අපි දෙන්නගේ ගොඩක් ගැළපෙන අදහස් තියෙනවා | Page 2 | සිළුමිණ

අපි දෙන්නගේ ගොඩක් ගැළපෙන අදහස් තියෙනවා

එයාව බඳින්න හිතපු දවසෙම සෙල්ලක්කාර ජීවිතෙන් ඈත් වෙලා වගකීමෙන් වැඩ කරන්න හිතුවා

මොන නාට්‍යක රඟපෑවත් ඒ නාට්‍යයේ නිළිය එක්ක යාළුයි කියලා තමයි කොයි නළුවටත් කතා හැදෙන්නේ

අශිංශා පණිවුඩයක් එවලා තිබුණා කෙළින්ම අහන්න කියලා

අයියා කැමති වුණේ නැහැ මාව රඟපාන්න යවන්න

 

බිතුම් චබි ගමගේ හා නෙත්මි අශංශි කියන මේ නම් දෙක වගේම රුව කවුරුත් දන්නේ නැහැ. නමුත් අමිලා නදිශානි හා ධනුක දිල්ශාන් කියන නම් වගේම රූප කොයි කවුරුත් දන්නවා. අමිලා සංගිතයෙන් හා ධනුක රංගනයෙන් ජනප්‍රියතම චරිත දෙකක්. අමිලාගේ පුතා තමයි බිතුම් කියන්නේ. අශිංශා කියන්නේ ධනුක ගොඩක් ආදරේ කරන එයාගේ එකම නංගී. මේ දෙන්නා ළඟදි විවාහ ගිවිස ගත්තා. කලා පවුල් දෙකක් මේ විදිහට එකතූ වූ නිසා සමාජ මාධ්‍යයේ මොවුන් ගැන පසුගියදා වැඩිපුර කතා වුණා. ඒ නිසා මේ අලුත් යුවළ ගැන කතා කරන්න අපි හිතුවා. මේ කතාව ඔවුන් ගැනයි

බිතුම් මොකද හදිසියේම විවාහ ගිවිස ගත්තේ..?

මමයි අශිංශායි විදෙස් ගත වෙන්න ඉන්නේ උසස් අධ්‍යාපන කටයුතුවලට. දෙන්නටම යන්න මැරේජ් සෙටිෆිකට් එක ඕන මාස හයකට කලින් විවාහ වෙලා ඉන්න ඕන. ඒකට ලෑස්ති වෙන්න ඕන නිසා හදිසියේම විවාහ ගිවිස ගත්තා. වෙඩින් එක ලංකාවට එන කාලෙකට ගන්නවා. විවාහ ගිවිස ගැනිම සති දෙකෙන් සැලසුම් කළේ. කිහිප දෙනෙක් එක්ක කරපු පුංචි සාදයක් මේක.

 

මේ දවස්වල ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා..?

අපි විවාහ ගිවිස ගත්තේ ඔක්තෝබර් මාසේ. ෆොටෝග්‍රැෆර් ෆේස්බුක් දැම්මේ පහුගිය සතියේ. ඒ ෆොටෝස් තමයි හැම තැනම හුවමාරු වුණේ. මුලින් කතාව ගියේ ධනුක අයියා විවාහ වෙලා කියලා ඊට පස්සෙ තමයි අපි දෙන්නා ගැන ගියේ.

 

බිතුම්ට කොහොමද අශිංශා මුණ ගැහෙන්නේ ..?

අපි දෙන්නා ගියේ එකම ක්ලාස් එකට. ක්ලාස් එකේ අශිංශා කියන නම ප්‍රසිද්ධ යි. එයාගේ අයියා ධනුක අයියා නිසා. හැමෝම කතා කළේ ධනුකගේ නංගී කියලා. මම මෙයාව දැකලා තිබ්බට ඒ අශිංශා කියලා දන්නේ නැහැ. මගේ යාළුවන්ට මම මෙයාව සෙට් කරලා දෙන්න ගියා. විහිළු කළා. දවසක් අයි.ටි ක්ලාස් එකේ සර් මට සිංදුවක් කියන්න කිව්වා. මම කිව්වේ පෙර දවසක ගීතය. අශිංශා හිටියේ මුල්ම පේළියේ. මට සිංදුවේ පද මතක නැතුව සිංදුව අතර මැද නතර කරාම එයා මට සිංදුව කියන්න වචන මිමිණුවා. එදා තමයි මම එයාව හරියට දැක්කේ.

 

ආදරේ ප්‍රකාශ කරද්දී වයස 16 ක් නේද ..?

ඔව්. සිංදුවේ පද මිමිනුව දවසේ මට දැනුනා එයාට මගේ හිතේ කැමැත්ත ඇති වුණා කියලා. එදාම තමයි මම දැන ගත්තේ ඒ ධනුක අයියාගේ නංගී කියලා. මම මගේ යාළුවෙක්ගේ අතේ ෆෝන් නම්බර් එක ලියලා එයාට කැමතියි කියලා චිට් එකක් යැව්වා. ඒක මගේ යාළුවා දීලා තියෙන්නේ එයාගේ යාළුවෙකුට. අශිංශා පණිවිඩය එවලා තිබ්බේ එක එක්කෙනාගේ අතේ පණිවිඩ යවන්නේ නැතුව කෙළින් අහන්න කියලා . ඊට පස්සේ ක්ලාස් එක ඉවර වෙලා ළමයි හැමෝම යනකල් ඉඳලා එයා යන වෙලාවේ එයාගේ අතින් අල්ලලා නතර කරගෙන මම මගේ කැමැත්ත ප්‍රකාශ කළා. සතියක් විතර ගියාට පස්සේ තමයි කෝල් කළේ. මාස දෙක තුන ගියාට පස්සේ කැමති යි කිව්වා.

 

අශිංශාට ඉන්නේ අයියා කෙනෙක් , බය හිතුණේ නැද්ද ඔහු අකමැති වෙයි කියලා ..?

ඕවා කිසි දෙයක් හිතන්න තරම් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ . අපි දෙන්නා යාළු වෙලා අවුරුදු හතරක් සම්පූර්ණ වෙන දවසේ තමයි මම හිතුවේ එයාවම මැරි කරන්න. එතකල් එයාව බඳිනවා කියලා හිතලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ධනුක අයියට මැසේජ් කළා අයියේ මම බිතුම් කියලා. අහ් කියපං බං කියලා රිප්ලයි කරලා තිබ්බා. ඊට පස්සේ මම කිව්වා “මම අශිංශා ට ආදරේ කරනවා එයාගේ අම්මටයි තාත්තාටයි කියන්න බයයි“ කියලා. “ආහ් එළ එළ බං ප්‍රශ්නයක් නැහැ“ කිව්වා. ඊට පස්සේ අයියා එක්ක වුණත් එච්චර කතා කළේ නැහැ . දැන් නම් අශිංශාට වඩා අයියා මාත් එක්ක එකතුයි.

 

බිතුම්ගේ අම්මා අමිලා නදිශානි, දරුවන්ට උපරිමයෙන් සැප පහසුකම් දුන් නිදහස දුන් අම්මා කෙනෙක් ..?

මම තාත්තාට බයයි. ඒ නිසා තාත්තාට කිව්වේ නැහැ. අම්මට කිව්වා. අම්මා දවසක් ක්ලාස් එක ළඟට ආවා මාව දාන්න. ඒ වෙලාවේ මම අශිංශා ව මුණ ගැස්සුවා. අම්මා එයාට ගොඩක් කැමති වුණා. අපිට කැමති තීරණයක් ගන්න කිව්වා. අම්මා තාත්තා ට කියලා තිබ්බා කියලා මම දැනගත්තේ අශිංශා මට එයාගේ අම්මගේ ෆෝන් එකෙන් කෝල් කරද්දී තාත්තා තමයි ආන්ස්වර් කළේ. තාත්තා මට ෆෝන් එක ගෙනැත් දුන්නා. ඒත් තාත්තා දන්නවා කියලා අඟවන්න ගියේ නැහැ. නමුත් මට තේරුණා. ඒ දවස්වල අශිංශාට ෆෝන් පාවිච්චි කරන්න දුන්නේ නැහැ ඒ නිසා එයා අම්මා හරි තාත්තා හරි නැති වෙලාවක් බලලා ඉක්මනින් ඒ ෆෝන්වලින් කෝල් කරනවා. ඒ විදිහට තමයි ඒ කාලේ විනාඩියක් දෙකක් කතා කළේ. ඉතිං මගේ අම්මා කොහොමත් අපිව සැපෙන් තියපු ආදරණීය අම්මා කෙනෙක් , තාත්තාට බය වුණාට තාත්තාත් එහෙමයි.

 

ගෙදරින් උපරිම නිදහස ලැබුණට බිතුම් හොඳින් ඉගෙන ගත්තා

නේද ..?

ඔව්. මම ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. මම හොඳට සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ කරා. සාමාන්‍ය පෙළ A 5, B 2, C 2 යි. අශිංශා A7, B 1, C 1 යි, ඉතිහාසය දවසට කලින් දවසම අශිංශා ෆෝන් එකෙන් මට ඉතිහාසය ඉගැන්නුවා . උගන්නපු එයාට ඉතිහාසයට සී එකක් මට ඒ එකක්. අපි දෙන්නම ඉගෙන ගත්තා. එයා දැන් ජපුර කැම්පස් එකේ. මම එන් අයි. බී. එම්. එකේ ඉගෙන ගන්නවා.

 

ආදරේ කරන්න ඇයි අශිංශා වගේ කෙනෙක් තෝරා ගත්තේ..?

එදත් අදත් මගේ අම්මා වගේ මට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දුන්නු කෙනෙක් නිසා. කොහේ ගියත් සැක කරන්නේ නැති සැකෙන් ෆෝන් චෙක් කරන්නේ නැති සතියකට විතර කලින් පාටි වලට යන්න ට්‍රිප් යන්න අවසර ගන්න බලාගෙන ඉන්න ඕන නැති නිසා. එයාව බඳින්න හිතපු දවසෙම මමත් සෙල්ලක්කාර ජීවිතෙන් ඈත් වෙලා වගකීමෙන් වැඩ කරන්න හිතුවා. නමුත් මම ආසයි නිදහසේ ජීවත් වෙන්න. අපි දෙන්නගේ ගොඩක් ගැළපෙන තැන් තියෙනවා ඒ නිසා ජීවත් වෙන්න ලේසියි.

බිතුම්ගේ කතා බහෙන් අනතුරුව ධනුක දිල්ශාන් ගේ නැඟණිය වූ බිතුම්ගේ බිරිය වූ අශිංශාව කතාබහට එකතු කර ගත්තා.

 

අශිංශා පවුලේ එකම ගැහැනු දරුවා. අයියට කලින් විවාහ වුණා නේද ..?

විදෙස්ගත වෙන්න ඕන නිසයි ඉක්මනින් විවාහ ගිවිස ගන්න සිදු වුණේ. තවම මම ඉන්නේ මගේ ගෙදර නිසා මගේ වෙනසක් පවුලේ අයට දැනිලා නැහැ. අයියා මට වඩා අවුරුදු නමයක් වැඩිමහල්. අයියත් ළඟදීම විවාහ වෙයි.

 

අයියා වැඩිපුර ම ආදරේ නංගිට නේද ..?

ඔව්. අයියා වැඩිපුර මට ආදරේ කරන්න ලොකු හේතුවක් තියෙනවා. අයියට වඩා බාල මල්ලියෙක් ඉදලා. එතකොට මට වයස අවුරුදු දෙකහාමාරක්. මගේ චූටි අයියා එයා. එයාට අවුරුදු නමයක් තියෙද්දි තැලසීමියා නිසා නැති වෙලා. ඒ දවස්වල මාව ගෙදර අයට එච්චර ගානක් නැතිලු අසනීප අයියාව බලාගෙන එයාට වැඩිපුර ආදරේ කරලා. අයියා නැති වුණාට පස්සේ දවසක ධනුක අයියා හීනෙන් දැකලා මම ළිඳට වැටිලා මැරිලා ඉන්නවා. එදා එයා හොඳටම බය වෙලා මල්ලි නැති වුණා වගේ නංගිත් මට නැති වෙයි කියලා. අයියා කිව්වා ඒ හීනෙන් පස්සෙලු එයා මාව ගොඩක් පරිස්සම් කළේ. අදටත් අයියා මට හරි ආදරේ යි.

 

ඒ ආදරේ නිසා වෙන්න ඇති බිතුම් එක්ක තිබ්බ සම්බන්ධයට කැමැත්ත දුන්නේ..?

මම නරක දෙයක් කරන්නේ නැහැ කියලා අයියා දන්නවා. අනිත් එක එයා කැමති නැහැ මාව හිර කරලා හදන්න. අම්මා මගේ පස්සෙන් ඉන්න නිසා කොහොමත් වැරදි කරන්නේ නැහැ . හොඳම තීරණය ගත්තා කියලා අයියට හිතෙන්න ඇති.

 

ඒ වුණාට අම්මා අකමැති වුණා නේද .?

බිතුම්ගේ උපන් දිනේට කේක් අරගෙන එයාලගේ ගෙදරටත් අම්මා මාත් එක්ක ගියා. එතකොට අම්මා දන්නේ අපි දෙන්නා හොඳ යාළුවෝ කියලා විතරයි . දැනගත්තට පස්සේ ප්‍රශ්න ගොඩක් ආවා අධ්‍යාපන කටයුතු අඩාල කරගනියි කියලා. අන්තිමට කැමැත්ත දුන්නා.

 

බිතුම්ගේ අම්මා ගායිකාවක් කියලා දැනගෙන ද බිතුම් ට ආදරේ කළේ..?

බිතුම් ක්ලාස් එකේ ප්‍රසිද්ධ චරිතයක්. එයාගේ අම්මා නිසා. අපිත් එක්ක ක්ලාස් එකේ සිංදු කියන නිසා. ඒත් මම දැනගෙන හිටියේ නැහැ පස්සේ දැනගත්තේ. ප්‍රසිද්ධියත් එක්ක ආදරේ කළේ නැහැ. මගේ අයියත් ජනප්‍රිය කෙනෙක්නේ. ඒවා අපිට අදාළ වුණේ නැහැ

 

කොහොමද බිතුම්ගේ අම්මගේ සැලකිල්ල..?

එයාගේ අම්මා මට හරිම ආදරෙයි. මගේ අම්මා වගේම මාව බලාගන්නවා.

 

ධනුක වගේ රඟපාන්න අශිංශාට ආසාවක් නැද්ද ..?

අයියා නිසා මට ආරාධනා ලැබිලා තියෙනවා. අයියා කැමති වුණේ නැහැ මාව රඟපාන්න යවන්න. ආසයි. හොඳ චරිතයක් ලැබුණොත් බලමු.

 

ධනුකට කාලෙන් කාලෙට කට කතා හැදුණා, ඒ කාලේ අශිංශාට අයියා ගැන මොකද හිතුණේ ..?

අයියා කාලයක් ගෙදරට වෙලා හිටියේ. තණමල්විල කොල්ලෙක් රූගත කළාට පස්සේ. ඒ කාලේ කතා පැතිරුණා අයියා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා. නාට්‍ය නිසා අයියා ඇඟ පවා හදා ගත්තා ඒ නාට්‍ය වීකාශය වෙනකල් වෙන නිර්මාණ පවා භාර ගත්තේ නැහැ. ඒ චරිතය වෙනුවෙන් කැප වුණා මිසක්. නමුත් කතා හැදුණා බොරුවට. ඒවා ඇත්ත නෙමෙයි මගේ අයියා නිසා කියනවා නෙමෙයි. ඒ කාලේ මට ක්ලාස් යන්න බැහැ සමහර ළමයි ඒ ගැන අහනවා. මට ලැජ්ජයි. අම්මා බණිනවා ගෙදර ඉන්නෙ නැතුව ලැබෙන නිර්මාණ භාර ගන්න වැඩ කරන්න එතකොට කතා නැහැනේ කියලා. නමුත් අයියා කිව්වේ පොඩ්ඩක් ඉන්නකෝ තණමල්විල කොල්ලෙක් ආවට පස්සේ හැමෝම වෙනස තේරුම් ගනියි කියලා. ඒ වගේම ඒ චරිතයට පුදුම විදිහට ප්‍රතිචාර ලැබුණා සම්මාන පවා අයියට ලැබුණා . කතා ඇහෙද්දී දකිද්දී මම අයියට බැණලා. අඬලා තියෙනවා . ඒත් අයියා කවදාවත් මානසිකව වැටුණේ නැහැ.

 

එතකොට උමාලි තිලකරත්න එක්ක හැදුණු කතා..?

උමාලි අක්කව මට සම්මාන උලෙළ වල්වලදී මුණගැහිලා කතා කරලා තියෙනවා. එහෙම සම්බන්ධයක් ගැන මම දන්නේ නැහැ එයා ගොඩක් හොඳ චරිතයක්. දක්ෂ නිළියක්. එයත් එක්ක එකට රඟපාපු නාට්‍යයක් නිසා තමයි එක එක කතා හැදුණේ. මොන නාට්‍ය ක රඟපෑවත් ඒ නාට්‍යයේ නිළිය එක්ක යාළුයි කියලා තමයි කතා හැදෙන්නේ කොයි නළුවටත්.

 

අයියත් දැන් පෙම්වතෙක්නේ, අයියගේ ආදරේ දැන් අඩු වෙලාද..?

ඒ ආදර කතාව පටන් ගන්නේ 2009 අවුරුද්දේ ඉදලා. අක්කාගේ නම අශ්විනි පීරිස්. එයා මිස් ශ්‍රී ලංකා දෙවැනි තැන ගත්තා 2010 අවුරුද්දේ. දෙන්නා තරහා වෙනවා යාළු වෙනවා. දැන් නම් විවාහ වෙන්න තීරණය කරලා ඉන්නේ. එයා හිටියට අයියා මට තාම ආදරෙයි. ඒ වගේම කියන්න ඕන අයියට කෙල්ලො ගොඩක් හිටියා කියන කතා බොරු. සීරියස් දෙන්නෙකුට ආදරේ කළා. ගෙවල්වල ප්‍රශ්න ඇති වුණු නිසා තමයි ඒවා නතර කරන්න වුණේ. ‍

 

බිතුම් ගායකයෙක් විදිහට දකින්න ඔබ කැමතිද..?

ඔව්. එයාගේ අම්මා ලියපු ගීත දෙකකින් එයාගේ කටහඬ ළඟදීම අහන්න ලැබෙයි. ඊට අමතරව එයාගේ යූ. ටි. බ් එකේ වැඩත් අපි දෙන්නම කරගෙන යනවා.

Comments