රොකට් වේගෙත් පරද්දන එළවළු මිලේ රඟේ | Page 2 | සිළුමිණ

රොකට් වේගෙත් පරද්දන එළවළු මිලේ රඟේ

- මෙවර පෑලියගොඩ මැනිං මාර්කට් ඉතිහාසයේ වැඩිම එළවළු මිල
- දැන් නැත්තේ මැලේසියන් නෙළුම් අල ඇට විතරයි. කොහිලත් මැලේසියන් වෙයි
- අවාරෙට එළවළු වගාවත් මිල වැඩි වීමට හේතුවක්
- මැලේසියන් කැරට් බීජ කිලෝව ලක්ෂ පහට නඟී
- කංකුං රටින් ගෙනා යුගයට නැවත යන්න වෙයිද

පාසල් ගිය සන්දියේ සෞඛ්‍ය පන්තියේදී 'පෝෂ්‍යදායී ආහාර මොනවාදැයි?' ඇසීම ප්‍රධාන ප්‍රශ්නයක. පාසල් සිසු සිසුවියන් එයට ගිරාපෝතකයන් මෙන් පවසන පිළිතුර නම් 'මස්, මාළු, කිරි, බිත්තරය. ඒත් දැන් මස් - මාළු - කිරි - බිත්තර කන්නත් බැරිය. ඒ ඒවායේ මිල උඩු ගුවනේය. කිරි බොන්නත් බැරිය. කිරිවලින් හදපු යෝගට් එකක් පවා රුපියල් 80/- ද ඉක්මවා ගොස් ඇත. 

ඒත් ඉතින් අපේ ඉස්කෝලවල එළවළුවල ගුණ වැඩිපුර උගන්වන්නට ගියේ නැත. ඒත් වෛද්‍ය උපදෙස් අනුව තන්තුමය ආහාරපාන ගැනීම වඩාත් ගුණදායකය. ඒ කියන්නේ එළවළුය. පසු කලෙක දිනකට ආහාරයට ගත යුතු එළවළු ප්‍රමාණය ගැන සටහනක් ද පාසල්වලට නිකුත් කරන ලදී. පාසල්වලට බෙදා දුන් සටහන් අනුව දිනකට එළවළු වර්ග පහක් පමණ පරිභෝජනය කළ යුතු අතර බත් අඩුවෙන් ආහාරයට ගැනීම හොඳ ස්වස්ථතාවට හේතුවකි. ඒත් අද රටේ ජනගහනයෙන් වැඩි පිරිසකට වැඩිපුර බත හා යාන්තම් පොල් කිරි හෝ තෙල් දැමූ එළවළුවකින් සැනසෙන්නට සිදුවී ඇත්තේ එළවළු මිල ද අහසට උසට ඉහළ ගොස් ඇති නිසාය. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට වැසියන් සාමාන්‍යයෙන් අවුරුද්දකට හය වතාවක් වෛද්‍ය ප්‍රතිකාර පතා මේ වන විටත් රෝහල්වලට පැමිණෙන බව ගණනය කොට ඇත.

දැන් රටේ කාගෙත් කතාබහට ලක් වී ඇත්තේ එළවළු මිලය. ඒත් එළවළු මිල පහත හෙළීමට ආණ්ඩුවක් සක්‍රිය ලෙස මැදිහත් වන බවක් ඉතිහාසය පුරා නැත. ඒත් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම ඇමති කෙනෙක් සිටී. පළාත් සභාවල ගම් සභාවල නගර සභාවලත් කෘෂිකර්මය භාර මන්ත්‍රීවරු සිටිති. පසුගිය බදාදා පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තලවතුගොඩ මොනාක් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පැවසුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් සංඛ්‍යාව නිශ්චිතව ගණනය කර ගැනීමට තවමත් තමන්ට හැකියාවක් ලැබී නැති බවය.

එළවළු මිල බැස්සීමට ආණ්ඩුවකට කළ හැකි දේ ඇත. ඒත් අවාසනාව වන්නේ ආණ්ඩුව කළ යුතු දේ ගැන අවබෝධ කර නොගැනීමය. කලින් කී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතිවරයා කියා සිටියේ තමන් සතියකට පෙර පෝර බෙදා හරින්නට කිව්වත් තවමත් කෘෂි නිලධාරින් ගොවියකුට නිකුත් කරන පෝර කිලෝගාණවත් නොදන්නා බවය.

මෙරට ගොවීන් කලකට ඉහත කප් ගැහුවේ දහ අතේ ණයවී ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගත් පසු එය විකුණාගත නොහැකිව 'වස' බීමෙනි. පසුගිය ආණ්ඩු කාලවල ගොවීන් නඟා සිටුවන්නට මෙන්ම එළවළු මිල අඩු කරන්නට ගත් උත්සාහය ද අපට අමතක නැත. ජනපති චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දිවයින පුරා සතොස භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි යළි කොළඹ එනවිට ගොවීන්ගෙන් එළවළු රැගෙන ඒමට හැකිවන පරිදි වැඩපිළිවෙළක් සකස් කෙළේ ඒ එළවළු 'සතොස' වෙළෙඳසල්වල අලෙවි කිරීමේ සැලසුමක් සහිතවය.

නමුත් එකී වැඩපිළිවෙළ සාර්ථක වූයේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ එළවළු ප්‍රවාහනයේදී 'ප්ලාස්ටික් කුඩු' අනිවාර්ය කිරීමේ නීතියක් ගෙනාවේය. එහෙත් ඊට විරෝධය එල්ල වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ලත් තැනම ලොප් වී අසාර්ථක විය. මෙවැනි 'වැඩ' වෙනුවට එළවළු ගොවියාට නියම මිලක් නැතිවීම, ප්‍රවාහනයේදී එළවළු නාස්ති වීම, එළවළු ගබඩා කිරීමට පහසුකම් නොමැති වීම, අස්වනු වැඩිකර ගැනීමට අවශ්‍ය තාක්ෂණය නොලැබීම, එළවළු වස විස සහිත වීම, එළවළු හිඟය නිසා මිල ඉහළ යෑම, එළවළු වෙළෙඳපොළේ දැන් දැවෙන ප්‍රශ්න වී හමාරය. චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දිවයිනේ පළාත් කිහිපයක 'ආර්ථික මධ්‍යස්ථාන' පිහිටුවනු ලැබුවේ මේ එළවළු ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාදීමටය. ඉන් එක් ආර්ථික මධ්‍යස්ථානයක් අනුරාධපුර තඹුත්තේගම විවෘත විය. 2002දී වෙළෙඳ කුටි විස්සකින් ආරම්භ කළ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මේ වනවිට කුටි 100 ද ඉක්මවා ගොස් තිබේ.

පසුගියදා අප කොළඹ එළවළු මාර්කට් කිහිපයකම කරක් ගසා අන්තිමට ගියේ පෑලියගොඩ එළවළු තොග මාකට් එකටය. ඒකට ද නම දමා තියෙන්නෙත් මැනිං මාකට් එක කියාය. ඒත් පෑලියගොඩ එළවළු මැනිං මාකට් එකට යන්න නම් අමුතුවෙන් යා යුතුය. මීගමු පාරේ සිට මාර්කට් එකට දුර කිලෝමීටරයට වැඩිය. ත්‍රිවිල් ගාස්තුව රුපියල් 150කි. මැනිං මාකට් එකේ බස් නැවතුමක් ඇතත් බස් රථයක් නම් නැත. සිළුමිණ ගොළුමඩම හන්දියේ සමගාස්තු ත්‍රීරෝද රථ සේවයක් ගැන ලිපියක් පළ කළේ සති කීපයකට පෙරය. ඉන්පසු මැනිං මාකට් එක අසල ද ත්‍රිරෝද රියදුරන් ත්‍රිරෝද සේවයක් අරඹා ඇත. මගීන් හතරක් දමාගෙන එක් අයකුගෙන් රු. 50/- බැගින් අය කිරීම මෙම සේවයයි. අමතර රු. 50ක ගතමන්ට් එකක් උපයාගත හැකිය.

මැනිං එළවළු තොග වෙ‍ෙළඳපළේ ඡායාරූප ශිල්පියාත් සමඟ අරමුණක් නැතිව ඒ පැත්තටත් මේ පැත්තටත් ගමන් කළේ එළවළු මිල ගණන් ඇහීමටය. වළෛඳපළ එළවළු මිල ගණන් ගැන අවබෝධයක් ලබාගෙන ඉන්පසු හමුවුණේ මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයාය. ඔහු ප්‍රභාත් සුසන්තය. ඔහු මුලින්ම පැවසුවේ පෑලියගොඩට මැනිං මාකට් එක ගෙනා පසු මේ තරම් එළවළු මිල කවදාකවත් ඉහළ ගියේ නැති බවය.

"එළවළු ගණන් ඇහුවාම සමහරු අහනවා මෙච්චර එළවළු ගණන් හඳෙන් ගෙනල්ලද කියලා. එළවළුවලට ගහන පෝර - කෙමිකල් නැති වුණා. වර්ෂාව නිසා ඵලදාව නෙළා ගන්නත් අමාරුයි. ඩීසල් කෝටා එක දෙතුන් සැරයක් එළවළු ගේන්න අමාරුයි. තුන්දහට තිබ්බ පෝරමිටිය විසිපන්දාහට ගියා. අන්තිමට මේ ඔක්කොම නිසා එළවළු මිල හිතාගන්න බැර විදිහට මිල ඉහළ ගියා."

ප්‍රභාත් සුසන්ත පවසන්නේ ඉස්සර ගමකට ගියහම එළවළු කොරටු විසිපහක් පමණ දැකගත හැකි වුවත් දැන් දැක ගත හැක්කේ දෙක තුනක් විතරයි කියාය.

"දැන් එළවළු දාන දැල් ගෝනිය රුපියල් විස්සේ ඉඳන් 120ට නැග්ගා. ඉස්සර එළවළු ගෝනියක ට්‍රාන්ස්පෝට් වියදම රු. 150/-යි. දැන් ඒක වැඩිවුණා රු. 500ට. එළවළු කිලෝවක් කඩන්න රු. 20ක් විතර යනවා. පෝරවලට කිලෝවකට රු. 40 - 50ක් යනවා."

"දැන් ඔය එළවළු ගේනකොට වෙන ඩැමේජ් කූඩවලින් ගෙනාවම අඩු වෙනවා නේද?"

"නෑ නෑ වියදම වැඩි වෙනවා. ගෝනියක එළවළු කිලෝ 50ක් දාන්න පුළුවන්. ඒ එළවළු ටිකම කූඩවල දානව නම් කූඩ 3ක දාන්න වෙනවා. එතකොට ට්‍රාන්ස්පෝට් වියදම වැඩියි. කූඩ නීතිය තිබ්බ නම් එළවළු මිල මීටත් වැඩි වෙනවා සිකුරුයි."

මැනිං වෙ‍ෙළඳපළ පුරා බැලූවිට අපට පෙනුණේ ගමේ ගොඩේ එළවළු සියල්ල මැලේසියන් වී ඇති බවය. එහි විකුණන්නට තිබූ කොහිල අල පුවක් ගහකටත් වැඩිය මහතය. 

"මහත්තයා දැන් මැලේසියන් බීජ නැත්තේ නෙළුම් අල විතරයි. දැන් කොහිලත් මැලේසියන් මෙලෝ රහක් නෑ. දැන් බලන්න මේ මැලේසියන් බෝංචි. ලස්සන විතරයි. බ්‍රොයිලර් එකක් වගේ උයනකොට දිය වෙනවා. මෙන්න ලංකාවේ බෝංචි. නියමෙට මස් තියෙනවා."

එළවළු මිල ඉහළ යෑමට හේතු සොයා යාමේදී අපට පෙනී ගියේ නට්ටාමි ගාස්තු ඉහළ යෑම ඊට හේතු වී ඇති බවය. ඊටත් වඩා වෙනදාට පෑලියගොඩ මැනිං එළවළු මාර්කට් එකට ලොරි 250කට වඩා ආවත් අස්වැන්න හිඟ වීම නිසා අද එන්නේ එළවළු ලොරි 150කට අඩුවෙනි. එදා නට්ටාමි කෙනෙක් ලොරියකින් එළවළු ගෝනියක් බාන්නට අය කොට ඇත්තේ කෑල්ලකට රු. 20/-කි. ඒත් අද ඒ ගාස්තුව රු. 40/-ක් වී තිබේ. ලොරියකට ගෝනියක් පටවන්නට එදා අය කළේ රු. 60ක මුදලකි. ඒත් අද එය රු. 80 - 100 දක්වා වැඩිවී ඇත. මේ ඔක්කොම එකතු වන්නේ එළවළු මිලටමය.

එදා ගෙදරටම එළවළු ගෙනා නැන්දාට කිව්වේ 'වට්ටි අම්මා' කියාය. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන කවදත් කාන්තාවන්ට ගරු නම්බු දී කතා කළ පුද්ගලයෙකි. විශ්‍රාම ගිය ජේ.ආර්. ගේ ලේකම් වූයේ ප්‍රේමතිලක මාපිටිගම. මාපිටිගම මට වරක් කිව්වේ රොස්මිඩ් ගෙදරට ආ වට්ටි අම්මාට ද ජේ.ආර්. කතා කළේ 'මැඩම්' කියාය. මැනිං මාකට් එකේ අප දැකපු එළවළු විකුණන මැඩම් පුෂ්පරානිය.

"මම අවුරුදු 16ක් එළවළු බිස්නස් කරනවා. එළවළු මිල වැඩි වුණාට අපේ ලාබෙ වැඩි වුණේ නෑ. දැන් එළවළු විකිණෙනවා අඩුයි. දැන් මේ බෝංචි ගන්නේ 480යි. විකුණගන්න බෑ. දැන් දෙන්නේ 500 ගානේ. ෂොපින් බෑග් එකටම රු.20ක් යනවා. එළවළු ගාන වැඩිවුණා වගේ නෙමෙයි අඩු වුණාම බිස්නස් වැඩියි.

මැනිං මාකට් එළවළු වෙ‍ෙළඳුන් පුන පුනා කිව්වේ එළවළු මිල ඉහළ යෑමට ෂොපින් බෑග් මිල ඉහළ යෑම ද බලපා ඇති බවයි. මැනිං මාකට් එකේ සිටින ෂොපින් බෑග් විකුණන තරුණ වෙළෙන්දකු වූ ගයාන් මධුසංකගෙන් මේ ගැන විමසුවෙමි.

"ඉස්සර රුපියලට වික්ක බෑග් එක දැන් 2.20යි, රු 2ට තිබ්බ බෑග් එක රු. 3.80, රුපියල් 5ට තිබ්බ ෂොපිං බෑග් එක දැන් 9.80යි. ඒ ගානට වැඩිවුණාම විකිණෙන්නේ නැති නිසා දැන් ගාන අඩු වේගෙන යනවා."

මැනිං මාකට් එකේ සිටින පැරැණිම එළවළු වෙළෙන්දා සෙවූ අපට අවසානයේ ඔහු හමු විය. ආරියතිලක දැන් එළවළු වෙළෙඳාමේ යෙදෙන්නේ වසර 55ක සිටය. ආරියතිලක අප යන විට මුළුමනින්ම වික්කේ බණ්ඩක්කා පමණය. බණ්ඩක්කා කිලෝවක ළපටි තොග මිල රු. 150ක් විය. එස්.වී. ආනන්ද සිළුමිණට අදහස් දක්වමින් පවසා සිටින්නේ තමන් අවුරුදු 35ක් එළවළු බිස්නස් කරන බවය.

"එළවළු මිල ඉහළ ගියේ යල මහ කන්න දෙක තෝරා බේරා ගන්නැතුව හැමදාම ගොවිතැන් කරන්න පටන් ගත්ත නිසා. අවාරෙට එළවළු හිටවල වැස්ස කියල අලාභ වුණා කියනවා. කෘෂිකර්ම ඇමැතිල පාර්ලිමේන්තුවේ, නගර සභාවල කීදෙනෙක් ඉන්නවද. එකෙක් යන්නෑ ගොවියෙක්ගේ දුක සැප බලන්න. මේ රටේ ගොවිතැන යන්නේ අයාලේ. දැන් බලන්න බෙලි, දිවුල්, කොස් වලට වාණිජ බෝග කියනවද? නෑ. ඒත් මිලක් නියම වෙනවා. කඩන්න ගිය වියදම, ලොරි කුලී, කඩකුලී, නට්ටාම් කුලී ඒවාටත් එකතුවෙලා මිලක් නියම වෙනවා. ඊට පස්සෙ විකුණගන්න බැරි වුණොත් මිනිස්සු කියනවා ඊට වැඩිය හොඳයි ගහ යට ඉදිලා වැටිල ගියා නම් කියලා."

සමින්ද පීරිස්ගේ තනතුර මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ලේකම් ධුරයයි.

ඉස්සර අක්කරයක් වගා කළ ගොවියා වගා කරන්නේ අක්කර කාලයි. ඒ කාලට යනවා එදා අක්කරයට ගිය වියදමට වඩා. මැනිං මාකට් එකේ වැඩියෙන්ම විකිණෙන්නේ ලීක්ස්, කැරට්, බෝංචි, මාළු මිරිස් තමයි. එළවළු තොග මිල අහල සිල්ලර මිල ඇහුවාම සමහරු පුදුම වෙනවා. ඒත් තොග ගන්න එළවළුවල පණුවො කාපු කොළ, තැළිච්ච එව්වා ඔක්කොටම සිල්ලර වෙළෙන්දා අයකර නොගත්තොත් බිස්නස් පාඩු වෙනවා.

මේ බොහෝ වෙ‍ෙළන්දන් පවසන්නේ මේ රටේ රාජ්‍ය යන්ත්‍රණය තුළ කෘෂිකර්මය සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් නොතිබීම මේ එළවළු මිල ඉහළ යෑමට හේතුවී ඇති බවය.

ලංකාවේ තක්කාලි කිලෝව රුපියල් 5ට බැස්ස. වැස්ස කාලවල පවා තක්කාලි සෝස් හදන්න තක්කාලි යුෂ බැරල් ඉන්දියාවෙන් ගේන්නේ ලංකාවේ වගා කරන තක්කාලි ප්‍රභේදය බාල මැලේසියන් තක්කාලි විශේෂයක් වීම නිසාය. මෙයින් පෙනී යන්නේ මෙරට ගොවීන් අවිචාරවත් ලෙස වැඩි ඵලදාව උදෙසා මැලේසියන් බීජ පසුපස හඹා යෑම නිසා ද මෙරට එළවළු මිල වැඩිවීමට හේතුවී ඇති බවය. මේ මැලේසියන් බීජ එළවළු සුළු වැස්සකදි පවා කල්තබා ගැනීම ප්‍රශ්නයක් වී ඇත. ඊටත් වඩා මේ විදේශීය බීජ මිල වැඩි වී ඇති ආකාරයෙන්ම එළවළු මිල වැඩිවීම ඔබටත් පැහැදිලි කරගත හැකිය. බෝංචි රු. 3680, දඹල රු. 1200, මෑ කරල් රු. 17600, කැරට් රු 500000යි, ලීක්ස් රු. 500000යි, නෝකෝල් රු. 90,000, රාබු රු. 140000, වම්බටු රු 20,000, තක්කාලි රු. 114000යි, වැටකොළු රු. 48550, වට්ටක්කා රු. 123000යි, ගෝවා රු. 400000යි, පිපිඤ්ඤා රු. 184000යි, මාළුමිරිස් රු. 43500, කරවිල රු. 169000යි, මිරිස් රු. 100000යි, කැකිරි රු. 31500, බීට් රු. 93500, පතෝල රු. 10000, බණ්ඩක්කා රු. 36,000. මිල වැඩිවීමට පෙර බෝංචි බීජ කිලෝවක මිල පැවතියේ රු. 600ටත් අඩුවෙනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් වඩාත් කාර්යක්ෂමව ගොවිතැනට මැදිහත් නොවුණහොත් මෙරට එළවළු වෙ‍ෙළඳාම ගෑස්, පෙට්‍රල් අර්බුදය මෙන් අර්බුදයකට පත්වනු නිසැකය. ඉන්දියාව, පාකිස්තානය, ඇමෙරිකාව, චීනය හෝ තායිලන්තය කෘෂිකර්මය වෙනුවෙන් ප්‍රතිපත්ති තීරණ ගෙන ඇති ආකාරය අධ්‍යයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශය නිතැතින් කළ යුත්තකි. කිංස්ලි ටී. වික්‍රමරත්න වෙළෙඳ ඇමති කාලේ මෙරටට කංකුං පවා පිටරටින් ගෙන්වා ඇති බව අද බොහෝ දෙනාට අමතකය.

මේ රටේ ඩොලර් ප්‍රශ්නයට කදිම විසඳුමක් වන්නේ මනා ප්‍රමිතියෙන් යුතු එළළු වගා කොට අපනයනය කිරීමය. ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ ශ්‍රී ලාංකික එළවළුවලට ඇත්තේ දැඩි ඉල්ලුමකි. නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් පවා තමන්ට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු එළවළු හා පලතුරු මිලදී ගත්තේ ඩුබායි සැපයුම්කරුවන්ගෙන්ය. මෑතක් වනතුරු මාලදිවයිනේ සමාගම් මෙරටින් එළවළු සහ පලතුරු මිලදී ගත් නමුත් එය අතහැර ඩුබායි සහ ඊශ්‍රායලයෙන් මිලදී ගන්නා බව පසුව අනාවරණය වී ඇත. එයට හේතුව මෙරට නිෂ්පාදන ප්‍රමාණවත් නොවීමය.

නිසි ප්‍රමිතියකින් සැපයිය නොහැකි වීමත් එක් හේතුවක් බව තහවුරු වී ඇත. දැන් අපේ එළවළු නිෂ්පාදනය දේශීයව යැපීමටවත් ප්‍රමාණවත් නොවීම මේ මිල ඉහළ යාමට හේතු පාදක වී ඇති බව අවසානයේ අපට තහවුරු කර ගත හැකිවිය. කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී නැවත මෙරට එළවළු වගාව නඟා සිටුවීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූයේ නැතහොත් නැවතත් 'ඉම්පෝටඩ් කංකුං' යුගයකට මෙරට එළවළු වෙළඳපල උදාවීම වැළැක්විය නොහැකිය.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments