවේශපත් මිලදී ගත හැකි වෙබ් අඩවිය මඟින් ලබාගැනීමට අවස්ථාව සලසා තිබිණි. ඩීජේ සංගීතයෙන් මුසු වූ සැණකෙළි ස්වරූපයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබූ එම තරග ද්විත්වයේ වීඅයිපී වර්ගයේ ප්‍රවේශපතක් ඔස්ට්‍රේලියානු ඩොලර් 120කට අලෙවි කර ඇති අතර, සෙසු ප්‍රවේශපත් අඩු මිල ගණන් යටතේ ලබා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා තිබිණි. තරගාවලියේ සියලු වියදම් සහ ක්‍රීඩකයන්ගේ ගෙවීම් සිදු කරනු ලැබුවේ නවිෂ්ටගේ උත්සව සමාගමෙනි. ඒ සඳහා ඔහු විසින් පරිහරණය කරනු ලැබුවේ සිය සේවා ස්ථානයෙන් සොරකම් කරනු ලැබූ බව කියන මුදල් බවට ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණි. ක්‍රිකට් සැණකෙළියට දැවැන්ත ප්‍රචාරයක් දීමට ද නවිෂ්ට කටයුතු යොදා තිබේ.

නවිෂ්ට ද සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු තරගය නොවැම්බර් 27 වැනිදා සහ දෙවැනි තරගය දෙසැම්බර් 4 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබියදීය. ඒ සමඟම එන්ඩේවියර් හිල්ස් ක්‍රිකට් සමාජයේ බලධාරීන් ද කලබලයට පත් වූ බව වාර්තා වේ. එසේ වුවත් සියලු බාධක මැද ඔවුන් නොවැම්බර් 27 වැනිදා පළමු තරගය පවත්වා ඇති අතර, ඊට සියලු ක්‍රීඩකයන් ද සහභාගි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

නවිෂ්ට අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙල්බර්න් පොලිසිය තිලකරත්න ඩිල්ෂාන්ගෙන් සහ ළහිරු තිරිමාන්නගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ‘දි ඒජ්‘ පුවත් සේවයට දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සිදු වීමක් පිළිබඳ දැනුම්වත්ව නොසිටි බවය. මේ චෝදනාව සත්‍යයක් දැයි නොදන්නා බවත් දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර ඇතැයි ‘දි ඒජ්‘ පුවත් සේවය වාර්තා කළේය. එසේ වුවත් නවිෂ්ට අත්අඩංගුවට පත් වීමෙන් පසු නියමිත දිනයේදී twilight T20 පළමු තරගය පැවැත්වීමට එම ක්‍රිකට් සමාජය කටයුතු කර තිබූ එරට මාධ්‍ය වාර්තා කළේය.

මුදල් සොරකම් කිරීම සහ වංචා කිරීම යටතේ චෝදනා 18ක් ද, එතරම් විශාල මුදලක් උපයා ගැනීමේ ආදායම් මාර්ගය තහවුරු කිරීමට නොහැකිවීම මත තවත් චෝදනාවක් ද වශයෙන් නවිෂ්ට ද සිල්වාට එරෙහිව පොලිසිය විසින් චෝදනා 19ක් ගොනු කර තිබිණි. පසුගිය මස 29 වැනිදා අධිකරණයට කැඳවා සිටි නවිෂ්ට සිය නීතිඥයා වන ටොම් ෂොකර් සමඟ විනිසුරු ඉදිරියේ පෙනී සිට ඇති අතර, පසුව ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට දක්වා නඩුව කල් තබමින් ඔහුගේ ඇප දීර්ඝ කිරීමට විනිසුරු තීන්දු කර ඇත.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ twilight T20 ප්‍රදර්ශනාත්මක දෙවැනි තරගය අවලංගු කිරීමට තීරණය කළ බව ග්ලෝබල් ටැලන්ට් එන්ටර්ටේන්මන්ට් සමාගම දැනුම් දී ඇතැයි එන්ඩේවියර් හිල්ස් ක්‍රිකට් සමාජය පසුව ප්‍රකාශ කළේය. තරගය නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගත් සියලුදෙනාගේ මුදල් නැවත බාර දෙන බවට ද නිවේදනය කර ඇත. එපමණක් නොව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ අදාළ ක්‍රිකට් සැණකෙළිය සම්බන්ධව තම ක්‍රීඩා සමාජයේ කිසිදු වගකීමක් හෝ කළමනාකරණයක් නැති බවය. තරගාවලිය සහ සැණකෙළිය සඳහා සියලු බරපැණ දරනු ලබන්නේ ග්ලෝබල් ටැලන්ට් එන්ටර්ටේන්මන් ආයතනය විසින් බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ. එන්ඩේවියර් හිල්ස් ක්‍රීඩා සමාජයේ සන්නාමය භාවිත කිරීමට, සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට, ප්‍රචාරණය ලබා ගැනීමට සහ තරගාවලියේ වැඩකටයුතු සඳහා කාර්ය මණ්ඩලය යෙදවීමට අමතර කිසිදු ක්‍රියාවකට තම ක්‍රිකට් සමාජය සම්බන්ධ නැති බව ඔවුහු ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළහ.

මුදල් ඉපයීමේ පටු චේතනාවෙන් කටයුතු කරමින් විදෙස් ක්‍රීඩකයන්ගේ අභිමානය සහ ආත්ම ගරුත්වය බිංදුවට ඇද දමන නවිෂ්ට ද සිල්වලා මෙන්ම ව්‍යාජ දත්ත සකස් කර මෙරට යොවුන් ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවට පටවන කූට ජාවාරමේ මහමොළකරු බවට එරට මාධ්‍ය ලේබල් ගත කර සිටින සමන් කන්දගේලා එමටය. එක අතකට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් මතින් වංචනික ලෙස මුදල් උපයා ගැනීමට එවැනි තරගාවලිය සංවිධාන කරන කූට පුද්ගලයන්ගේ ලජ්ජාසහගත ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ විමර්ශනය කිරීම ඔස්ට්‍රේලියා රජයේ සහ එරට ක්‍රිකට් ආයතනයේ වගකීමකි. අනිත් අතට විදෙස් රටවල පැවැත්වෙන එවැනි අප්‍රකට ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරමින් තුට්ටු දෙකක් උපයා ගැනීමට තරම් ජාතික කණ්ඩායම නියෝජනය කරන මෙරට සුපිරි ක්‍රීඩකයන්ට මුදල් අහේනියක් නැති බැවින් රටේ ගරුත්වය සහ තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම ඔවුන්ගේ වගකීමකි.

Comments