අම්බලන්ගොඩ කුලීගොඩ පාළු නිවෙසකින් හමු වූ දැරියන්ට පොලිස් අම්මලාගේ සෙනෙහස | Page 3 | සිළුමිණ

අම්බලන්ගොඩ කුලීගොඩ පාළු නිවෙසකින් හමු වූ දැරියන්ට පොලිස් අම්මලාගේ සෙනෙහස

දැරියන් දෙදෙනා පොලිස් නිලධාරිනියන්ගේ රැකවරණය ලබමින්

- දැරියන් දෙදෙනාගේ මව ගැන පොලිසියට හෝඩුවාවක්
- අධිකරණ නියෝගයෙන් කිතුලම්පිටිය ළමා නිවාසයට

උනහපුළුවා යනු ඉතාම අවලස්සන සතෙකි. ඒ නිසා උගේ පැටියාද අවලස්සනය. එහෙත් උනහපුළුවාටත් උගේ පැටියා මැණිකක් යැයි කථාවක් ජනප්‍රවාදයේ තිබේ. එම කීමෙන්ම සනාථ වන්නේ ඕනෑම මවකට ඕනෑම පියෙකුට තමන්ගේ ලෙයින් මසින් බිහිවුණ දරුවා තරම් වටිනා සම්පතක් මේ ලෝකයේ නොමැති බවය. 

එක පවුලක් ලෙසින් එක වහලක් යට ජීවත්වෙද්දී මව්පියන්ට ආදරයෙන් සෙනෙහසින් මෙන්ම ගරු බුහුමන් කරමින් මව්පිය සෙවණේ හැදෙන සමහර දරුවන් උස්මහත් වෙද්දී සිය මව්පියන්ට දැක්වූ ඒ ආදරය සෙනෙහස කෙමෙන් මැකී යන්නේ ඉබේටමය.එසේ ආදරය සෙනෙහස මැකී යනවා පමණක් නොව සමහරවිට දස මසක් කුස දරා හිඳ තමා මෙලොවට බිහිකළ ආදරණීය මෑණියන්ව තම දෙඅතින්ම මරා දමන දරුවන් දැකිය හැකිය. එසේම තමන් මොලොවට ජාතක කළ පියා මරා දමන අජාසත්ත පුතුන්ද ඒ අතර දැකිය හැකිය. දරුවන් සිය මව්පියන්ට කෙසේ සැලකුවද මව්පියන් තම ලෙයින් මසින් උපන් දරුවන්ට එසේ කරන්නේ නැත. බෝහෝ මව්පියන්ට තම දරුවා මැණිකකි. උනහපුළුවාට උගේ පැටියා මැණිකක් යැයි ජනප්‍රාවදයේ එන්නේද මේ නිසාමය.

එය එසේ වුවද වර්තමානයේ සිදුවන සමහර සිදුවීම් බලන විට මේ ජනප්‍රවාදයද කිසි තේරුමක් නැති හිස් කතාවක්දැයි අපට සිතෙන වාර අනන්තය.

සමහර මව්වරු තම කුසින් බිහි කළ දරුවා ගඟට මුහුදට හෝ ළිඳකට වීසිකර මරා දමති. තවත් කෙනෙක් දරුවාට වස පොවා තමන්ද වස බී මැරෙන්නට උත්සාහ කරති. මේවා නිකම්ම සිදුවන සිද්ධීන්ද නොවේ. මෙවැනි සිද්ධීන්ට කිසියම් හේතුවක්ද බලපා ඇති බව එම සිදුවීම් හාරා අවුස්සා බැලීමේදි පෙනී ගොස් ඇත.

මීට මාස කිහිපයකට පෙර කරන්දෙණිය පොලිස් වසමෙන් එවැනි ශෝචනීය පුවතක් අසන්නට ලැබුණේය. ජීවත් වන්නට මගක් නොමැති වූ මවක් සිය තුන් හැවිරිදි දරුවා පාළු ළිඳකට වීසිකර දමා ඇයද එම ළිඳටම පැන දිවි තොරගන්නට උත්සාහ කළාය. එම දරුවාගේ වාසනාවටදෝ අසල ඉඩමක සිටි පාසල් වයසේ වූ දරුවන් දෙදෙනෙකු එම සිඟිත්තියගේ හඬන හඬ ඇසී පැමිණ මවත් දියණියත් මරණයෙන් බේරා ගනු ලැබීය.

මෙවැනි හද කම්පා කරවන ශෝචනීය පුවතක් ඉකුත් සතියේ අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ පොලිස් වසමෙනි.

අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් කුලීගොඩ අප්පලදූව ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල පාළු නිවසක දමා ගොස් තිබියදී වයස අවුරුදු තුනක පමණ වූ ගැහැනු දරුවකු හා වයස අවුරුදු දෙකක් පමණ වූ පිරිමි දරුවකු සොයා ගනු ලැබීය.

පොලිසියට ලද තොරතුරකින් කියැවුණේ කිසිවකු නැති පාළු ගෙදරක කුඩා දරුවන් දෙදෙනෙකු හඬමින් සිටින බවයි. තොරතුර ලද සැණින් ඒ පිළිබඳව අවධානය යොමුකළ අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ලංකාදේව වහාම එම ස්ථානයට පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපතිනී සැරයන් රේණුකා මෙන්ඩිස්, සැරයන් දිනූෂා සහ කොස්තාපල් සඳමාලි ඇතුළු පොලිස් කණ්ඩායමක් පිටත් කර යැවූහ. පොලිස් නිලධාරීන් පිරිස පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදුන් තොරතුරු මත එම ස්ථානයට යන විට පාළු නිවස ඇතුළත මේ කුඩා දරුවන් දෙදෙනා හඬා වැටෙමින් සිටියහ. දරුවන් දෙදෙනා ඉතා අපිරිසිදුව සිටි අතර දෙදෙනා සිටින්නේ නිරාහාරව බවද පොලිස් නිලධාරීන් තේරුම් ගන්නේ ක්ෂණිකවය. දරුවන් දෙදෙනා නාවා පිරිසිදුකොට පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැරයන් රේණුකා මෙන්ඩිස් ඇතුළු නිලධාරිනියන් දැරියන් දෙදෙනාට කවා පොවා ‘මව් සෙනෙහස‘ ලබා දීමත් සමඟ දැරියන්ද මෙතෙක් අහිමිව තිබූ මව් සෙනෙහස ලැබීමෙන් පොලිස් ස්ථානයේදීම පොලිස් නිලධාරිනියන් ලබාදුන් සෙල්ලම් බඩුවලින් කෙළි සෙල්ලම් කිරීමටද පටන්ගත්තේ පොලිස් නිලධාරින්ගේ නෙත්වලට නැඟුණු කඳුළු පිස දමද්දීය.

පසුව මෙම කුඩා දැරියන් දෙදෙනා බලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.එම්.රූපරත්න වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්ද ලබාගැනීමට කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී සැරයන් රේණුකා මෙන්ඩිස් කටයුතු කළාය.

ඉන්පසුව මෙම දැරියන් දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් දෙදෙනා ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයට භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව දරුවන් දෙදෙනා ළමා නිවාසයට භාරදී ආපසු එන්නට පොලිස් නිලධාරීන් සූදානම් වෙද්දී පොලිස් අම්මලාගේ සෙනෙහස ඉල්ලා දැරියන් හඬා වැටුණේ නිලධාරිනියන්ගේ දෑස්වලින් කඳුළු කඩා වැටෙද්දීය.

මෙම දැරියන් දෙදෙනා පාළු නිවසේ දමා ගිය මව කවුද යන්න පිළිබඳව තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතින අතර ඒ ගැන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටී.

අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.ලංකාදේවගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි සැරයන් රේණුකා මෙන්ඩිස් (1728), සැරයන් දිනුෂා (2481) සහ පොලිස් කොස්තාපල් සඳමාලි (10243) දරුවන් දෙදෙනා රැක බලාගෙන මෙම පරීක්ෂණ කටයුතු සිදු කළහ.

ඇල්පිටිය සමූහ අයි.එම්.වී.චන්ද්‍රසිරි ගුණසේකර

Comments