
(සිරිසේන කුරේගේ අභාවයෙන් වරසක් ගෙවීම නිමිත්තෙනි)
සැබැ නායකත්වය පිළිබඳ පරමාදර්ශ සොයා යන කවරකු හට වුවද සිරිසේන කුරේ මහතාගේ දේශපාලන භූමිකාව මග හැරිය නොහැකිය. ඔහුගේ චරිතය අනුමත කරන හෝ නොකරන කිසිවකුට ද ඔහු අභියෝග හමුවේ මුහුණ දුන් ආකාරය නිශේධනය කළ නොහැකිය. ඒ තරමටම ඔහු ප්‍රායෝගික මිනිසෙකි.
සිරිසේන කුරේ චරිතය වඩාත්ම කැපී පෙනෙන භූමිකාවක් බවට පත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු කළ කැප කිරීම් නිසාය. අතිශය බලසම්පන්න ලෙස ව්‍යවස්ථා රාමුවකින් සන්නද්ධ වූ පුද්ගලයන් පවා සැඟව පැන යන විටෙක මේ යථාර්ථය යළි යළිත් පසක් කර දෙන්නේ සිරිසේන කුරේ කොතරම් අභීතව තමා වෙත පැවරුණු වගකීම් අකුරටම ඉටු කළ බවය.
ඔහු ඒ සඳහා යොදා ගත්තේ රාජ්‍ය යාන්ත්‍රණය පමණක්ම නොවේ. පොදු ජනයා කෙරෙහි ඔහු තුළ වූ විශ්වාසය ද ඊට ඉවහල් කර ගත්තේය. ඡන්දයක් දීමට තබා නිදහසේ හුස්ම ගැනීමටත් ඉඩක් නොතිබූ යුගයක ඔහු අභියෝගයට අභියෝග කළේ පොදු ජනයා කෙරෙහි ඔහු තැබූ අචල විශ්වාසය නිසාය. එය ජයග්‍රහණය කළේ ඔහු සැබෑ සංවිධායකවරයකු බව ලොවට පෙන්වා දෙමිනි.
එය එසේ නොවන්නට පොදු ජනයාගේ මිනිසකු වූ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් නොවන්නට ඉඩ තිබුණි. ඒ සඳහා කුරේ මහතා ඉටු කළ මෙහෙවර ඉතාමත් ප්‍රශංසනාත්මක වේ. මන්ද එම ජනාධිපතිවරණයෙන් ප්‍රේමදාසයන් පරාජය වූවා නම් පරාජයට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ එහි අපේක්ෂයා මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවකි.
බියෙන් සැලුණු ජනතාවක් අභීතව ඡන්දපොළ කරා ගෙන එන පරිසරය ගොඩ නඟා දෙන්නේ කුරේ මහතාගේ සැබෑ සංවිධාන ශක්තිය නිසාය. රට වටා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් එක රැයකින් දියත් කරන්නටත් එම පෝස්ටරයෙන් තම අපේක්ෂකයාගේ ප්‍රතිරූපය පැය ගණනාවකින් ගොඩනඟා දෙන්නටත් කුරේට හැකිවූයේ පොදු ජනයා කෙරෙහි ඔහු තුළ තිබූ දැඩි විශ්වාසය නිසාය.
පොදු ජන නායකයන් කෙරෙහි සාම්ප්‍රදායික රදළ නායකත්වය එල්ල කළ සෑම ප්‍රහාරයකටම දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ අවස්ථා රැසක්ම ඉතිහාසයේ අපට හමු වෙයි. ගමට ඇඟලුම් කම්හල් දෙසීයක් ගෙන යන විට එල්ල වූ බොහෝ අභියෝග ව්‍යවර්ථ කරන්නට සිරිසේන කුරේට හැකිවූයේ ඇඟලුම් කම්හල් හිමිකරුවන්ට ද ශක්තියක් වෙමිනි. එසේ නොවන්නට අද අපට කියා අපනයන කර්මාන්තයක් ඉතිරි නොවන්නට ඉඩ තිබුණි. ගම් උදාව සැබෑ ලෙස ගම්උදාවක් වූයේ ද කුරේගේ සංවිධාන ශක්තියක් ප්‍රතිඵලක් ලෙසිනි. ඔහු ගමට ගියේය. ගමේ අවශ්‍යතා සොයා බැලුවේය. ඒ සඳහා සුදුසු විසඳුම් මේවාය යන වැඩපිළිවෙළ නායකත්වයට පෙන්වා දුන්නේය.
එ.ජා.ප. මහලේකම් ධුරය තරු පන්තියේ භූමිකාවක් කර නොගත් කුරේ මහතා සැබෑ ලෙසම දකුණු පළාත් සභා ඡන්දය ගල උඩ සටනක් බව දැන දැනම අභීතව මෙහෙය වීය. ඔහු දකුණට ගියේය. එවකට ජනප්‍රිය නායිකාවක් බවට කිරුළ දරමින් සිටි චන්ද්‍රිකා මැතිනියගේ අභියෝගය හමුවේ ඔහු සැබෑ සංවිධාන ශක්තියකින් කටයුතු කළේය. සටන පරාජය වුවද එය අන්ත පරාජයක් නොවූයේ කුරේගේ සංවිධාන ශක්තිය නිසාය. මෙහිදී සිරිසේන කුරේ ජනතාව ආමන්ත්‍රණය කිරීමට යොදා ගත්තේ ජනහද ගැස්ම හඳුනන පොදු ජනයාගේම මිනිසුන්ය. ඒ සඳහා ගොවි, ගුරු, කම්කරු නායකයන් ජනතාව අතරටම යවා ලැබීමට නියමිත අන්ත පරාජයක් නිශේධනය කළේය.
එක දිගටම දශක දෙකකට ආසන්න කාලයක් පාලනය කළ පක්ෂයක් ජයග්‍රහණය කිරීම ලෙහෙසි පහසු නොවූවත් දකුණේත් වාමවාදි ප්‍රබල බලකොටුවලින් ලැබීමට නියමිත වූ අන්ත පරාජය වැළකුණේ කුරේගේ ප්‍රායෝගික වැඩපිළිවෙළ නිසාය. අද වැනි දිනෙක ඔහු වැනි මිනිසුන් සිටියා නම් සිරිලක් මව මේ මහා අභියෝගයෙන් ගලවා ගැනීමට තිබුණි.
•හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
සහ ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ