
පුදුකුඩිඉරිප්පු හී උඩයාර්කට්ටු දකුණේ පිහිටි අම්මාන් කෝවිල පිටුපස පිහිටි ඉඩමක් පිරිසිදු කිරීමේදී දිරාගිය කොස් ගසක් පාමුලින් තවත් මිනිස් ඇටකැබලි රැසක් හමුවී ඇත.
මුලතිව් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව පෙරේදා (30) එම ස්ථානයේ කළ කැණීමකදී එම මිනිස් ඇට කැබලි හමුවූ බව පොලීසිය කියයි.
පසුගිය 23 වෙනිදා එම ඉඩම හෙළි පෙහෙළි කිරීමේදී දිරා ගිය කොස් ගසක මුලක් ඉවත් කිරීමේදී එම ස්ථානයේ තිබී පොහොර උරයක් හමුවී තිබුණි. එම උරයේ තිබී ඇත්තේ මිනිස් ඇට කැබලි රැසකි. ඒ ගැන ඉඩම් හිමියා පොලීසියට කළ දැනුම්දීමකට අනුව පොලීසිය ඒ ගැන විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.
ඒ අනුව අධිකරණ නියෝගයෙන් එම ඇට කැබලි පිරවූ පොහොර උරය හමුවූ ස්ථානය පෙරේදා නැවත කැණිමක් කරමින් පරීක්ෂා කිරීමේදී තවත් මිනිස් අස්ථි කොටස් රැසක් හමුවූ බව පොලීසිය සදහන් කළේය.
ඊට අමතරව සයනයිඩ් කරලක් සහ දිරා ගිය ටී 56 අවියක උණ්ඩ කොටස් කිහිපයක්ද හමුවූ බව පොලීසිය සඳහන් කළේය.
බොහෝ විට මෙම ඇට කැබලි යුද්ධය පැවති සමයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ බවට පොලීසිය සැකකරයි.