අම්බලන්ගොඩ රන් හොරු ඇල්ලුවේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

අම්බලන්ගොඩ රන් හොරු ඇල්ලුවේ මෙහෙමයි

දකුණු පළාතේ පොලිස් වසම් අතර අම්බලන්ගොඩ පොලිස් වසම මෑත ඉතිහාසය තුළ ජනතාව අතර වඩාත් කතාබහට ලක් වන්නේ එම වසමේ සිදුවූ අපරාධ සහ මිනිස් ඝාතන හේතුවෙනි. එපමණක් නොව ගතවූ මාස දෙකක පමණ කාලය තුළ අම්බලන්ගොඩ පොලිස් වසමේ සිදුවූ සොරකම් කොල්ලාකෑම් වැනි අපරාධ ද ඊට දෙවැනි නොවේ. ඒ අතරිනුත් අම්බලන්ගොඩ පොලිසියට වඩාත් අවධානය යොමු කරන්නට සිදු වූයේ එම පොලිස් වසමේ සිදුවූ භාණ්ඩ සොරා ගැනීම් හා මංකොල්ලාකෑමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳවය.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් වසමට අයත් අම්බලන්ගොඩ පරණ පාරේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ දෙකක මුදල් සහ රුපියල් ලක්ෂ හැට අටක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වූයේ ඉකුත් මාසය මැදදීය.

නිවැසියන් සිය නිවස වසා මළ ගෙදරක ගොස් සිටියදී ඊට ඇතුළුවූ අයෙක් මෙම සොරකම කර තිබුණි. සොරකම සිදුවූ ස්ථානයේ තිබු සී.සී.ටී.වී. කැමරා දර්ශන දත්ත මඟින් ඒ ගැන කළ පරීක්ෂණ අනුව එක් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි කර ගත් කරුණු අනුව තවත් සැකකරුවකු සහ සොරාගත් රන් භාණ්ඩ සොයා ගැනීමට පොලිසියට හැකි විය.

මෙම සැකකරුවන් දෙදෙනා දෙසොහොයුරෝය. එක් අයෙක් පුත්තලම වනාතවිල්ලුව, මිදිවත්ත පාරේ පදිංචිකරුවකුය. අනෙක් සැකකරු අම්බලන්ගොඩ කුලීගොඩ කරුණාගම ප්‍රදේශයේ පදිංචිකරුවකුය.

පළමු සැකකරුගේ නිවසේ තිබී රන් භාණ්ඩ කොටසක් සොයාගත් අතර, අනෙක් රන් භාණ්ඩ පුත්තලම ප්‍රදේශයේ බැංකු කිහිපයකට උකස් කර තිබියදී පොලිසිය සොයා ගනු ලැබීය. සැකකරුගේ සොහොයුරා විසින් අනෙක් රන් භාණ්ඩ හික්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික උකස් කඩයකට උකස් තබා තිබියදී සොයා ගනු ලැබීණි.

වැලිගොඩැල්ලවත්ත, දූව පාර, කහව ප්‍රදේශයේ නිවසක පදිංචිකරුවකු ඉකුත්දා රාත්‍රී විදේශගතවූ අතර, ඔහුගේ බිරිය ද දොරවල් වසා ස්වාමිපුරුෂයා ඇරලවීමට කටුනායක ගුවන් තොටුපොළට ගියාය. පසුව ඇය සිය උපන්ගම වූ කොරළවැල්ලට ගොස් දින දෙකකට පසුව නිවසට පැමිණියාය. මෙම සොරකම සිදුව තිබුණේ නිවැසියන් දොරවල් වසා පිටව ගොස් සිටියදීය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය නිවැසියන්ගේ ඥාතියෙකු සැකපිට අත්අඩංගුවට ගත්තේ ඔහු කතරගම ප්‍රදේශයේ සැඟවි සිටියදීය. එම සැකකරු ගාල්ල, දූව පාර, අකුරළ පදිංචි අයෙකි. මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරා ගන්නා ලද රන් භාණ්ඩ කොටසක් ඔහු ළඟ තිබී සොයා ගන්නා ලදි. ඔහුගේ බිරියගේ කනේ පලඳා තිබිය දී කරාබු දෙකක් ද සොයාගත් අතර, සොරා ගත් භාණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පොලිසිය ඇය ද අත්අඩංගුවට ගනු ලැබීය. වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු අනුව සැකකරුගේ පළමු විවාහයේ දියණියකගේ සැමියා ද අත්අඩංගුවට ගන්නේ ඉන් පසුවය. සොරා ගන්නා ලද රන් භාණ්ඩ කොටසක් තිස්සමහාරාම, අම්බලන්ගොඩ, හික්කඩුව සහ පාණදුර ප්‍රදේශවල පෞද්ගලික උකස් කඩවලට උකස් කර තිබියදී සොයා ගනු ලැබීය.

ඉකුත් දිනෙක පාසල් ශිෂ්‍යාවක් පෞද්ගලික උපකාරක පංතියකට සහභාගී වීම සඳහා කරන්දෙණියේ සිට බස් රථයකින් පැමිණ අම්බලන්ගොඩ බස් නැවතුම් පොළෙන් බැස දුම්රිය පාර දිගේ පා ගමනින් යමින් සිටියේය. ඒ උදෑසන 10.30 ට පමණය.

පා ගමනින් යමින් සිටි ඇගේ ගෙල පැලඳ සිටි රුපියල් එක්ලක්ෂ දහහතර දහසක් පමණ වටිනා රන් දම්වැල සහ පෙණ්ඩනය කොල්ලකා පලා යන්නේ ඈ පසුපසින් පැමිණි තරුණයෙකි. ඇය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය වතුගෙදර, අඳාදොළ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගත්තේය. ඔහු ළඟ තිබී එම රන් දම්වැල ද අත්අඩංගුවට ගැනීමට හැකි විය. එහි වූ පෙණ්ඩනය ඒ වන විටත් උකස් තබා තිබියදී සොයා ගනු ලැබීය. එපමණක් නොව මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවූ අයෙකු වූ එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 01 යි මිලිග්රෑම් 68ක් ද අත් අඩංගුවට ගත්තේය.

ඉකුත් 18 වැනි දින කාන්තාවක් මළ ගෙදරක ගොස් පැමිණ සිය නිවසේ දොර අගුලු හරින්නට අත වූ බෑගය ආලින්දයේ වූ පඩියක් මත තබා දොරගුලු හැර නිවසට ගොස් ටික වේලාවකින් පැමිණ බලන විට අත් බෑගය කිසිවෙකු විසින් අවුස්සා ඇති බවක් දැක විපරම් කර බැලීමේදී එහි රෙදිකඩක ඔතා දමා තිබූ ඇයගේ නැංගූරම් හැඩයැති පෙණ්ඩනය සහිත රන් දම්වැල, මුදු තුන හා කරාබු ජෝඩුව තිබී නැත. ලක්ෂ පහකට වඩා වටිනා මෙම රන් භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අලුත්ගම, කන්දෙ විහාර පාරෙ පදිංචිකරුවකු අත්අඩංගුවට ගත්තේය. එම පුද්ගලයා ළඟ තිබී එම රන් භාණ්ඩ සොයාගෙන ඇත.

පොල්වත්ත, පුංචි පාලම අසලදී පා ගමනින් යමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂයක් වටිනා රන් දම්වැලක් කඩාගෙන යන්නේ ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු විසිනි. මේ සම්බන්ධයෙන් මහඌරගහ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් අතර. ඔහු ළඟ තිබී පොලිසිය එම රන් දම්වැල ද සොයා ගනු ලැබීය. සැකකරුගේ යතුරු පැදියේ ණය වාරිකය මූල්‍ය සමාගමට ගෙවා ගැනීමට මුදල් නොමැතිකම නිසා මෙය පැහැරගත් බව ඔහු පොලිසියට පැවැසීය.

කහව, වැලිගොඩැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු ඉකුත්දා විදේශගතවී ඇත. ඔහුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඇරලවීමට බිරිඳ ද සිය නිවෙසේ දොරවල වසා දමා ඔහු සමඟ ගොස් ඇත. එදින රාත්‍රි එම නිවෙසට ඇතුළුව එහිවූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබියදී පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්හ.

ඇල්පිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි යූ.ඒ. අමරසිරිගේ අධීක්ෂණයෙන් අම්බලන්ගොඩ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එස්. ලංකාදේව, අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන්, සැරයන්වරුන් වන (27067) පුංචිහේවා, (6134) අමරසිරි යන මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.

Comments