නයා‍ පෙන්වා ප්‍රියමාලි ප්‍රකෝටිපතියා දමනය කළ හැටි | සිළුමිණ

නයා‍ පෙන්වා ප්‍රියමාලි ප්‍රකෝටිපතියා දමනය කළ හැටි

 

හිතා ගැනීමටවත් බැරි තරමේ ඉහළ පොලියක් පෙන්වා හොර මූල්‍ය ආයතන අටවා ගෙන සක්විතිගේ පටන් සෑම වංචාකරුවෙක්ම පාහේ හූරා ගෙන කෑවේ අපේ රටේ අහිංසකයන්ගේ මුදල්ය. හැබැයි ඒ අතින් බලන කල තිලිණි ප්‍රියමාලි අරුම චරිතයකි. ඒ ඇය දුප්පත් අහිංසක කිසිවකුටත් අත තබා නැති බැවිනි.

 

තිලිණි ප්‍රියමාලි ගේම් ගසන්නේ සක්විතිලා වගේ පොඩි පොඩි ගණන් ඉලක්ක කරගෙන නම් නොවේ. එකවර කෝටි ගණන් වලිනි. තිකෝ සමූහ ව්‍යාපාරය නම් සමූහ ව්‍යාපාරයක් අටවාගෙන ඇය ඉලක්ක කළේ අපේ රටේ අප්‍රකට ධනවතුන්වය. එසේම කළු සල්ලි ජාවාරම්කරුවන්වය. ඇගේ ගොදුරු බවට පත්වූවන් අතර කුඩු සල්ලි උණ්ඩියල් කරන ව්‍යාපාරිකයන්ද නැතුවා නොවේ. ඒ විතරක් නොව, පාතාලයේ කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාර හිමිකරුවන්ද අහිමි කරගෙන ඇති මුදල රුපියල් කෝටි තිහ හතළිහකට වැඩිය. ඒ ගැන පැමිණිලි අදටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඒ ඔවුන්ට එම මුදල් උපයාගත් ආකාරය නීතිය හමුවේ කියන්නට පුළුවන් කමක් නැති නිසාය.

යුරෝපීය රටක ජීවත්වන මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙරට ව්‍යාපාර මෙහෙයවන පුද්ගලයෙක්ද තිලිණිගේ උගුලට හසුවී ඇත්තේ රුපියල් කෝටි 20කට වැඩි මුදලක් අහිමි කර ගෙනය. ඒ සෑම පැමිණිල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නම් තිලිණි කළ වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. හැබැයි තාමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත්තේ 11ක් පමණි. එම පැමිණිලිවල එකතුව ගත් කළ දැනට ඇය විසින් කර ඇති වංචාවේ තරම රුපියල් කෝටි 350කට කිට්ටුය. මේ ලද පැමිණිලි අතර වැඩිම මුදලක් අහිමි කරගෙන ඇත්තේ ආචාර්ය උපාධියක් හිමි ව්‍යාපාරිකයෙකි. මලයාසියාවේ පවා ව්‍යාපාර ඇතැයි කියනු ලබන එම ආචාර්ය උපාධිධාරියා විසින් අහිමි කරගෙන ඇති මුදල රුපියල් කෝටි 75කි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කිරීමට මුලින් අදිමදි කළ මෙම ආචාර්යවරයා අවසානයේදී ඒ ගැන පැමිණිල්ලක් කරන්නට පවා ඉදිරිපත් වන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පෙරැත්ත කිරීම් මතය. එම ව්‍යාපාරිකයා තිලිණිට එරෙහිව පැමිණිලි කරන්නට අදිමදි කරනුයේ තමාට අහිමි වූ ඒ මුදල කෙසේ වෙතත් එයින් බාගයක්වත් ලැබේවි දැයි කියා විශ්වාසයක් නොමැති වූ තැනය. ඊටත් වඩා ඔහු බියක් දැක්වූයේ සිය පවුල මේ නිසා බිඳ වැටේවි යැයි කියාය. ඒ තිලිණිගේ නිළි බලකායේ උගුලට හසුවූවන් අතර මෙම ආචාර්යවරයාද සිටි බැවිනි. එසේ නොවන්නට තිලිණිට එරෙහිව මෙම ආචාර්යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර බොහෝ කල්ය.

මෙම ඔහු සැලකෙන්නේ පරම්පරාගත ව්‍යාපාරික පවුලක සාමාජිකයෙක් ලෙසිනි. විදෙස් සමාගමක මෙරට නියෝජිතයා ලෙසද කටයුතු කරන බව කියන මෙම ආචාර්යවරයාව තිලිණි අන්දන්නේ හරි අපූරු විදිහකටය.

ඒ කතාව ගොඩ නැඟෙන්නේ මෙසේය.

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි එම ව්‍යාපාරිකයාගේ නිවසට තිලිණි හදිසියේම ගොඩ වන්නේ සන්නද්ධ ආරක්ෂකයන් පිරිසක් පිරිවරා ගෙනය. එම ආරක්ෂකයන් ඇය යොදවා ගෙන සිටියේ මෙරට ජනප්‍රිය කතකගේ සැමියකුට අයත් ආරක්ෂක සමාගමකිනි. සන්නද්ධ ආරක්ෂකයන් යොදා ගැනීමට හැක්කේ මුදල් ප්‍රවාහනයේදී පමණක් වූවත් තිලිණිට ඒ නීතිමය බාධා කිසිවක් නොවූවාය. ඒ ඇගේ ආරක්ෂක උපදේශකයන් මෙන්ම නීති උපදේශකයන් වූයේ පොලිසියේ ඉහළ ලොක්කන් කිහිප දෙනෙක් වූ බැවිනි.

ආචාර්යවරයාගේ නිවෙසට ඇය යන්නේ නාග රාජයෙක්වද රැගෙනය. ඇය එම නාග රාජයා පෙන්වමින් ආචාර්යවරයාව අන්දවන්නේ “ මේ ඔයාගේ තාත්තා. එයා මැරිල දැන් නාගයෙක් හැටියටයි ඉපදිලා ඉන්නේ. මට ඒ ගැන දිෂ්ටියෙන් අම්මා කිව්වා. ගෙදර සල්ලි ගොඩක් තියෙනවලු. ඒ සල්ලි ගෙදර තියන්න එපා කියලත් කිව්වා. එහෙම සල්ලි ගෙදර ගොඩ ගහගෙන තිබුණොත් ඔයාව විනාශ වෙලා යයි“ කියාය.

මේ වගේ ගොඩක් දේවල් තිලිණි මේ ආචාර්යවරයාගේ ඔළුවට දමා එහෙම් පිටින්ම මනස අවුල් කළාය. ඒ ඔහු මෙවැනි අදෘශ්‍යමාන දේ විශ්වාස කරන්නෙක් වූ බැවිනි. අන්තිමට එම ආචාර්යවරයා තමාගේ මුළු සේසතම ගෝනිවලට දමා තිලිණිට දුන්නේ වෙන කරන්නට දෙයක් නොවූ තැනය. ඇය ඒ වෙනුවට ඇපයක් ලෙස ආචාර්යවරයාට ලබාදෙන්නේ රත්තරන් පොලු තොගයකි. ඒ මුදල් වලට ඇපයක් ලෙසිනි. බැලින්නම් ඒ රන් පොලු රන් ආලේප කළ පිත්තල තොගයකි.

තිලිණිට මෙම ආචාර්යවරයා ඇන්දෙන්නේත් බියක් සැකක් නොමැතිව තමා සතුව තිබුණු මුදල් තොගයම පූජා කරන්නේත් ඇය සමාජයේ ප්‍රභූ චරිතයක් ලෙස පෙනී සිටි තැනැත්තියක් වූ බැවිනි. ඇය ඇසුරු කළේ යැයි පෙන්නුවේ රටේ ඉහළම ප්‍රභූ ආර්යාවන් සහ මැති ඇමතිවරුන්ය. ඇය වටා රටේ නමගිය කලාකරුවන් රැසක්ද සිටියාය. ඇය පොලිසියේ ඉහළම නිලධාරීන් රැසක් ඉතා කිට්ටුවෙන්ම ඇසුරු කළාය. සිවිල් ආරක්ෂක කමිටු බල ගැන්වෙන ඇතැම් උත්සවවල ඇය මැති ඇමතිවරු සමඟ අසුන් ගෙන සිටියේ එකම පේළියේය. මේ දේවල් දුටු විට මෙම ආචාර්යවරයා තමා සතු මුදල් ඇගේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්නට ලබා දෙන්නේ ඔහුගේ මව ඇයට ඇවිත් කීවා යැයි කියන විනාශයෙන් බේරීමටත් එම මුදල් ගෙදර පුස් කකා තිබෙනවාට වඩා ඇයට ලබා දීමෙන් වැඩි ලාභාංශයක් පවා තමාට හිමිවනු ඇතැයි සිතාය. අන්තිමට සිදුවන්නේ ඔහුට ඒ මුළු සේසතම අහිමිව යාමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ ගැන මෙම ආචාර්යවරයා පැමිණිලි කරන විට කිහිපවිටකදීම සිහිසුන් වන්නේ අහිමි වූ මුදල් කන්දරාව ගැන මතකයට නැඟී විය හැකිය.

තිලිණි මේ ගේම් හැම එකක්ම ගැසුවේ හොඳටෝම සැලසුම් කරමිනි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 34 වෙනි මහලම ඇය මාසයකට රුපියල් ලක්ෂ 14 බැගින් මුදලක් ගෙවා කුලියට ගත්තේද එවැනි තැනක ව්‍යාපාර කාර්යාලය පිහිටා තිබීමම ඇය දැවැන්ත ව්‍යාපාර සමූහයක හිමිකාරිනියක් බවට සමාජය හමුවේ ඒත්තු ගැන්වීමටය. 2019 වසරේ අග බාගයේදී ඇය සිය ව්‍යාපාර සමූහය එහි ස්ථාපිත කිරීමේ උත්සවයට ආරාධනා ලැබූවන් අතර රටේ නම ගිය භික්ෂූන් වහන්සේලා, දේශපාලනඥයන්, කලාකරුවන්, ඇතුළු සමාජයේ කැපී පෙනෙන චරිත රැසක්ම සිටියහ. ඇය මේ වංචාව සාර්ථකව කරගෙන යාමට මාකට් කළේ ඒ පැමිණි ආරාධිතයන්වය.

ඇය රටේ ජනප්‍රිය කලාකරුවන්ව ඇල්ලුවේ සිනමා නිෂ්පාදන සමාගමක් ද මෙම සමූහ ව්‍යාපාරයට ඈඳා ගනිමිනි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඉතාම ජනප්‍රිය සිංහලෙන් හඩ කැවූ ඉන්දියානු ටෙලි නාට්‍යක ජනප්‍රිය චරිතයක් පවා ඇය මෙරටට ගෙන්වා තරු පන්තියේ ලොකු හෝටලයක උත්සවයක්ද සංවිධානය කළේය. ඒ ඇය කෙරෙහි ඉහළ සමාජයේ අවධානයක් ලබා ගැනීමටය. එය එතැනින් හමාර වන්නේ නැත. ඇය මෙරට ජනප්‍රිය කලාකරුවන්ගේ උපන් දින සාද සංවිධානය කළේ එම කලාකරුවන්වද පුදුම කරවමිනි. කෑම බීම සමඟ තරු පන්තියේ හෝටල් සංග්‍රහයක් ඇය විසින් කලාකරුවන්ට ලබා දෙන්නට වූයේ දහසින් බැඳි පියලි ඒ අය අතට පත්කරමිනි. ඒ නිසාම ඇය වඩා ජනප්‍රිය කලාකරුවන් සමූහයක්ද එක්ව සිටියහ. ඇගේ තිකෝ ව්‍යාපාරය ප්‍රවර්ධනය කළේ ඒ අයය. ඒ අතර ඇගෙන් ලාබ සත්කාර ලැබූ නිළියන් කිහිප දෙනෙකු ගණිකාවන්ටත් අන්ත තත්ත්වයකට ඇද වැටෙමින් තිලිණිගේ වංචාවට ගොදුරු වූ ව්‍යාපාරිකයන් බැලැක් මේල් කරනු ලැබුවේ සිය අඟ පසඟ විකුණා පමණක් නොව, මුළු ආත්මයම විනාශ කර ගනිමිනි. අද ඒ නිළියන් හැසිරෙන්නේ කිසිවක් නොවූ ගානටය. ඒ තිලිණිගේ වංචාවට හසුවූ ව්‍යාපාරිකයන් පමණක් නොව, එකී නිළියන්ගේද රෙදි ගැලවෙන තරමේ වීඩියෝ පට සහ හඩ පට තිලිණි සතුව ඇති බැවිනි. එයින් එළියට ඇවිත් ඇත්තේ එකක් දෙකකි. හැබැයි ඒ හඬ පට පමණි. විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව හොඳ හොඳ වීඩියෝ පට ගොන්නක්ම තිලිණි සතුව ඇත. තිලිණිට හසුවී කෝටි ගණන් මුදල් අහිමිකරගත්තවුන් ඒ ගැන කියන්නට එළියට එන්නේ නැත්තේ ඒ නිසාය.

තිලිණි අල්ලාගත් ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ දුරකතන ඇමතුම් ගණන බොහෝය. ඒ අය අතර වැඩිදෙනෙක්ම සිටියේ තිලිණිට හසුවී කෝටි ගණන් මුදල් අහිමි කර ගත්තවුන්ය. ඒ අතර දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අය අතර රුපියල් කෝටි 80ක් අහිමි කර ගත්තා යැයි කියන අයෙක්ද සිටියේය. පසුව ඔහු කියන්නට ගත්තේ කෝටි 08ක් බවය. දැන් කියන්නේ ඊටත් වඩා අඩු ගාණක් ගැනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිලිණිට එරෙහිව පැමිණිලි කරන බව අවස්ථා කිහිපයකදීම කීවත් ඔහු මේ ලිපිය සටහන් තබන 14 වෙනි සිකුරාදා දහවල් වන තුරුම ඒ පැමිණිල්ල නම් කර තිබුණේ නැත.

තිලිණි බොහෝ ව්‍යාපාරිකයන් ඇල්ලුවේ ඇගේ සමීපතමයන් බවට පත්ව සිටි මෙරට ජනප්‍රියම නිළියන් සහ නිරූපිකාවන් දෙතුන් දෙනෙක් යොදා ගෙනය. එක් ව්‍යාපාරිකයෙක් සමඟ කෙටි ඇසුරක් පවත්වා එම ව්‍යාපාරිකයාව බිලි බා ගන්නවා වෙනුවට ඒ අයට ඇය ගෙවීම් කර ඇත්තේ ලක්ෂ පහේ දහයේ බණ්ඩල්වලිනි.

මෙසේ නිළියන් කිහිප දෙනකු මුදල් බලයෙන් ඇය ගණිකාවන් කරගෙන ඇත්තේ එම වෘත්තිය ඇයට එතරම් අලුත් දෙයක් නොවන නිසා විය හැකි බව අද වන විට සමාජයේ ලොකුවටම කතාබහ වන්නකි. ඇයට එම චෝදනාව එල්ල කරනුයේ 2012 වසරේ ඇය විසින් කුලියට මෝටර් රථයක් ලබා ගෙන කළ මුදල් වංචාවක් සමඟිනි. රුපියල් 50,000ක කුලියකට ලබා ගත් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකට ඇය පොල්ල තබන්නේ මෝටර් රථයේ හිමිකරුට රුපියල් 50,000ක අගරු චෙක්පතක් දෙමිනි. ඇය මෝටර් රථය ලබා ගන්නා විට ගිවිසුමකට එළඹ ඇගේ හැඳුනුම්පතද වාහනයේ හිමිකරුට ලබාදී තිබුණාය. අගරු චෙක්පතක් දී මෝටර් රථය කුලියට ගෙන අතුරුදන්වූ තිලිණිව සොයා මෝටර් රථයේ හිමිකරු හැඳුනුම්පතේ සටහන්ව තිබුණු ඇය පදිංචිව සිටින බව කියන උතුරු හෝකන්දර වානගුරු මාවතේ නිවසකටද ගියේය. ඇය ඒ නිවසේ සිට ඇත්තේ කුලීකාරියක් ලෙසිනි. මෝටර් රථයේ හිමිකරු එහි යන විටත් ඇය එම නිවසින් අතුරුදන්ව සිටියේ බඩු මුට්ටුද අකුලා ගෙනය.

අවසානයේදී ඔහු පිහිට පතා යන්නේ ගල්කිස්ස පොලිසියටය. ඒ ඇය රත්මලානේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් මෝටර් රථයට ඉන්ධන ලබා ගෙන රුපියල් 5000ක පොල්ලක්ද තබා පළායාමක් ගැන ගැනද කියමිනි. එම පැමිණිල්ල පොලිස් පොතේ සටහන්ව වැඩි කලක් යන්නට මත්තෙන් රත්මලාන ධර්මාරාම පාරේ කුලී නිවෙසක රැඳී සිටි ඇයව කොටු කර ගන්නේද මෝටර් රථයේ හිමිකරු විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුවය. ඇය වංචාවෙන්ම ජීවත්වන තැනැත්තියක් බව මෙන්ම අසම්මත වෘත්තියකට සම්බන්ධ තැනැත්තියක් බවට කියැවෙන්නට ගත්තේ ඒත් එක්කමය. ඇය ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් නම් මෙතෙක් කිසිදු පොලිසියකට වාර්තා වී ඇති බවක් නම් සොයා ගන්නට නැත.

තිලිණිගේ ජාතික හැඳුනුම්පතේ ඇති තොරතුරුවලට අනුව ඇය 1982 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා උපන් තැනැත්තියකි. උපත ලබා ඇති ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ කළුතරය. ඇගේ පදිංචි ස්ථානය ලෙස එහි සටහන්ව ඇත්තේ හෝකන්දර උතුරේ වානගුරු මාවතේ කුලි නිවසය.

ඇය හෝකන්දර ලිපියනයකින් පෙනී සිටියත් ඇය කළුතර උපන්නියක් යැයි සඳහන් වූවත් මවුපියන් සමඟ ජීවත්ව ඇත්තේ අතුරුගිරිය පැත්තේය. ඇය අධ්‍යාපනය ලැබුවේ යැයි කියැවෙන්නේ පන්නිපිටිය පැත්තේ පිහිටි පාසලකිනි. ඇය අට පාස් වත් නැති තැනැත්තියක් බව කීවත් අනාවරණය වන හැටියට ඇය එම පාසලේ 10 පන්තිය දක්වාම අධ්‍යාපනය ලබා ඇති තැනැත්තියකි. නමුත් ඇය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති බවක් නම් හෙළි වන්නේ නැත.

අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව තිලිණිගේ පවුලේ වැඩිමලා ඇයයි. ඇයට බාල සහෝදරයන් තිදෙනෙක් සිටින බවද කියැවෙයි. සාමාන්‍ය පවුලකට දාව උපන් තිලිණිගේ පියා බව කියැවෙන තැනැත්තා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. මව ගෘහණියකි. තිලිණි පාසල් කාලයේ සිටම චංචාවටම බරවී සිටි තැතැත්තියක් බවද කියැවෙයි. පාසල් ගමන හමාර කිරීමෙන් පසු ඇය තරුණයන් කිහිප දෙනෙක් සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ගොඩ නඟාගෙන සිටි බවද කියැවෙයි. ඇය මැදපෙරදිග රටක පවා රැකියාවක නිරතවූ තැනැත්තියක් බව විවිධ පාර්ශ්ව ඔස්සේ කියැවුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ඒ ගැන නිශ්චිත තොරතුරක් නම් සොයා ගැනීමට හැකියාවක් නම් ලැබී නැත. 2004 වසරේදී තිලිණිගේ වයස අවුරුදු 22කි. ඇය ඒ වසරේදී නුගේගොඩ පිහිටි ගොඩනැඟිලි ඉදිකිරීමේ සමාගමක ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙස කටයුතු කර ඇති බව කියැවෙයි. 2010 වසරේදී ඇය නාවල පිහිටි ආයතනයක ප්‍රවර්ධන නිලධාරිනියක් ලෙස රැකියාවක නිරතව ඇති බවට තොරතුරුද සොයා ගන්නට ඇත. 2012 දී ඇය කිරුලපන හැව්ලොක් සිටි හිදී තමාගේම යැයි කියා ව්‍යාපාරයක් ගොඩ නඟන්නේ ඉඩම් හා නිවාස ඉදිකිරීමේ සහ අලෙවි කිරීම සම්බන්ධයෙනි. ඇල්ටෝ රථයකට පොල්ල තැබූ බවට ඇයට එරෙහිව චෝදනාවක් එල්ල වන්නේ ඔය කාලයේදීය. ව්‍යාපාර 06ක් හිමි සමාගම් සභාපතිනියක් ලෙස තිලිණි ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් මතුවන්නේ 2019 වසරේදීය.

තිලිණි හොඳ මීටරයකි. සාමාන්‍ය පෙළවත් සමත්ව නැති ඇය හැසිරුණේ උපාධියකටත් එහා ගිය දැනුමකින් පිරිපුන් තැනැත්තියක් ලෙසිනි. ඇයට එම දැනුම ලැබී ඇත්තේ දේශපාලන පක්ෂයක දැනට ජීවතුන් අතර නොමැති දේශපාලඥයකුගේ ජාන ඇගේ ඇඟ පුරා දුවන නිසා විය හැකිය.

තිලිණිගේ ඉතිහාසය පිරික්්සීමේදී ඇය කාලයක්ම රැඳී සිට ඇත්තේ වත්තල පැත්තේ නිවසකය. එම නිවසේ හිමිකාරිනිය මෙරට ජනප්‍රිය ගායකයකුගේ සහෝදරියකි. ඇය නීතිඥවරියක් බවද කියැවෙයි. ඒ කාලයේත් තිලිණි කරන්නේ පොඩියට මෙවන් වංචාවන්ය. ඇය මෙහිදී වඩාත් කල්පනාකාරී වන්නේ හැම ගනුදෙනුවකටම චෙක්පත් දෙමිනි. තිලිණිට හසුවූ බොහෝ අය ඇයට එරෙහිව පොලීසිය යන්නේ චෙක්පත් රිටන් වන විටය. එහිදී අධිකරණය හමුවේ ඇයට එල්ල වන්නේ වංචා කිරීම් සම්බන්ධයෙන් චෝදනා නොව අගරු චෙක්පත් ලබාදීමේ චෝදනාය. ඒ සම්බන්ධයෙන් ඇති දඬුවම් ලිහිල් බැවින් ඇය මේ ගේම ගැසුවේ නීති උපදෙස්ද ඒ කාලයේ ලැබී තිබුණු බැවිනි. චෙක්පත් වංචාවන්ට තිලිණි පොලිසියට හසුවන සෑම අවස්ථාවකදීම ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ යැයි කියැවෙනුයේ ගායකයාගේ සහෝදරියයි.

පොඩි පොඩි ගේම් ගසාගෙන එදා වේල සරිකර ගනිමින් සිටි තිලිණි චරිතයක් බවට පත්වන්නේ ඉසුරු බණ්ඩාර මුණ ගැසීමත් සමඟිනි. ඒ වන විට ඇය සිටියේ විවාහ කිහිපයකින්ම වෙන්වය. පළමු විවාහය ඇය සිදු කරගෙන තිබුණේ වීරසූරිය නැමැති අයෙක් සමඟිනි. දෙවැනි විවාහය සිදුව ඇත්තේ තනුක නැමැති අයෙක් සමඟිනි. එම විවාහයෙන් ඇයට එක් පුතෙක් සහ දියණිවරු දෙදෙනෙක් සිටින බවද කියති. ඒ එක් දරුවෙක් කරදඬු උස්මහත් වූයෙකි. අද ඒ දරුවා අවුරුදු 20 ක තරුණයෙක් බවද කියැවෙයි.

වත්තල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක වැඩිමහල් දියණිය අධ්‍යාපනය ලබමින් සිටින්නීය. තෙවැන්නා සිටින්නේ යැයි කියැවෙන්නේ වැලිමඩ එම දරුවාගේ පියා සමඟිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම බුද්ධි අංශද කරනු ලබන විමර්ශනවලින් පෙනී යමින් ඇති ආකාරයට තිලිණිට වාසනාව ගෙන එන්නේ යැයි කියැවෙන්නේ ඇය සමඟ ඉසුරු බණ්ඩාර එක්වීමත් සමඟිනි. මේ කියන ඉසුරු බණ්ඩාර පසුගිය ආණ්ඩු කාලයේ කැලණියේ රජ කළ ඇමැතිවරයකුගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස පෙනී සිටියෙකි.

එම ඇමැතිවරයා ළඟ සිටි බොහෝ අය ඇමැතිවරයාගේ කනින් රිංගමින් එම ඇමැතිවරයාගේ නමින් ගේම් ගැසූවෝය. ඇතැම් උදවිය ගැසූ ගේම් නිසා එම ඇමතිවරයාගේද පටි රෝල් වූ අවස්ථා බොහෝය. ඉසුරු බණ්ඩාර සහ තිලිණි එකට එක්වූ පසු බස් එකේ ගමන් බිමන් ගිය ඉසුරු බණ්ඩාර, තිලිණි සමඟ රට වටේ ගියේ හෙළිකොප්ටර් වල නැඟීය. ඇම­ැතිවරයා ළඟ සිටියදී ලබාගත් දැනුම ඉසුරු බණ්ඩාර යොදා ගත්තේ තිලිණි සමඟ එක්වීමෙන් පසුවය. තිලිණි සභාපතිධුරය දැරූ තිකෝ සමූහ ව්‍යාපාරයට ආයෝජකයන් රැගෙන ආවේ ඉසුරුය. ඉසුරුගේ ගොදුරු බවට පත්වූයේ සුදු කරපටි අපරාධකරුවන්වය.

අදාළ ඇමැතිවරයා ළඟ සිටියදී ඔහු රටේම ඉන්න සුදු කරපටි අපරාධකරුවන් කවුරුන්දැයි හඳුනා ගෙන සිටියේය. සුදු කරපටි අපරාධකරුවන් කියන්නේ සමාජයේ සුද්ධවන්තයන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධි ජාවාරම්වල නිරත වන්නන්ය. ඒ අයට තිලිණිත් එක්ක එකතු වෙමින් ඉසුරු වැඩේ දුන්නේ ඔළුව උස්සන්නම බැරි වන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නොහැකිව කෙකර ගසමින් සිටින්නේ ඒ අයය. කලාකරුවන් කිහිප දෙනෙක් මෙන්ම දේශපාලනඥයන්ට සම්බන්ධ වූවෝද ඒ අතර නැත්තේම නැත.

අනාවරණය වෙමින් ඇති අකාරයට අනුව තිලිණි සමාජය හමුවේ බලයක් ගොඩනඟා ගන්නේ හරි අපූරු ක්‍රමයකටය. මුලින්ම ඇය කරන්නේ සිය තිකෝ සමූහ ව්‍යාපාරයේ කාර්යාල සංකීර්ණය ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළට රැගෙන ඒමය. එම කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සමාජයේ නම කියැවෙන චරිත කිහිපයක්ද විය. එම චරිත ඔස්සේ ඇය ඇතැම් චිත්‍රපට මුහුරත් උලෙළවලට සහභාගි වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටිමිනි. එහිදී ඇය එම මුහුරත් උලෙළට පැමිණෙන රටේ ජනප්‍රිය කලාකරුවන් සහ දේශපාලනඥයන් සමඟ එකට රැඳී සිටිමින් ඡායාරූපද ගන්නේ සිය ඉදිරි අරමුණු වෙනුවෙනි. ඇය එතැනින් සීමා වන්නේ නැත. ඇගේ තිකෝ සමූහ ව්‍යාපාරයට චිත්‍රපට නිෂ්පාදන සමාගමක්ද ඈඳා ගත්තාය. ඇය කලාකරුවන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්නේ එතැන් සිටය. ඇය ප්‍රභූවරුන්ට බැල්ම හෙළන්නේ අනතුරුය.

එහිදී ඇය ඉහළම පෙළේ සමඟ කතාබහ කරන තැනේ සිට කන බොන තැන දක්වාම සෑම අවස්ථාවක්ම ඉතා සූක්ෂම ලෙස වීඩියෝගත කිරීමට අමතක නොකරන්නීය. ඒ අතරතුර ඇය වීඩියෝ ඇමතුම් ගෙන ඇගේ ඉලක්කය බවට පත්වන ව්‍යාපාරිකයන්ට තමා ඒ වන විට සිටින්නේ අහවල් කෙනා බිරිය සමඟ යැයි පෙන්වන්නට වූයේද එම ව්‍යාපාරිකයන් හොඳටෝම අන්දවමිනි. ඇය කළේ දේශපාලනඥයන් ඇගේ ඇන්දිලිවලට පාවිච්චි කිරීමකි. ඒ අතර මැති ඇම­ැතිකම් දැරුවෝද නැත්තේම නැත. ප්‍රබල දේශපාලකයන් දෙදෙනෙක්ද ඇගේ මේ ව්‍යාපාරික කටයුතුවල වරක් මුදල් ආයෝජනය කර තිබී ඇති බව සඳහන්ය. ඒ රුපියල් කෝටි ගණනින් නොව පොඩි ගාණකිනි. ඇය එම දේශපාලකයන් දෙදෙනාට මුල් මුදල සමඟ ප්‍රතිලාභ දී තිබුණේ ගාණ ඩබල් කරමිනි. එතැන් සිට තිලිණිගේ ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සිදුවූයේ එම දේශපාලකයන් හරහාය. ඇය කෝටිපති ව්‍යාපාරිකයන් රවටන්නට වූයේ අර අහවල් ඇමැතිගෙන් අහල බලන්න, මම එයාට හරි වෙලාවට සල්ලි දුන්නද නැද්ද කියා කියමිනි. එම ව්‍යාපාරිකයන් එකී දේශපාලඥයන්ගෙන් ඒ ගැන විමසන විට ඒ අයගේ මුවින්ද පිටවන්නේ ඇය විශ්වාසවන්තියක් බවකි. ඇය හැම කෙනෙකුවම ඇන්දුවේ එසේය.

ඇගේ මේ ඇන්දිල්ලට මෙරට සුප්‍රසිද්ධ භික්ෂූන් කිහිප දෙනකු ද හසුවී තිබුණාය. එම භික්ෂූන් වහන්සේ තාමත් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වෙනත් අංශයකට පැමිණිලි කර ඇති බවක් නම් මෙතෙක් දැනගන්නට නැත. පන්සල්වල ඇති මුදල් අදින්නට තිලිණි මුලින්ම කිට්ටු වී ඇතැයි කියන්නේ රටේ නම ගිය ප්‍රබල භික්ෂුවකි. ඒ එම භික්ෂුවට අයිෆෝන් එකක් පූජා කරමිනි. අනතුරුව එම භික්ෂුව සතුව ගොඩ ගසාගෙන තිබුණු මුදල් ඩබල් කර දෙන්නම් යැයි දොඩා එම මුදල් එළියට අදින්නේ ඒ වෙනුවට ඇපයක් ලෙස රත්තරන් පොලු පන්සලේ තබාය. බැලින්නම් ඒ රත්තරන් පොලු යැයි කියා තිබුණේ පිත්තලවලට රන් ගල්වා සකස් කළ ව්‍යාජ රන් පොලු තොගයකටය.

මෙසේ ඇය රටේ නම ගිය භික්ෂු චරිත කිහිපයක්ම ඇන්දුවේය. ඒ අතර රහත් යැයි කියන භික්ෂුවක්ද සිටියේය. එම භික්ෂුවගේ කඩවත පිහිටි විහාරස්ථානයේද රන් පොලු තොගයක්ම ඇය ගොඩගසා තිබුණාය.

ඇය පොලු තැබූ ව්‍යාපාරිකයන් මුදල් ඉල්ලා ගෙන එන විට ඇය කළේ කඩවත පන්සලට ඒ අයව රැගෙන ගොස් පන්සලේ කුටියක ඇති රන් පොලු පෙන්වා ඒවා අලෙවි කර මුදල් ලබා දෙන්නම් යැයි කියාය. එහිදී ඇයට චරිත සහතික දුන්නේ එම රහත් භික්ෂුව බව කියති. එම රන් පොලු ඇය තැනින් තැනට රැගෙන ගියේ ද පොලිසියේ ලොක්කකුගේ ආශිර්වාදයෙනි. ඇයට රන් පොලු රැගෙන යන්නට ආරක්ෂාව ලබා දෙන්නේද එම පොලිස් ලොක්කාය.

විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව පොඩියට කරගෙන ගිය ඇගේ මේ ව්‍යාපාරයට සමාජයේ අප්‍රකට ඉහළ ධනවතුන් ගොදුරු කර ගත්තේ මෙරට මිශ්‍ර ව්‍යාපෘතියකට සම්බන්ධ ආයෝජන සමාගමක මෙරට නිලධාරිනියකට කිට්ටු වෙමිනි. ඒ හරහා ඇය රටේ ඉහළ ධනවතුන් කිහිප දෙනකුගේ බිරින්දෑවරු සමඟ ඇසුරක් අරඹමින් ඒ සමාජයේ කොටස්කාරියක් බවට පත්වන්නේ ඇයත් ඒ සමාජයේම පුරුකක් බවට පත්වෙමිනි.

ඇය මෙරට අප්‍රකට කෝටිපතියන්ගේ සේසතට විදින්නේ ඒ ඔස්සේය. ඇගේ බොහෝ ගනුදෙනු සිදුව ඇතැයි කියැවෙන්නේ බහුජාතික සමාගමේ කාර්යාලය තුළ සහ දේශපාලඥයකුගේ කාර්යාලයක් තුළදීය. ආණ්ඩුවට සම්බන්ධකමක් නොමැති එම දේශපාලඥයා පක්ෂයකද නායකයකුද වන්නේය. කෝටි 80කට ඇය පොල්ල තබා ඇතැයි කියන්නේද එම දේශපාලනඥයාටය.

ඇය මේ දේශපාලනඥයා මගින් ද බොහෝ ව්‍යාපාරිකයන් සිය උගුලට හසුකර ගෙන තිබුණාය. ඒ ඩොලර් අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වෙමිනි. ඇයට විශාල වශයෙන් පසුගිය කාලයේ යම් අප්‍රකට මූලාශ්‍රයකින් ඩොලර් තොග වශයෙන් ලැබී තිබිණි. ඇය ඒවා රුපියල් වලට අලෙවි කර ඇත්තේ වෙළදපොළේ ඇති මිලට වඩා රුපියල් විස්සක් තිහක් අඩුවෙනි.

අදාළ දේශපාලඥයා කර ඇත්තේ ඔහු දන්නා කියන ව්‍යාපාරිකයන් ඇයට මුණ ගස්සවා එක ඩොලර් එකකින් රුපියල් 10ක් 15ක් කොමිස් මුදලක් තබා ගැනීමය. එසේ ගනුදෙනු කිහිපයක් කර අවසානයේදී මෙකී දේශපාලඥයාගේ කෝටි 80කටත් වැඩේ දෙන්නේ ඔහුටත් හිතා ගන්නට බැරි වන්නටය.

 

Comments