ව්‍යවසායකයන් අබිසෙස් ගන්වන ගෝලීය ව්‍යවසායකත්ව සතිය | සිළුමිණ

ව්‍යවසායකයන් අබිසෙස් ගන්වන ගෝලීය ව්‍යවසායකත්ව සතිය

ලොව පුරා ව්‍යවසායකයන් නංවාලන රටවල් 140කට අධික ප්‍රමාණයක් එකම කාලයකදී සැමරූ 'ගෝලීය ව්‍යවසායකත්ව සතිය' හෙවත්, The Global Entrepreneurship Week - (GEW) පසුගිය නොවැම්බර් 14 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙරටේදී පැවැත්විණි.

මෙම 'ගෝලීය ව්‍යවසායකත්ව සතිය' සංවිධානය කරනු ලැබූයේ, අන්තර්ජාතික ස්වේච්ඡා පදනමක් වන Ewing Marion Kauffman හි සහයෝගයෙන් වන අතර, එය ලෝකයේ ඕනෑම කෙනකුට, ඕනෑම තැනක සමාගමක් ආරම්භ කිරීමට සහ වර්ධනය කිරීමට සහාය වන ස්වේච්ඡා ආයතනයකි. ලොව පුරා රටවල් 140කට අධික ප්‍රමාණයක් එක්ව සැමරූ මෙම වැඩසටහනේදී විවිධ ව්‍යවසායකයන්, ආයෝජකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් සහ සහයෝගිතා සංවිධාන පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරයි.

ගෝලීය වශයෙන් මෙවර ඊට එක්වූ හවුල්කාර සංවිධාන සංඛ්‍යාව 20,000කට වැඩි බව පැවසේ. එමඟින් විවිධ අංශවල නව්‍ය ව්‍යවසායකයන් හඳුනා ගෙන ඔවුන් සවිබල ගැන්වීම සිදු කෙරේ. එහිදී අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාකාරකම් 40,000ක් පමණ සිදු කිරීමට සැලසුම් කර තිබූ අතර, මෙම සැමරුම් සතියේදී තම තමන්ගේ රටවල සිදු කෙරෙන ක්‍රියාකාරකම්වලට අමතරව, ජාත්‍යන්තර වශයෙන් දැනුම, අත්දැකීම් සහ උදවු උපකාර බෙදා හදා ගැනීම ද සිදු විය.

මෙම ව්‍යවසායකත්ව (GEW- 2022) සතියට සමගාමීව ශ්‍රී ලංකාව, නව්‍ය ව්‍යාපාර පරිසර පද්ධති, ව්‍යවසායකත්ව අවස්ථා පිළිබඳ දැනුම්වත් කිරීම්, සෑම ව්‍යවසායකයකුටම සම අවස්ථා ලබා දීම සහ ව්‍යවසායකත්ව හිතකාමී ප්‍රතිපත්ති යන තේමා යටතේ ක්‍රියාකාරකම් 70කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා සත්කාරකත්වය දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතානය හෙවත්, ICTA කටයුතු කර තිබූ අතර. ඊට හවුල්කාර සංවිධාන 30ක් සහයෝගය දක්වා තිබිණි.

දේශීය ව්‍යවසායකයන්, ආයෝජකයන් සහ පර්යේෂකයන් අතර සහයෝගීතාවෙන් හා සම්බන්ධතා ශක්තිමත් කරමින් නව ව්‍යවසායකයන් දිරිගන්වන පරිසරයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ සඳහා මෙම සතිය පුරා විවිධ තොරතුරු බෙදා ගැනීම් සහ ඵලදායි සාකච්ඡා හා සමුළු රැසක් සංවිධානය කර තිබූ අතර, උසස් අධ්‍යාපනය ලබන සිසුන් හා පාසල් සිසුන් සඳහා වන දැනුම්වත් කිරීමේ ආයතනික සැසි, ප්‍රාදේශීය ව්‍යවසායකත්ව ආරම්භක මධ්‍යස්ථාන සහ ක්‍රියාකාරීන් සඳහා දැනුම්වත් කිරීමේ සැසි, ව්‍යවසායකයන් සඳහා වන අධ්‍යාපන ප්‍රදර්ශන, තාක්ෂණ, විනෝදාස්වාද හා නිර්මාණ අංශවල නිරතවන්නන්ගේ ඔන්ලයින් සාකච්ඡා ද පැවැත්විණි.

මීට අමතරව, ජපානයේ ව්‍යවසායකත්වය සඳහා මාර්ග, කුඩා හා මධ්‍ය පරිමාණ ඩිජිටල් ව්‍යවසායකයන්, කාන්තාවන් සඳහා ඩිජිටල් අලෙවිකරණය ප්‍රවර්ධනය කරන 'සුහුරු ලිය' වැඩසටහන්, තරුණ තරුණියන් සඳහා තාක්ෂණික ආරම්භක කඳවුරු සහ වෘත්තීය මාර්ගෝපදේශ සැසි, ස්වේච්ඡා සේවක වැඩසටහන් සහ ආයෝජකයන් සඳහා අවස්ථා ලබා දීමේ සැසි වැනි ක්‍රියාකාරකම් රැසක් සතිය පුරා පැවැත්විණි. ගෝලීය ව්‍යවසායකත්ව වැඩසටහන ශ්‍රී ලංකාවට වැදගත් වන ආකාරය පිළිබඳ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යේෂ්ඨ කළමනාකාරිනී නේවින්දරී ප්‍රේමරත්න පැවසුවේ මෙවැනි අදහසකි.

"ගෝලීය ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පද්ධතියට, සෙසු රටවල් සමඟ හොඳ ව්‍යවසායකත්ව සබඳතාවක් පවත්වා ගන්නට පුළුවන් වනවා. අපේ ව්‍යවසායකයන් කොයි තරම් සවිමත් ද, නවෝත්පාදන සමඟ ඉදිරියට යන ව්‍යවසායකයන්ට අවශ්‍ය සහයෝග කවරේද, අනිත් රටවල ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාවේ තිබෙන අවස්ථා මොනවාද යන කාරණා මෙම සතිය පුරා සාකච්ඡාවට බඳුන් වූවා. ව්‍යවසායක පද්ධතියේ සිටින ජ්‍යේෂ්ඨයන්ගේ ප්‍රවීණයන්ගේ අවවාද අනුශාසනා ලබා ගන්නටත් අත්දැකීම් හුවමාරු කරගන්නටත් මෙය ඉතා හොඳ අවස්ථාවක් වුණා.

දැනටමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින අතරතුර ව්‍යවසායක ක්ෂේත්‍රයට එකතු වී සිටින අංකුර ව්‍යවසායකයන් වෙත මූල්‍ය සහාය සහ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම, අලුත් ආයෝජකයන් සොයා ගැනීමට උදවු කිරීම, ඒ සඳහා නීති පද්ධති තුළ තිබෙන ගැටලුවලට විසඳුම් සොයා ගැනීම ඇතුළු වැඩසටහන් රැසක් මේ සතිය තුළදීත් ව්‍යවසායක ප්‍රජාව වෙත ලබා දීමට සියලු කටයුතු සංවිධානය කර තිබුණා. ඒ වගේම, google, AWS වැනි ප්‍රබල නවීන තාක්ෂණික ආයතනත් මේ සතිය තුළ, මීට සමගාමීව ක්‍රියාත්මක කිරීම සඳහා නොයෙකුත් වැඩසටහන් සංවිධානය කර තිබුණා. මේ සියල්ල ක්‍රියාත්මක වූයේ Education, Ecosystems, Inclusion සහ Policy යන ප්‍රධාන තේමා හතරක් යටතේයි.

ඩිජිටල් ව්‍යවසායකත්වය, ජාතික වශයෙන් කොතරම් වැදගත්ද යන කාරණාව පිළිබඳ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA), නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න පැවසුවේ මෙවැනි අදහසකි.

" ව්‍යවසායකත්වය පිළිබඳ කතා කිරීමේදී මෙම සතිය තුළ අප පුළුවන් තරම් උත්සාහ කළේ නවෝත්පාදන මූලික කරගත් ව්‍යවසායකත්වය කියන දේ දිරිගන්වන්න. ඕනෑම ව්‍යවසායකත්ව උත්සාහයකදී තාක්ෂණය භාවිත කරන්නට සිදු වනවා. නමුත් ඩිජිටල් ව්‍යවසායකයන් කරන්නේ, කර්මාන්තයේ විවිධ අවස්ථා සඳහා තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීම සහ අලෙවි කිරීමයි. Startup ව්‍යවසායකයන් බලන්නේ පුළුවන් ඉක්මනට ගෝලීයව තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගන්න, ප්‍රගමනය කියන දේ ගැන ඔවන් ඉතා සැලකිලිමත්. නව තාක්ෂණය කේන්ද්‍ර කරගත් ව්‍යවසායකයන්, startup ව්‍යවසායකයන් වීමට තමයි බොහෝ වෙහෙසෙන්නේ. ICTA ආයතනය, මෙවැනි ව්‍යවසායකයන් හත්සියයකට වඩා වැඩි පිරිසක් සමඟ වැඩ කරනවා. මෙයින් තුනෙන් එකක් පමණ සිටින්නේ බස්නාහිර පළාතෙන් පිට වීමත් විශේෂත්වයක්.

මේ ව්‍යාපාර අතර, ඩිජිටල් භාවිත කරන අයත් සිටිනවා. ඩිජිටල් විසඳුම් නිර්මාණය කරන අයත් සිටිනවා. දැනට අප ලෝකය තුළ ප්‍රචලිත වී සිටින්නේ ඩිජිටල් නිර්මාණය කරන රටක් හැටියටයි. දැනටමත් අපේ ICTA හා DPM කර්මාන්ත තුළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක අපනයන ආදායමක් උපයනවා. ඒ දේ නිසා තමයි අපේ ඩිජිටල් ආර්ථිකය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට, 4.3%ක් ලෙස සටහන් වන්නේ. ඒ කියන්නේ, ඩිජිටල් ආර්ථිකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස අප ගණනය කර තිබෙනවා. ඉතින් ඩිජිටල් ආර්ථිකය තුළ විදේශ විනිමය උත්පාදනය සඳහා බොහෝ අවස්ථා ඇති බව මින් පැහැදිලියි. මොකද රටක් හැටියට අපිට මේ වෙලාවේ විදේශ විනිමය ඉපැයීමේ අවශ්‍යතාව ඉතාම වැඩියි. ඒ ආශ්‍රිත ව්‍යාපාර දියුණු කිරීමෙන් ඩොලර් ලබා ගැනීමේ මේ මහා අභියෝගය අපට ජය ගන්නට පුළුවන්..."

නව ව්‍යවසායකත්ව අංශයේ ජයගත් චරිත අතර, Magicbit නවෝත්පාදන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හා සම නිර්මාතෘ, මිගාර අමිතෝදන වඩාත් සුවිශේෂී චරිතයකි.

ඔහු ICT කර්මාන්තයේ වසර 10කට වැඩි පළපුරුද්දක් ඇති වෘත්තියෙන් වරලත් ඉංජිනේරුවකු වන අතර, තාක්ෂණය සියල්ලන්ට ලබා දීමට දැඩි උනන්දුවක් දක්වයි.

ICTA ආයතනය දියත් කර ඇති spiralation වැඩසටහනේ සහායෙන් සිය ව්‍යාපාර දියුණු කරගත් ඔහු, අභියෝග ජයගත් ආකාරය පිළිබඳ පැවසූයේ මෙසේය.

" අප මුලින්ම පටන් ගත්තේ අධ්‍යාපනයට සම්බන්ධ ව්‍යාපාරයක්. නව තාක්ෂණය එක්ක නව නිර්මාණ කරන්නේ කොහොමද? කියන දේට උත්තරයක් සෙවීමයි අපගේ අරමුණ වුණේ. ඒ වගේම පහසුවෙන් හා දරාගත හැකි ලෙස නව තාක්ෂණය පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්නයි Magicbit ආයතනය අපි පටන් ගත්තේ. මේ ක්‍රමවේදයේදී Robotic, Programming, අන්තර්ජාලය හරහා දේවල් පාලනය කරන හැටි (Internet Of Things) සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව යන විෂයන් අධ්‍යාපනයට ගළපා ගෙන ඉගෙන ගන්න අවශ්‍ය උපකරණ නිර්මාණයට, අපි විශේෂ අවධානයක් දුන්නා.

ඒ අනුව ඒවාට ගැළපෙන නවීන මෘදුකාංග නිර්මාණය කළා. නමුත් වාණිජ ව්‍යාපාරයක් ලෙස කටයුතු කරන්න ඒ අවස්ථාවේදී අපිට ලොකු මුදලක් තිබුණේ නැහැ. වෙළෙඳපොළට යන විදිය ගැන හෝ නිෂ්පාදනය දියුණු කිරීම ගැන ලොකු අවබෝධයක් තිබුණෙත් නැහැ.

අද වෙනකොට රටවල් 38කට අපි Magicbit පරිගණක යවනවා. ලංකාවේ හදපු මේ ඉලෙක්ට්‍රොනික් අධ්‍යාපනික නිෂ්පාදනය, ලෝකයේ ඉහළ තාක්ෂණය භාවිතාවක් ඇති ජපානයට අලෙවි කරන්න තරම් අද අපි දියුණු වී තිබෙනවා.

අපි දැන් ඩොලර් ලංකාවට ගේන සහ රටේ ආර්ථිකයට දායක වන නවෝත්පාදන සමාගමක්. මේ වන විටත් අප ඉන්නේ සිංගප්පූරුවේ පැවැත් වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය නියෝජනය කරමින්. Magicbit ලෝකයට ගෙන යන්න අපට අතහිත දුන් ICTA ආයතනයේ ප්‍රයෝජනය, අප වගේ නැඟී එන ව්‍යවසායකයන් හැමෝම ලබා ගන්න කියන එකයි මම රටට දෙන පණිවුඩය..."

මෙම සමාරම්භක අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ICTA සභාපති, මහාචාර්ය මලික් රණසිංහ සහ ගෝලීය ව්‍යසායකත්ව ශ්‍රී ලංකා ජාලයේ වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂ, සුරේෂ් ඩි මෙල් ඇතුළු නිලධාරීන් සහ නව ව්‍යවසායකයින් රැසක් සහභාගී විය.

ගෝලීය ව්‍යවසායකත්ව වැඩසටහනේ කොටස්කරුවකු විය හැකි ආකාරය පිළිබඳ වැඩි දුර දැන ගැනීමට facebook.com/ictasrilanka වෙත පිවිසිය හැකියි.

Comments