අම්මා කියනවා වගේ මට තිබ්බේ නටන පිස්සුවක් විතරයි | Page 2 | සිළුමිණ

අම්මා කියනවා වගේ මට තිබ්බේ නටන පිස්සුවක් විතරයි

මගේ ඩාන්සින්වල‍ට ඒ අය දක්වන ආදරේ නිසයි අපි හෙට ඊට වඩා දෙයක් කරන්නේ

කොහේ හරි ගිහින් ඉන්නකොට සින්දුවක් කියන්න කිව්වත් මට හරි ලැජ්ජයි

චාපා ජයමහව බොහෝ දෙනා හඳුනාගන්නේ කලකට ඉහත පැවති සිරස ඩාන්සින් ස්ටාර් තරගය හරහායි. නමුත් චාපා කියන්නේ කලා පවුලක ඉපදුන කෙනෙක්. චාපාගේ තාත්තා අපේ රටේ නමක් තැබු ගායන ශිල්පියෙක් වන ග්‍රේෂන් ජයමහ. සිය පියාගේ අඩිපාරේ නොයා චාපා පුංචි කාලේ ඉඳන්ම තෝරා ගන්නේ නර්තනය. චාපා ජයමහ ජනප්‍රිය බටහිර ආරේ ගීතවලට නර්තනය ලබාදෙන තැනැත්තියක් විලසින්.

නර්තනය තුළින් ජනප්‍රිය වූ ඇය පසුකලෙක තමන්ගේම නමින් “චාපා ඩාන්සින් ඇකඩමිය“ පටන් ගත්තේ තවත් බොහෝ දෙනෙකුට නර්තනය බෙදා දීමේ අරමුණින්. කාලයත් එක්කම විවාහ දිවියට ඇතුළත් වුණු චාපා මවු පදවිය ලැබූ නිසා නර්තනයෙන් මඳක් ඈත්ව සිටියා. මේ වෙද්දී චාපා සුරතල් දියණියක් ඉන්න මවක්. කෙසේ වෙතත් චාපා නැවතත් නර්තන කටයුතු ආරම්භ කරන්නයි සූදානම.

චාපා මේ කාලයේ කොහොමද වැඩ කටයුතු?

පහුගිය කාලේ නම් කාලය ගත කළේ මගේ දුව එක්ක. පසුගිය නොවැම්බර් මස 11ට තමයි දුවට අවුරුද්දක් වුණේ. ඒ නිසා මුල්ම කාලේ එයාගේ වැඩ ටිකට මගේ සම්පූර්ණ කාලයම යෙදෙව්වා. දැන් නැවත මම ගොඩ කාලෙකට පස්සේ මගේ නර්තන කටයුතු සහ නර්තන පන්ති පටන් අරන් තියෙනවා. ගොඩක් වෙලාවට ඩාන්සින් ක්ලාස් එකට එද්දී බබාවත් අරගෙන එනවා. නැත්නම් අම්මා ළඟ තියලා එනවා. නැත්නම් අම්මත් එයත් එක්කම එනවා. දැන් මොනවා කළත් දුවගේ වැඩ ටික කරලා තමයි නර්තනයට වෙලාව හොයා ගන්නේ.

චාපා කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණ ගායනශිල්පියෙක්ගේ දුවෙක්, ඇයි සංගීතයට නැඹුරු නොවී නර්තනය තෝරා ගත්තේ?

මට මතක ඇති කාලේ ඉඳන් මම නර්තනය තමයි කළේ. පොඩි කාලේ ඉඳන්ම නටන පිස්සුවක් මට තිබ්බේ. දැන් මගේ බබාට සින්දුවක් ඇහුන ගමන් එයා නටන්න පටන් ගන්නවා. එතකොට අම්මා මට කියනවා මම පොඩි කාලෙත් එහෙමලු. තාත්තා සින්දු කියද්දී ඒවා අහගෙන ඉන්නවලු. හැබැයි ටීවී එකේ මොකක් හරි ඇහුණොත් මම නටන්න පටන් ගන්නවලු. ඒ දේවල් දකිද්දී මම නර්තනයට ආසයි කියලා අම්මට තාත්තට හිතුන නිසා වෙන්න ඇති මාව නර්තන පන්තිවලට යොමු කළේ. මම චන්න විජේවර්ධන සර් ළඟ අවුරුදු හතක් නර්තනය හැදෑරුවා. ලතින් ඇ‍ෙමරිකානු නර්තනය අවුරුදු අටක් විතර සුජීව ජයතිලක සර් ළඟ හැදෑරුවා. ඒ වගේම මෝක්‍ෂා මිස් ළඟ ඉන්දියන් ක්ලැසික් ස්ටයිල් එක හැදෑරුවා.

චාපාට රංගනයට ඇරයුම් ලැබුණේ නැද්ද?

2015 දී තමයි සිරස ඩාන්සින් ස්ටාර් තරගයෙන් පස්සේ මම ඩාන්සින් පැත්තෙන් පන්ති පටන් අරගෙන ඉස්සරහටම ආවේ. මම රංගනයට හරිම ලැජ්ජාශීලි කෙනෙක්. අම්මා කියනවා වගේ මට තිබ්බේ නටන පිස්සුවක් විතරයි. කොහේ හරි ගිහින් ඉන්නකොට සින්දුවක් කියන්න කිව්වත් මට හරි ලැජ්ජයි. මම දන්නවා මට සාමන්‍යය විදියට සින්දුවක් කියාගන්නත් පුළුවන් කියලා. හැබැයි මම හරි බයයි, මට ලැජ්ජයි, දාඩියත් දානවා ඒ වෙලාවට.

දුව සීයාගේ අඩිපාරේ යයිද නැත්නම් ඔයා වගේ නර්තනයට යොමු වෙයි කියලද හිතන්නේ

මම සෝෂල් මිඩියාවලත් එයාගේ වීඩියෝ දානවා. සීයා එක්ක එකතු වෙලා කෑගහලා සින්දු කියනවා. තාත්තා මාව පොඩි කාලේ ප්‍රසංගවලට එක්ක ගියා වගේ එයාවත් ප්‍රසංගවලට එක්කගෙන යනවා. ඒවා දැක්කම සීයා සීයා කිය කියා අත්පුඩි ගගහා නට නට කෑගහනවා. මම නම් ආසයි දුව සින්දුත් කියලා නර්තතනයත් කරනවා නම්. මගේ අම්මත් හැමතිස්සෙම කියනවා මෙයා නම් සින්දු කිය කියම නටයි වගේ කියලා. කොහොම වුණත් වෙනස් දෙයක් කරලා දුව ඉස්සරහට යනවා දකින්න මම කැමතියි.

දැන් ආයේ සුපුරුදු විදියට නර්තන පන්ති පටන් ගෙනනේ තියෙන්නේ, ඒ ගැන විස්තර කිව්වොත්

මගේ පන්ති තියෙන්නේ ගැහැනු ළමයින්ට විතරයි. වයස් භේදයක් නැහැ. හැබැයි පොඩි අයට කරන කිඩ්ස් ඩාන්සින් ක්ලාස් එකට ගන්නේ අවුරුදු 4 සිට අවුරුදු 11 දක්වා කට්ටිය විතරයි. අනිත් ක්ලාස් එකට අවුරුදු 12 සිට ඕනෙම වයසක ඉන්න කෙනෙක්ට එන්න පුළුවන්. ගොඩක් අය මගෙන් අහන එකක් තමයි ඩාන්සින් කරලා තියෙන අය විතරයිද ගන්නේ කියලා. එහෙම නැහැ මගේ ළඟට ගොඩක් අය එන්නේ මගේ ඩාන්සින්වලට තියෙන ආසාවට.

මම බටහිර ඩාන්සින් ස්ටයිල්ස් විතරයි කරන්නේ. මම මුලින්ම පන්ති පටන් ගත්තේ සීදුවෙන්. ඊට පස්සෙ ජා ඇළ, ඒකල, වත්තල, මීගමුව, සහ පැලවත්ත කියන ප්‍රදේශවල පන්ති ආරම්භ කළා. ඉදිරියේදී ගම්පහ සහ කිරිබත්ගොඩත් පන්ති ආරම්භ කරන්න අදහසක් තියෙනවා. ඒ එක්කම මගේ නර්තන කණ්ඩායමක් තියෙනවා CDS ගර්ල්ස් කියලා. තාත්තා නිසා එළිමහන් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. නමුත් මම ඒවා භාරගන්නෙ නැහැ. මේ වෙද්දී දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ගෘහස්ථ ප්‍රසංග රැසකට ආරාධනා ලැබිල තියෙනවා.

රටේ නමගිය ජනප්‍රිය ගායකයෙක්ගේ දුවෙක් වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒක වාසනාවක්. මම දකින්නේ ඒක මට ලැබුණු ආශිර්වාදයක්. හැමෝගෙම ආදරේ ගෞරවය ලබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ඕනේ කෙනෙක්ට නරක දෙයක් කරලා හරි. නමුත් ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ. අනිත් අතට තැනකට ගියාම ඔයාගේ තාත්තා නේද ග්‍රේෂන් ජයමහ කියන්නේ, තාත්තාගේ සින්දුවල‍ට අපි තවම ආදරෙයි කියලා කියන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න හැමෝටම බැහැ. ඒක ඇත්තටම වාසනාව එක්ක එන දෙයක්. හිතට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

අපි ආදරණීය සැමියා ගැනත් කියමු?

එයාගේ නම ජොෂුවා කරුණාරත්න. එයා නම් කලාවට කිසිසේත්ම සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් එයා හරි සතුටුයි අපි කලාවට සම්බන්ධ එක ගැන. මගේ ඩාන්සින් ක්ලාස්වලට ගොඩක් උදවු කරන්නේ එයා. එයා කියන්නෙම මේ දේවල් නවත්තන්න එපා කියලා. ප්‍රේක්ෂකයින් මඟදි හමුවුණාම “ඔයාගේ ඩාන්සින් හරි ලස්සනයි සහ ඔයාගේ තාත්තාගේ සින්දුවලට අපි තවම ආදරෙයි කියලා “මා එක්ක කියනවා ඇහෙද්දී එයාට හරි සතුටුයි.

ප්‍රේක්ෂකයින්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ?

ප්‍රේක්ෂක ආදරයට හැමදාම කියන්න තියෙන්නේ අපි මේ වගේ දේවල් කරගෙන ඉස්සරහට යන්නේ ඒ අයගෙන් ලැබෙන ආදරේ නිසා. ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහ ලැබෙන යහපත් ප්‍රතිචාර නිසා තමයි අපි දවසින් දවස ඉස්සරහට යන්නේ. මම ඔවුන්ට මගේ ආදරේ ගෞරවය පුදකරනවා.

Comments