එයිට්කන් ස්පෙන්ස් සමාගමට 2022/23 පළමු භාගයේ බිලියන 8.5ක ලාභයක් | සිළුමිණ

එයිට්කන් ස්පෙන්ස් සමාගමට 2022/23 පළමු භාගයේ බිලියන 8.5ක ලාභයක්

වමේ සිට, එයි­ට්කන් ස්පෙන්ස් සමා­ගමේ සභාපති දේශ­මාන්‍ය ඩී.එච්.එස්. ජය­ව­ර්ධන සහ එම සමාගමේ නියෝජ්‍ය සභා­පති සහ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය පරා­ක්‍රම දිසා­නා­යක

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය ව්‍යාපාරික සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම පසුගිය මාස හයක කාලයේදී රුපියල් බිලියන 8.5ක වාර්තාගත පෙර බදු ලාභයක් පෙන්වා තිබේ. මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස 6ක කාලය වෙනුවෙන් වාර්තා කරන ලද මෙම පෙර බදු ලාභය, පසුගිය වසරේදී එම කාලය වෙනුවෙන් අත්පත් කරගත් පෙර බදු ලාභය වන රුපියල් මිලියන 266.7 හා සංසන්දනය කිරීමේදී ඉලක්කම් හතරක, සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමකි.

මූල්‍ය වර්ෂයේ පළමු භාගය සඳහා, පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්ෂය වීම්වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයින් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 17.0 කි. පසුගිය වසරේ මෙම කාලසීමාව වෙනුවෙන් පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්ෂයවීම්වලට පෙර කොටස් ගිණුම්ගත ආයෝජකයින් ඇතුළු ඉපැයීම්වල එකතුව රුපියල් බිලියන 4.6ක් විය. ඒ අනුව මේ වසරේදී එය 272% කැපී පෙනෙන වර්ධනයකි. මෙම සුවිශේෂී කාර්ය සාධනය සඳහා දායකත්වය සැපයූයේ එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් අංශ 16කි. ඒවා රටවල් අටක විසිරී පැතිරී තිබේ.

පසුගිය වසරේ පැවති අඩු පොලී අනුපාතයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළ, ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකානු ඩොලරය වෙනුවෙන් වූ ඉහළ පොලී අනුපාත හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මූල්‍ය පිරිවැය 150%කට වඩා ඉහළ ගොස් තිබිණ. එවන් තත්ත්වයක් තිබියදීත් ගතවූ මාස හයක කාලය ඇතුළත මෙවන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම විශේෂත්වයකි.

මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය සඳහා ආදායම රුපියල් බිලියන 43.3කි. එය පෙර වසරේ එම කාලය තුළ වාර්තා කළ රුපියල් බිලියන 18.6 ක ආදායමට වඩා 133.3%ක වර්ධනයකි. ව්‍යාපාරික මෙහෙයුම් සඳහා වන මෙම පෙර නොවූ විරූ වර්ධනය, සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටි පුනර්ජීවනය සඳහා වන ධනාත්මක ඇඟවීමකි.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය පසුගිය මාස හයක කාලයක් සඳහා, පෙර බදු ලාභයේ ඉහළම පංගුව ලෙසින්, රුපියල් බිලියන 5.1ක් පෙන්නුම් කර තිබේ. එය 188.6%ක ආකර්ෂණීය වර්ධනයකි. වැඩිදියුණු කරන ලද විදේශීය වරාය කළමනාකරණ මෙහෙයුම්, කර්මාන්තය පුරා දක්නට ලැබුණු භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ විදේශ මුදල් ප්‍රකාශිත ආදායමේ ප්‍රතිලාභ මෙම අංශයෙන් සුවිශේෂී කාර්ය සාධනයක් සඳහා ප්‍රධාන හේතු විය. මෙම අංශයේ සියලුම සමාගම්වල වැඩිදියුණු වූ කාර්ය සාධනය ප්‍රශංසනීය මට්ටමක පැවතිණ.

සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ පෙර බදු ලාභය රුපියල් බිලියන 4.4කි. එය 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා 703.3 %ක වර්ධනයක් පෙන්නුම් කරයි. එයම වෙනත් ආකාරයකින් විග්‍රහ කරන්නේ නම්, පෙර බදු ලාභයේදී පෙන්නුම් කරන්නේ ඉලක්කම් තුනක වර්ධනයකි.

ව්‍යාපාර සමූහයේ වැඩිදියුණු කළ කාර්ය සාධනය සඳහා එයිට්කන් ස්පෙන්ස් කණ්ඩායමට අයත් වැවිලි, මුද්‍රණ සහ ඇසුරුම් මෙන්ම ඇඟලුම් නිෂ්පාදන අංශ විසින් ද විශාල දායකත්වයක් සපයනු ලබයි. එමෙන්ම සමාගම තුළ රැඳුණු සැලකිය යුතු විනිමය සංචිතය, උපායමාර්ගික ආයෝජන අංශ ලාභයේ වැඩි වීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඉසිලීය.

සමාලෝචනයට භාජනය වන කාර්තුව තුළ සමූහයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර පුළුල් කරන ලදි. ඒ වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් සැලකිය යුතු ආයෝජනයක් කරමින්, දිවයිනේ විශාලතම සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදි. ඒ වෙනුවෙන් කරන ලද සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 1.4කි. දේශීය සහ ගෝලීය වශයෙන් වන තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීම සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ කැපවීම මෙයින් මනාව විද්‍යමාන කෙරෙයි.

සංචාරක කර්මාන්තයට ඍජුවම බලපෑ බහුවිධ අර්බුද මධ්‍යයේ වුවද, 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය 42.5%ක් වූ අලාභ අඩු වීමක් පෙන්නුම් කළේය. එමඟින් සංචාරක ව්‍යාපාර අංශය සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රකාශිත වේ.

Comments