70 වන සාංචි මහා බෝධි මහෝත්සවය 26 ඇරැඹේ | සිළුමිණ

70 වන සාංචි මහා බෝධි මහෝත්සවය 26 ඇරැඹේ

න්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් 1851 සාංචි නටබුන්වල කරන ලද ගවේෂණයක දී සොයාගත් සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර 1952 ඉදි කළ සාංචි චේතියගිරි මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පවත්වන සාංචි මහා බෝධි මහෝත්සවය නොවැම්බර් 26 සහ 27 දෙදින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති හා සාංචි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

එවකට බෝපාල් පාලක නවාබ්තුමා පරිත්‍යාග කළ ඉඩමක ඉදිකළ මෙම විහාරගර්භයේ තැන්පත් කර ඇති අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේ වසරකට වරක් එම විහාර ගර්භයෙන් විහාර මන්දිරයට වැඩම කර මහජනයාට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීම මහා බෝධි මහෝත්සවයේ ප්‍රධාන කාර්ය බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍ය ප්‍රදේශ් රජයේ සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ඌෂා තකූර් (Usha Thakur) මහත්මිය සහභාගී වන අතර මධ්‍ය ප්‍රදේශ් රජයේ සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි (Dr.Prabhuram Choudhary) සහ මධ්‍ය ප්‍රදේශ අතිරේක පොලිස්පතිනි අනුරාධා ශංකර් සිංග් මහත්මිය ද සහභාගි වනු ඇත.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මෙවර සාංචි මහා බෝධි මහෝත්සවයේ ගෞරවනීය ආරාධිතයා වන අතර වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, ජපානය සහ ශ්‍රී ලංකාව යන රටවල බෞද්ධ සැදැහැවතුන් ද ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකින්ම බෞද්ධ සැදැහැවතුන් ද මෙවර සාංචි මහ­ා බෝධි මහෝත්සවයට සහභාගි වන බව සාංචි විහාරවාසී උඩුගම තපස්සි හිමියෝ පවසති. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් හා කලාකරුවන් විස්සකට ආසන්න පිරිසක් ද මෙවර සාංචි මහබෝධි මහෝත්සවයට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන බව එහි සභාපති උපුල් ජනක ජයසිංහ සිළුමිණට පැවසුවේය.

කහවත්තේ, තුෂාර හෙට්ටිආරච්චි

Comments